“පිළියන්දලට පනවපු සීමාවන් ඉවත් කළේ මගේ දැනුවත් වීමකින් තොරව”

ඊයේ (02)උදෑසන පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 52කම ආවරණය වන පරිදි හුදකලා කිරීමට බලධාරීන් තීරණය කළ ද ගාමිණී ලොකුගේ ඇමතිවරයාගේ ඉල්ලීම පරිදි ඊයේ රාත්‍රීයේ එම තීරණය වෙනස් කළ අතර කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවේ ඇයගේ දැනුවත් වීමකින් තොරව මෙය සිදුවී ඇති බවයි.

ඉන් පසු පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 10ක් පමණක් මේ වන විට හුදකලා කර තිබේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කර සිටියේ තමන්ගේ ඉල්ලීම වුයේ මුළු පිළියන්දල ප්‍රදේශයම හුදකලා කිරීම බවයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය වැඩිදුරටත් පැවසුවේ,
“මගේ දැනුවත් වීමකින් තොරව තමයි පිළියන්දලට පනවපු එම සීමාවන් ඊයේ රාත්‍රියේම අයින් කරේ. දැනටත් මගේ ඉල්ලීම විශාල ප්‍රදේශයක් ලොක්ඩවුන් කිරීමෙන් පමණයි අපි බලාපොරොත්තු වන ඉලක්කය ඉෂ්ඨ කරගන්න පුළුවන් වෙන්නේ. අපිට පෙනෙන රෝගීන් සංඛ්‍යාව අනුව තමයි හුදකලා කිරීම් කරලා තියෙන්නේ. නමුත් වාර්තා නොවූ රෝගීන් නිදැල්ලේ සැරිසරමින් මේ වන විටත් ඉන්නවා. රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම නිසා රෝගීන් 100ක පමණ ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ රැඳී සිටිනවා. සුවසැරිය ගිලන් රථයට මේ සියලු රෝගීන් ප්‍රවාහනය කිරීමේ හැකියාවක් නෑ. රෝගියෙක් සොයා ගත්තත් පැය ගණන් රෝගීන්ට බලා සිටීමට සිදුවෙනවා. ඒ නිසා ඉදිරියේදී රෝගීන් නිවෙස් තුළ මියයෑමේ හැකියාවක් පවතිනවා.“

මේ අතර, කොවිඩ් ආසාදිත පුද්ගලයින් වෛද්‍ය අධීක්ෂණය යටතේ තැබීම අනිවාර්ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

Leave A Reply

Your email address will not be published.

sixteen − 11 =