පළමු මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියාව මාතලෙන් – නාඋල සභාවේ සභාපති නිල බලයෙන්ම වැඩ අරඹයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි මාතලේ – නාඋල ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් දසනායක විසින් විරුද්ධ පාර්ශ්වයේ මැතිවරණ ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුරයේ සිට මහනුවර දක්වා සංචාරය කිරීම පසුගිය 13 වැනිදා සිදු විය. එදින නාඋල නගරය හරහා ද යෙදී තිබුණු එම ගමනේදී නාඋල ප්‍රාදේශීය සභා සභාපතිවරයා විසින් එම නගරයේ ප්‍රදර්ශනය කෙරෙමින් තිබූ ‘ජාතික ජන බලවේගයට’ අයත් ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ජාතික ජන බලවේගය සංවිධානයට අයත් සියලූ ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට කටයුතු කළ සභාපතිවරයා එම ප්‍රචාරක පුවරු සියල්ල ප්‍රාදේශීය සභා භූමිය වෙත ගෙන ගොස් තිබේ. නැවත එම පුවරු සියල්ල සවි කරන ලෙස නාඋල ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු, ජවිපෙ ලග්ගල ආසන සංවිධායක ආර්. ඒ. ඩී. ජයතිලක ප්‍රාදේශීය සභා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියද, ප්‍රතිඵලයක් නොලද තැන මේ පිළිබඳව නාඋල පොලිසියට පැමිණිලි කිරීමට ඔහු විසින් කටයුතු කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

11 + seventeen =