පෑලියගොඩ පොකුර ඉවර කළා…

පී.. පෝ.. පී..පෝ… පී.. පෝ….
නිතරම ඇම්බියුලන්ස් සද්ද ඇහෙන නිසා හිච්චි කොලුවා වත්තට බැහැල බැලුවා… පොඩි අයියයි, තාත්තයි දෙන්නත් ඒ එක්කම එළියට ආවා.
“නිතරම මේවා යනවා දැන්… අනේ මන්ද…” තාත්තා කිව්වා.
ඒ එක්කම කුමාර අයියා පාරෙ යනවා. මාස්ක් එක බෙල්ලේ.
“ආ… අංකල්… මල්ලිලා.. කොහොම ද? ඔන්න යන්තම් පෑලියගොඩ පොකුර ඉවර වුණා… දැක්ක නේ වැඩ…?”
මේ මනුස්සයා මොන අණ්ඩර දෙමළයක් කියනව ද කියලා තුන්දෙනාම මූණට මූණ බැලුවා.
“කුමාර අයියා… ඕක මුහුණු ආවරණයක් මිසක් නිකට ආවරණයක් නෙමේ…” කුමාර අයියා ඒක හදා ගත්තා. “ඉතින් මොකක්ද ඒ කිව්වේ…?” අයියා ඇහුවා.
“නෑ මම කිව්වෙ පෑලියගොඩ පොකුර ඉවර කළා නේ…”
“ඒ කිව්වේ .. කොරෝනා ඉවර ද?”
“නෑ… නෑ… දැන් තියෙන්නේ අලුත් අවුරුදු පොකුර නේ…”
“අලුත් අවුරුදු පොකුර…? ඒක යසයි… මේක කොහොමද අලුත් අවුරුදු පොකුරක් වෙන්නේ…? මොකෝ මේක අවුරුද්ද නිසා වෙච්ච දෙයක් යැ… ඊට කලින් ඉඳලම ආව දෙයක් නේ…” තාත්තා කිව්වා.
“ඒ වුණාට අංකල්, මිනිස්සුන්ගෙ නෙ වැරැද්ද… රට වටේ රවුම් ගැහුවා… පාටි දැම්මා, ට්‍රිප් ගියා… කඩවල් සුද්ද කළා… ඕවා තමා…”
“මේ කුමාර අයියේ.. මිනිස්සුන්ගේ වැරද්දක් නෑ කියනව නෙමේ…  සතෙක් වුණත්, හිර වෙලා ඉඳලා නිදහස් කළාම උන් ඒ නිදහස ගන්නවා… දවසට දහදාහක්, පහළොස්දාහක් කරපු පී.සී.ආර්. අඩු කරලා, රටේ කොරෝන අඩුයි කියලා පෙන්නලා, රට සාමාන්‍ය තත්ත්වෙට වැටිලා කියලා පෙන්නන කොට මිනිස්සු එහෙම හැසිරෙනවා තමයි. මෙහෙම වෙයි කියන අවදානම තිබුණා නම්, ඒවා පාලනය කරනවා කියන එක කාගෙ වගකීම ද?” අයියා ඇහුවා.
“උඹලට ඉතින් හැමදාම ආණ්ඩුවල වැරැදි විතර නේ පේන්නේ…”
“වැරැදි නෙමේ… අපි කතිරේ ගහලා රටක ආණ්ඩුවක් හදන්නේ, මේ වගේ ප්‍රශ්නවල දී හරි තීරණ අරගෙන රටේ මිනිස්සු හරි පාරෙ ගෙනියන්න මිසක්… දෙයක් වෙනකම් උඩ බලන් ඉඳලා මිනිස්සුන්ට බනින්න නෙමේ නේ… එහෙම ගත්තොත් ඉතින්, පාස්කු දවසේ – බෝම්බ ගහපු දවසෙ – පල්ලි ගිය මිනිස්සු තමා වැරැදි. කොහොමත් දැන් එහෙම වේගෙන එන්නේ… ඒකෙන් වැඩක් නෑ… “
“මල්ලි මේ… මම යනවා… වැඩ වගයක් තියෙනවා.. අපිට ගෙවල්වලට වෙලා ඉන්න බෑනේ…”
“අයියා මේ දවස්වල කරන දෙයක් පරිස්සමින්… ඉස්පිරිතාල පිරිලා… අයි.සී.යූ. ඇඳන් පිරිලා… පුළුවන් තරම් පරිස්සම් වෙන්න…”
කුමාර අයියා ටිකක් කල්පනා කරන්න ගත්තා.
“ඇයි අයියා කල්පනා කරන්නෙ…?”
“නෑ මල්ලි කියපු කතාව… ඉස්පිරිතාල පිරිලා තමා මල්ලි…”
“අයියලා, කෑ ගහලා, දරදිය ඇදලා ඔය ගේන හැමෝම මේ රටට දීලා තියෙන්නේ අයි.සී.යූ. ඇඳන් 700යි ලු… අඩු ගාණේ එන්නත් ටික දී ගන්න…? හැම එකෙන්ම තැළෙන්නේ අපි වගේ මිනිස්සු මිසක් වෙන අය නෙමේ…”
“ඒකත් හරි මල්ලි… ඕවා ගැන මතක් වෙද්දි නම් පුදුම කේන්තියක් එන්නේ… අපි මුන්ට…..” කුමාර අයියා කෑගහන්න ගත්තා.
“හෝව්… හෝව්… හෝව්… පාරෙ කෑගහන්න එපා… දැක්ක නේ හෝන් ගහපු මල්ලි…. දවසෙන් හිරේ…”
කුමාර අයියා මොකුත් නොකියා ගියා.
“හා… හා.. ඇතුළට වෙලා හිටපල්ලා… ඒක තමයි මේ වෙලාවෙ කරන්න පුළුවන් හොඳම දේ..” තාත්තා කිව්වා..

 

 

Leave A Reply

Your email address will not be published.

four + eleven =