අධිකරණයට අපහාස කළැයි නීතිපති දප්පුලට එරෙහිව පැමිණිල්ලක්

නීතිපති දප්පුල ද ලිවේරා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකාර ලේකම් රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න අධිකරණයට අපහාස කර ඇති බවට අගවිනිසුරුවරයාට හා අභියාචනාධිකරණයේ සභාපති වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ. 

පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට අසමත් වූ බවට චෝදනා එල්ල කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවේදී විත්තිකරුවන් දෙදෙනාට ඇප දීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය දුන් නියෝගය වැරදි සහ පදනම් රහිත පක්ෂපාති කරුණු ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුව මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කර තිබීම උක්ත පැමිණිල්ලට හේතුව ලෙස දක්වා  ඇත.

පසුගිය ජූලි 09  දින හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර  මහත්වරුන්ට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඇප  ලබා දුන් අතර  නියෝගයට අභියෝග කරමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය වෙත සංශෝධන පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණි. 

එලෙස  සංශෝධන පත්‍රිකාවක් මහාධිකරණය වෙත යොමුකරන බවට නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරිය  මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

මෙම ඇපදීම වැරදි සහ පදනම් රහිත පක්ෂපාති  කරුණු වලින් සමන්විත ඇති අතර ප්‍රධාන මහේස්ත්‍රාත් බාහිර සාධකවල බලපෑමෙන් කටයුතු කර ඇති බවට ද නීතිපති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය නිවේදනයෙන් ප්‍රසිද්ධ කර තිබුණි. 

නීතිපතිගේ සම්බන්ධීකාර නිලධාරිනිය වන නිෂාරා ජයරත්න මෙනෙවිය විසින් පසුගිය 18 වැනි දින එම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබුණි. 

ඒ අනුව පසුගිය 22 වැනි දින මාධ්‍ය වල වාර්තා කර තිබුණේ එම මාධ්‍ය ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මූලික අයිතිවාසිකම් වැනි දැනට ඉතිරිව ඇති නඩු රැසක් ඇති හෙයින් සිය සේවාදායකයන්ට බරපතල අගතියක් කර ඇති බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා කරුණු දැක්වූ බවයි. 

මෙහිදී නිෂාරා ජයරත්න මෙනෙවිය පවසා තිබුණේ මාධ්‍ය නිවේදනය යොමු කළේ නීතිපතිවරයාගේ දැනුවත්භාවය සහිතව බවත්ය. කෙසේවෙතත් එහි අඩංගුව පැවති කාරණා ප්‍රතික්ෂේප කිරීමටද එම නිලධාරිනිය කටයුතු කර නොතිබුණි. 

එහෙත් නීතිපතිවරයා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ නියෝගය සෘජුව හා වක්‍රව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් සහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කෙරෙහි පුද්ගලික අභිලාශය පළකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවයි පැමිණිල්ලේ දැක්වෙන්නේ. 

නීතිපතිවරයාගේ ක්‍රියාවට විරෝධය පළකරමින් තවදුරටත් එම පැමිණිල්ලේ දැක්වෙන්නේ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්ගේ නියෝගය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ “නීතිවිරෝධී”, “අසාධාරණ”,”අත්තනෝමතික නියෝගය” යන ප්‍රකාශ හරහා මහේස්ත්‍රාත්වරයාට දැඩි අපහාසයක් සිදුව ඇති අතර නින්දා කිරීමටද අවස්ථාවක් උදා කර දී ඇති බවයි. 

තවද නීතිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශය හරහා මෙරට ස්වාධීන අධිකරණය සම්බන්ධයෙන් පොදු ජනතාව තුළ ගොඩ නැගී තිබෙන  විශ්වාසය බිඳ වැටීමට හේතුවක් විය හැකි බවද එම පැමිණිල්ල විසින් පෙන්වා දී තිබේ. 

ඒ අනුව අධිකරණයට අපහාස කිරීම යන වරද පිළිබඳව පරීක්ෂණයක් පවත්වා අදාළ පාර්ශවයන්ට නීති ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා තිබේ. 

LNW

Leave A Reply

Your email address will not be published.

three × 4 =