සහරාන් ආරක්ෂා කිරීම ගැන සැක පිට රජයේ අධිනීතිඥයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් නම් ඉස්ලාම් සහ ජාතික තව්හිද් ජමාත් සංවිධානය පිළිබඳව 2017 වසරේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් එවූ ලිපිගොනුව සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන එය තමන් සන්තකයේ තබාගෙන සිටීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ අධිනීතීඥ මලික් අසීස්ව ලබන සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වේ.  ඒ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහාය.

2017 වසරේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් සහරාන් සහ තව්හිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද ලිපි ගොනුවේ සඳහන්ව තිබුණු සාක්ෂි අනුව ඔහුව ජාතීන් අතර අසමගිය ඇති කිරීමට තැත්කිරීම යන චෝදනාව මත ICCPR පනත යටතේ අත් අඩංගුවට ගැනීමේ හැකියාව තිබුණු නමුත් තමන්ට එසේ උපදෙස් ලබාදීම මඟහැරුණු බවත් එදා එසේ සහරාන් හෂීම්ව අත් අඩංගුවට ගන්නා ලෙස තමන් උපදෙස් ලබාදුන්නේ නම් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබුණු බවත් මලික් අසීස් මහතා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පිළිගත්තේය. 

තත්ත්වය එසේ තිබියදීත් පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා අත් අඩංගුවට ගැනීමට නිවේදන පිට නිවේදන නිකුත් කළ නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය මලික් අසීස් අධිනීතීඥවරයාව අත් අඩංගුවට ගැනීමට මෙතෙක් පියවර නොගැනීම සම්බන්ධයෙන් දැඩි විවේචන මතුව ඇති අතර ප්‍රහාරයට වගකිවයුත්තන් ආරක්ෂා කරන බවටත් නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලිසියට චෝදනා එල්ල වෙමින් පවතී. 

Leave A Reply

Your email address will not be published.

fifteen − seven =