සෞදි අරාබියේ කාන්තාවන්ට පනවා තිබූ සීමා රැසක් ඉවතට

සෞදි අරාබියේ කාන්තාවන්ට පිරිමි භාරකරුවකුගේ අවසරයකින් තොරව රටින් පිට සංචාරයේ යාමට අවස්ථාව හිමි වන බවට එරට රාජකීය නියෝගයක් නිකුත් කර තිබේ. අගෝස්තු 02 වන දින ප්‍රකාශයට පත් කළ නව නීතිය අනුව වයස අවුරුදු 21ට වැඩි කාන්තාවන්ට කිසිදු අවසරයකින් හෝ අනුමැතියකින් තොරව විදෙස් ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකිය. එය පිරිමි පුද්ගලයින් මෙන් කාන්තාවන්ට ද සමතැන් දීමකි. ඊට අමතරව ළදරු උපත්, විවාහ සහ දික්කසාද ලියාපදිංචි කිරීමේ අයිතිය ද කාන්තාවන්ට මෙමගින් ලබා දී තිබේ.

සෞදි අරාබියෙන් පළා යාමට එරට ඉහළ පෙළේ කාන්තාවන් කිහිප දෙනෙකු උත්සාහ දැරීමේ සිදුවීම් මාලාවකට පසුව මෙම තීරණය ගෙන ඇත.

කාන්තාවන් දෙවන මට්ටමේ පුරවැසියන් බවට පත්ව සිටින බව මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන වාතාවරණයක් තුළ, දිගු කාලයක සිට සෞදි අරාබිය කාන්තාවන්ට සලකන ආකාරය පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබිණි.

මේ අතර, කාන්තාවන්ට රැකියා අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් රැකියා රෙගුලාසි ද මෙහිදී වෙනස් කර තිබේ. මෙම නව නීතිය යටතේ ලිංග, ආබාධ හෝ වයස් භේදයකින් තොරව සෑම පුරවැසියෙකුටම රැකියාවල නිරත වීමේ අයිතිය ද ලබා දී තිබේ.

නව ප්‍රතිසංස්කරණවලින් පසුව ද කාන්තාවන් සම්බන්ධයෙන් සීමා කිහිපයක් තවදුරටත් ක්‍රියාත්මක වනු ඇත. විවාහ වීම සඳහා ඥාති පුරුෂයෙකුගේ අවසරය ලබා ගැනීම ඉන් එකකි. රඳවා තැබීමකට ලක්වී ඇතිනම්, බන්ධනාගාරයෙන් පිටවීමට ද එවැනි අවසරයක් අවැසිය. ඊට අමතරව කාන්තාවන්ට තමන්ගේ පුරවැසිභාවය මත සිය දරුවාට පුරවැසිභාවය හිමි කර දීමට නොහැකි අතර සිය දරුවන්ගේ විවාහයට අවසර දීමට ද කාන්තාවන්ට තවමත් අයිතියක් නොමැත.

BBC

Leave A Reply

Your email address will not be published.

2 × 4 =