සජිත් – ගෝඨා දෙදෙනාම පිටුපස ඇමෙරිකාව

ජනාධිපතිවරණය සඳහා මේ වන විට නම්කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි අපේක්ෂක, ආරක්ෂක අමාත්‍යංශ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය ගැනීමට උත්සහ දරණ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාම පිටුපස සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදය බවට තොරතුරු හෙළිවෙමින් තිබේ.

පසුගිය 19වන දින ශ්‍රී ලංකා හමුදාපතිධුරයට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කළ වහාම ඊට එරෙහිව සිය කණස්සල්ල එල්ල කළ ඇමරිකානු තානාපති කාර්යාලය, යුධ අපරාධ චෝදනා ඇතැයි කියන ගෝඨාභය රාජපක්ෂට එලෙස විරෝධය නොදක්වන්නේ ඒ නිසා බවයි මෙම තොරතුරු අනාවරණය කරන්නේ. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව ලිහිල් ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමට ඇමෙරිකාව කටයුතු කරන්නේද මෙම සහය දැක්වීමේ පදනමිනි. ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට මහින්ද රාජපක්ෂ එකඟ කරවා ගෙන ඇත්තේද මෙම ඇමෙරිකානු මැදිහත්වීම විසිනි.

එලෙසින්ම එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කරවා ගැනීමටද ඇමෙරිකානු නියෝජිතයන් සක්‍රියව මැදිහත්වී ක්‍රියා කරමින් සිටියි. මෙරට වත්මන් ඇමෙරිකානු තානාපතිනිය වන ඇලයිනා බී. ටෙප්ලිට්ස් සිය පෞද්ගලික හිතවතෙක් වන අමාත්‍ය මංගල සමරවීරගේ සහය මේ සඳහා ලබාගනිමින් තිබේ. එජාපය සම්ප්‍රදායිකවම ඇමෙරිකානු පක්ෂපාති වීමද මෙම තෝරා ගැනීමේදී සැලකිල්ලට ගෙන ඇත.

පසුගිය දින ගණනාවක් පුරා ඇමෙරිකාව මෙම තෝරා ගැනීමට සහය දක්වන්නන් සහ විරෝධය දක්වන්නන් දිගින් දිගටම මුණගැසී තිබේ. දේශපාලන පක්ෂ දෙකෙහිම ප්‍රධානීන් මෙන්ම විවිධ මට්ටමේ ව්‍යාපාරිකයන් හා ආගමික නියෝජිතයන්ද ඇමෙරිකානු නියෝජිතයන්ගේ සාකච්ඡා සඳහා කැඳවා සජිත්ට සහ ගෝඨාභයයට සහය දැක්වීමට වෙන් වෙන්ව එකඟ කරවා ගෙන තිබේ.

ඇමෙරිකාවේ මෙම මැදිහත්වීම පිළිබඳව කලාපයේ සෙසු රටවල දැඩි නිරීක්ෂණයට ලක්ව ඇති අතර එය ශ්‍රී ලංකාව තව දුරටත් දේශපාලන අර්බුදයක් කරා ගෙනයාමට හේතුවක් වනු ඇතැයි මේ සහය දීම කෙරෙහි අදහස් දක්වුවෝ අප වෙත පැවසුහ.

Leave A Reply

Your email address will not be published.

18 − 14 =