ඇමතිගේ මැදිහත්වීමෙන් පිළියන්දල හුදෙකලාවේ වෙනසක් !

පවතින කොවිඩ් පැතිරයාමේ ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින් ඊයේ (02) උදෑසන සිට පිළියන්දල පොලිස්බල ප්‍රදේශය හුදෙකලා කළ ද, එය එදිනම පස්වරුව වන විට ඉවත් කර ග්‍රාමසේවා වසම් කිහිපයක් පමණක් හුදෙකලා කිරීම පිළිබදව ප්‍රදේශවාසීහු මවිතය පළ කරති.

ඊයේ උදෑසන වන විට පැවති කොවිඩ් අවදානම් තත්ත්වය රාත්‍රිය වන විට පැය කිහිපයක් තුළ පහව ගියේ කෙසේ දැයි පිළියන්දල ජනතාව ප්‍රශ්න කර සිටී.

පිළියන්දල අවට ප්‍රදේශ රැසකින් තවමත් කොවිඩ් ආසාදිතයන් වාර්තා වන පරිසරයක් තුළ, එම හුදෙකලා තත්ත්වය ඉවත් කිරීම ප්‍රදේශවාසීන් අනතුරේ හෙළීමක් බව ඔවුහු පෙන්වා දෙති.

ඒ පිළිබදව කළ සොයාබැලීමේදී වාර්තා වූයේ මෙම හුදෙකලා තත්ත්වය ඉවත් කිරීම ප්‍රදේශයේ දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ බලපෑම මත සිදුව ඇති බවයි.

‍ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ ඇමතිවරයාගේ පිළියන්දල – මාවිත්තර නිවසේ පිහිටුවා ඇති ඔහුගේ කාර්යාලයේ සේවය කරන පුද්ගලයන් පස්දෙනෙකුද මේ වන විට කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන තිබේ.

කෙසේ වෙතත් තවමත් ඇමතිවරයා ස්වයං නිරෝධායනයට හෝ යොමුවී නොමැති අතර, ඔහු ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හා පක්ෂ හිතවාදීන් සමඟ පැවති රැස්වීම්වලටද සහභාගි වී තිබෙන බව අනාවරණය වේ.

පිළියන්දල අවට ඇති කර්මාන්තශාලා සහ හෝටල්වල සේවය කරන පිරිස් හරහා වෛරසය පැතිරීමේ අවදානමක් ඇතත්, අදාළ හුදෙකලා කිරීමේ තීරණය ආපසු හැරවීම මගින් එම ප්‍රදේශය ඉදිරියේදී දැඩි අර්බුදයකට යන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

කෙසේ වෙතත් අද (03) උදෑසන 5 සිට පිළියන්දල ග්‍රාම නිලධාරි වසම් 10ක් පමණක් හුදෙකලා කරන බව කොවිඩ් 19 මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කර තිබිණි.

ඒ අනුව පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ හුදෙකලා කර ඇති ග්‍රාම නිලධාරි වසම් වන්නේ දම්පේ, බටකැත්තර උතුර, කැස්බෑව දකුණ, පැළැන්වත්ත බටහිර, මාකන්දන නැගෙනහිර, මාවිත්තර උතුර, මඩපාත, ගොරකාපිටිය, නාම්පමුණුව සහ පැළැන්වත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් ය.

අදාළ ගැටළුව පිළිබදව විමසීමට ගාමිණී ලොකුගේ ඇමතිවරයා සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ඔහු ජංගම දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම නිසා ය.

Leave A Reply

Your email address will not be published.

2 × two =