කොවිඩ් සැලසුම් පස්සට චීන ව්‍යාපෘති ඉදිරියට !

තමන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන නිර්දේශ ක්‍රියාත්මක නොකර, දේශපාලන අවශ්‍යතා මත කොවිඩ් 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් තීරණ ගැනීමට ආණ්ඩුව කටයුතු කිරීම බරපතළ තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටී.
වඩාත් වේගයෙන් පැතිර යන සහ අසාධ්‍ය තත්ත්වයට පත්වන බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය මෙරට පැතිර යන බව සෞඛ්‍ය අංශ විසින් ආණ්ඩුවට වාර්තා කර තිබුණේ පසුගිය අප්‍රේල් 08 දා ය. මේ නිසා යම් සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බව ද ඔවුන් පෙන්වා දී තිබිණි. ඉන්පසු පසුගිය 27 දා ද සෞඛ්‍ය අංශ ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේ අවුරුද්දෙන් පසු මේ ප්‍රභේදයේ පැතිර යෑම බරපතළ තත්ත්වයක ඇති බවත්, ඒ පිළිබඳ අවධානය යොමුකරන ලෙසත් ය.

රට වහන්නෙ නෑ

එහෙත් ජනාධිපතිවරයා ඔවුන්ට පවසා තිබුණේ කිසිදු හේතුවක් මත රට වසාදැමීමක් සිදුකිරීමට තමන් සූදානම් නැති බවයි. අගමැති මහින්ද රාජපක්ෂ ද පසුගිය 28දා මේ බව සඳහන් කර තිබිණි. මේ අතර පසුගිය 28දා ඇමැතිවරුන් පිරිසක් ද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පවත්වා තිබූ අතර, එහිදී ඔවුන් පෙන්වා දී තිබුණේ ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වී මරණ සංඛ්‍යාව වැඩි වුවහොත් එහි අපකීර්තිය ආණ්ඩුව වෙත එල්ල වන බවයි. එම නිසා දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පනවන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

තාක්ෂණික ඇගයීමක් නෑ

මේ සම්බන්ධයෙන් ‘ලංකා’ වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ අවශ්‍යතාව මත සංචරණ සීමා පැනවීම සුදුසු පරිදි කළ යුතුව ඇති බවයි. එසේම රට පුරා රෝහල්වල ඇඳන් ප්‍රමාණය, දැඩි සත්කාර ඒකක පහසුකම්, එම ඒකකවල කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික ශිල්පීන් ප්‍රමාණය, කොවිඩ් ආසාදිතයන් සහ අනෙකුත් රෝගීන් එම රෝහල්වල රඳවා තැබිය හැකිද යන්න හෝ ඉදිරියේදී ආසාදිතයන් වැඩිවන තත්ත්වයක් යටතේ ඔවුන් වෙනුවෙන් වෙන්කළ හැකි රෝහල් ප්‍රමාණය වැනි කරුණු සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීමක් කඩිනමින් කළ යුතුව ඇතැයි ද වෛද්‍ය ආනන්ද වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ පිළිබඳව කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු සඳහන් කළේ කොවිඩ් වසංගතය පැතිරීම ආරම්භ වූ මුල් වටයේදී එවැනි තාක්ෂණික ඇගයීමක් කළද, ඉන්පසු එවැන්නක් කිරීමට හැකියාවක් නොලැබුණු බවයි. ඊට හේතුව සෞඛ්‍ය අංශ දැඩි ලෙස කාර්යබහුල වීම බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඔක්සිජන් ප්‍රමාණවත්

කොළඹ, වසංගත රෝග විද්‍යායතනය හෙවත් අයිඩීඑච් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායකගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තම රෝහලේ දැඩි සත්කාර ඒකකය පසුගිය ජනවාරි මාසයේ සිටම පිරී පවතින බවයි. එහෙත් දැනට රෝගීන් සඳහා වන ඇඳන් ප්‍රමාණය කළමනාකරණය කරගත හැකි බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. හදිසි අවශ්‍යතාවකදී ගැනීමට ඇති ඔක්සිජන් ප්‍රමාණය සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ කොවිඩ් වසංගතය මෙරට පැතිරීම ආරම්භ වූ මුල් කාලයේදීම ඔක්සිජන් ටැංකියක් රෝහලේ සවිකළ බවත්, එම නිසා ගැටලුවක් මතුනොවනු ඇති බවත් ය.

රෝගීන් වැඩිවුවහොත් ගැටලුවක්

ලංකාවේ දැනට ශ්වසනය සඳහා එසේ ඔක්සිජන් ටැංකි නිෂ්පාදනය කරන සමාගම් දෙකක් ක්‍රියාත්මක වන අතර, ඔවුන් මාධ්‍ය වෙත පවසා තිබුණේ මාස හයක් සඳහා තමන්ට කිසිදු ගැටලුවකින් තොරව ඔක්සිජන් සැපයිය හැකි බවයි. එහෙත් ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන් ප්‍රමාණය ගුණාකාර වශයෙන් වැඩිවුවහොත්, එම අවශ්‍යතාවයන් සැපිරීමට අදාළ සමාගම් දෙකට හැකියාවක් නොලැබෙනු ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
අහඹු පරීක්ෂණ නවත්වයි
මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද පෙන්වා දෙන්නේ ආණ්ඩුව සිය වගකීම ඉටු නොකොට, වෙනත් කටයුතු සිදුකරමින් සිටින බවයි. එසේ පසුගිය 29දා එම සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ බස්නාහිර පළාතට පිවිසෙන සහ පිටවන ස්ථානවල අහඹු ලෙස කොවිඩ් 19 වෛරසය හඳුනාගන්නා පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කළද, පසුව එය නවතා දැමීමට උපදෙස් ලැබී ඇති බවයි. මේ තත්ත්වය යටතේ සීමාවකින් තොරව වෛරසය පැතිරුණහොත්, ඊට මුහුණ දීමට කිසිදු සූදානමක් නැති බව ද සභාපතිවරයා පෙන්වා දෙයි.

ආයෝජන සැලසුම් ඉදිරියට

මේ සියල්ල අතරවාරයේ චීන ආරක්ෂක ඇමැතිවරයා මෙරටට පැමිණීමත්, චීන වරාය නගර කොමිසමට අදාළ සාමාජිකයන් පිළිබඳ යෝජනා සලකා බැලීමත් සිදුවන බව ද අනාවරණය වේ. ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ චීන වරාය නගරයට අදාළ කටයුතු සමග තවත් චීන ණය මුදල් දෙකක් ලබාගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරන බවයි. එසේම කොළඹ නගරයේ මර්මස්ථානවල පිහිටි වාණිජ වටිනාකමකින් යුත් ගොඩනැගිලි කිහිපයක් ඉදිරියේදී නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන, ආයෝජකයන්ට පැවරීමට ද සැලසුම් කර තිබේ. එහි මුල් පියවර ලෙස කොළඹ මහ නගර සභාව යටතේ පාලනය කළ කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පැවරීමේ ගැසට් නිවේදනය පසුගිය සතියේ නිකුත් කෙරිණි.

Leave A Reply

Your email address will not be published.

12 − six =