මුස්ලිම් ‘ක්ෂණික දික්කසාද ක්‍රමය’ අපරාධයක් බව ඉන්දීය පාර්ලිමේන්තුව තීන්දු කරයි

මුස්ලිම් සම්ප්‍රදායක් වන “ක්ෂණික දික්කසාදය” සාපරාධී වරදක් බව පිළිගැනෙන පනතක් ඉන්දීය පාර්ලිමේන්තුව සම්මත කර තිබේ.

ඊමේල්, කෙටි පණිවුඩ හෝ වෙනත් ඕනෑම ක්‍රමයකින් තෙවරක් “තලාක්” යන වචනය පැවසීමෙන් මුස්ලිම් සැමියෙකුට තම බිරිඳගෙන් දික්කසාද වීමට හැකි බව පැවසෙන එම සම්ප්‍රදාය “ට්‍රිපල් තලාක්” ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වයි. එම සම්ප්‍රදාය ව්‍යවස්ථාවට පටහැනි බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළේ, 2017 වසරේදීය.

මෙම පනතට සහය පළ කරන්නන් පවසන්නේ, එමගින් මුස්ලිම් කාන්තාවන් ආරක්ෂා වන බවය. විරුද්ධ මතධාරීන්ගේ අදහස වී ඇත්තේ, මෙම තීන්දුව බරපතළ වන අතර එය වැරදි ලෙස භාවිත විය හැකි බවය. කෙසේ වෙතත් මෙම නව නීතිය උල්ලංඝණය කරන්නන් වසර 3ක් දක්වා බන්ධනාගාරගත කළ හැකිය.

මෙම පනත 2017 වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද, ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ (upper house) සාමාජිකයින් පිරිසක් එය සාධාරණ නොවන බව පැවසීම නිසා යම් ප්‍රමාදයක් සිදු විය.

ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය මෙම පනතට සහය පළ කළ අතර, ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂය ඊට විරුද්ධ විය. භාරතීය ජනතා පක්ෂයට ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලයක් නොමැත. එහෙත් ජූලි 30 පැවති ඡන්ද විමසීමේදී එහි මන්ත්‍රීවරුන් රැසක් ඡන්දය දීමෙන් වැළකී සිටි අතර ඡන්ද 99ට 84ක් වශයෙන් පනත සම්මත විය.

BBC

Leave A Reply

Your email address will not be published.

1 × five =