තොරතුරු තාක්ෂණ ආයතනය දන් දෙන්න – කරපු වංචා මෙන්න ….

මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයක් ආරම්භ කිරීම සඳහා මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ලැබුණේ යැයි කියන මුදලූත්, මහපොළ භාරකාර අරමුදලෙන් ආයෝජනය කළ මුදලූත් යොදවා මහපොළ භාරකාර අරමුදලටම හිමිකාරිත්වය තිබූ මාලඹේ අක්කර 25ක ඉඩමක ආරම්භ කළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය මේ වන විට එම සියලූ වත්කම් ද සමගින් පෞද්ගලික හිමිකාරිත්වයකට පවරා දීමට කටයුතු කර ඇති බව පසුගිය සතියේ අනාවරණය කරනු ලැබීය. පියවරෙන් පියවර ඉතාමත් කූඨ ලෙස සිදු කරනු ලැබූ ඒ මහා වංචාව නිල වශයෙන් අවසන් වන්නේ 2017 ජූලි මස 06 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත් සමඟිනි.

එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය 2017 මැයි මස 16 වන දින සිට කිසිදු අමාත්‍යාංශයක් යටතට නොගැනෙන සේ අමාත්‍යාංශ විෂයයන් හා කාර්යයන් පිළිබඳ ගැසට් පත්‍රයෙන් ඉවත් කරන ලද බවයි.
එසේ ඈවර වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය මෙවැනි ඛේදවාචකයකට මුහුණ දෙන්නේ හදිසියේ නොවන බවත්, ආරම්භයේ සිටම මෙවැනි අවභාවිතාවක් ඉලක්ක කරගෙන සිදු කරන ලද්දක් බවත් මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද වාර්තාවෙන් පැහැදිලිවම කරුණු සනාථ වී තිබේ. මෙය ආරම්භයේ එහි අයිතිය සහ පාලනය මොරටුව විශ්වවිද්‍යාලයේ අධිකාරිය යටතේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ, මොරටුව විශ්වවිද්‍යාලයේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ, වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සහ මහපොළ භාරකාර අරමුදලේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් පාලන ව්‍යුහයකින් සමන්විත විය යුතු බව 1998 ජූලි 01 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතියේ දී දක්වා තිබේ. එහෙත් ආරම්භයේ දීම ඒ නිර්දේශයන් හිතාමතාම කඩ කර තිඛෙන බව විගණකාධිපති වාර්තාව විසින් පෙන්වා දී තිබේ.

විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ

  1. ආයතනයේ අයිතිය හා පාලනය සම්බන්ධයෙන් 1998 ජූලි 01 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී තිබූ නිර්ණායක භාරකාර මණ්ඩලය විසින් අනුගමනය කර නැත.
  2. මොරටුව විශ්වවිද්‍යාලය මෙම ආයතනය භාර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කළ යුතුව තිබුණ ද, එවැන්නක් සිදු කර නැත. මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ද මෙම භාරකාර මණ්ඩලයේ සාමාජිකයකුව සිටින නිසා එය හිතාමතාම පැහැර හරින්නට ඇති බවට විගණකාධිපතිවරයා සැක පහළ කරයි. ආයතනය පිහිටු වීමේදී සැලසුම වී තිබී ඇත්තේ, අන්තර් කාල පරිච්ඡේදයකින් පසුව පාර්ලිමේන්තු පනතක් මඟින් මෙය මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ආයතනය බවට පත් කිරීම වුව ද, ඊට අවශ්‍ය කටයුතු පැහැර හැරීම මඟින් මොරටුව විශ්වවිද්‍යාලයට මේ ආයතනයේ හිමිකාරිත්වය අහිමි වී යයි.
  3. 2001 මැයි 10 වන දින සිදු කරන ලද අධ්‍යක්ෂ මණ්ඩල සංශෝධනයත් සමග පාලක මණ්ඩලයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජිතයන් පත් නොකිරීම නිසා අධ්‍යාපන අමාත්‍යාංශයටත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමටත් ආයතනයට ඇති අයිතිය අහිමි වී යයි.
  4. මහපොළ භාරකාර මණ්ඩලයේ නියෝජිතයන් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් 1/3ක් නියෝජනය කළ යුතු බවට තීරණයක් තිබුණ ද, එය උල්ලංඝනය කරමින් අරමුදලෙන් එක් අයකු පමණක් පත් කිරීමට 2005 පෙබරවාරි මාසයේ දී කටයුතු කර ඇත. මේ අනුව මහපොළ භාරකාර අරමුදලට ද තොරතුරු තාක්ෂණ ආයතනයේ නියෝජනය අවම වී යයි.
    මේ අනුව අමු අමුවේම ආයතනයේ පරිපාලන බලය අත්පත් කර ගන්නා අතරතුර මෙය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉවත් කර වාණිජ කටයුතු අමාත්‍යාංශය අතට පත් කර ගැනීමට ද කටයුතු කරනු ලබයි.

උසාවි නියෝගත් නොසලකා හැරලා

ආයතනයේ සිදු වන මූල්‍ය කටයුතු සහ ගෙවීම් පැහැර හැරීම් සම්බන්ධයෙන් සොයාබලන ලෙස භාර අරමුදලේ නියෝජිතයාට මහපොළ භාරකාර මණ්ඩලය විසින් විධිමත්ව දැනුම් දී තිබුණ ද, එවැනි සොයාබැලීමක් ඔහු විසින් සිදු කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත. එසේම ඉන් පසු අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡාවල දී ඒ සම්බන්ධයෙන් කිසිදු කතාබහක් ද සිදු කර නොමැති බව අධ්‍යක්ෂ මණ්ඩල වාර්තා සනාථ කරයි. එසේම මහපොළ භාරකාර මණ්ඩලය 2011 දෙසැම්බර් මස 08 වන දින පැවැත් වූ රැස්වීමේ දී තොරතුරු තාක්ෂණ ආයතනය විසින් ගිවිසුම් ප්‍රකාරව ගෙවිය යුතු බදු මුදල් ගෙවීම අඩු වී ඇති බවත්, ඇතැම් අවස්ථාවල ගෙවීම් පැහැර හැර ඇති බවත් අනාවරණය වී ඇත. ඒ සම්බන්ධයෙන් සහ ගිවිසුමේ වගන්ති සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ සහයෙන් කරන ලද නිරීක්ෂණයන් ඉදිරිපත් කරන ලෙස අග්‍රවිනිශ්චයකාරවරයා විසින් තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග කර තිබුණ ද, එම නියෝගය පවා එහි අධ්‍යක්ෂවරයා විසින් නොතකා හැර තිබේ.

සියල්ල අහිමි කළ අවසන් ගිවිසුම

එසේම ඒ වන විටත් භාර අරමුදලට වාසිදායකව තිබූ කොන්දේසි තව දුරටත් ඉවත් කරමින් නව ගිවිසුමකට එළැඹීමට 2015 මැයි 12 වන දින කටයුතු කර ඇත. ඒ පහත සඳහන් කොන්දේසි ද ඇතුළත් කරමිනි.

  1. භාර අරමුදල මඟින් තොරතුරු තාක්ෂණ ආයතනයේ ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා ලබා දුන් රුපියල් 37,35,79,392.00ක මුදල සහ ශිෂ්‍යත්ව ලබා දීම ඇතුළු අනෙකුත් ආනුෂාංගික පිරිවැය ආවරණය වන පරිදි රුපියල් 40,85,00,000.00ක මුදලක් භාර අරමුදලට ලබා දීම.
  2. මින් ඉදිරියට භාර අරමුදලට තොරතුරු තාක්ෂණ ආයතනයේ කිසිදු කොටසක හිමිකාරිත්වයක් නොමැති බව පිළිගැනීම සහ මහපොළ භාර අරමුදලෙන් ස්වාධීන ආයතනයක් ලෙස තොරතුරු තාක්ෂණ ආයතනයට කටයුතු කිරීමට ඉඩ සැලසීම.
  3. තොරතුරු තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට, ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිවලට සහ ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රමිතිවලට යටත් නොවන බව සහ 2015/2016 මූල්‍ය වර්ෂයෙන් පසුව මහපොළ භාරකාර අරමුදලට ගිණුම් වාර්තා ලබා දීමට අවශ්‍ය නොවන බව.
  4. තොරතුරු තාක්ෂණ ආයතනය පිහිටි මාලබේ ඉඩම උකසට තැබීම, කොටසක් හෝ සම්පූර්ණයෙන් කුලියට දීම සඳහා ආයතනයට සම්පූර්ණ නිදහස තිඛෙන බව සහ ඒ සම්බන්ධයෙන් මහපොළ භාරකාර මණ්ඩලයේ කිසිදු අවසරයක් අවශ්‍ය නොමැති බව.

මෙම ගිවිසුමට අනුව රුපියල් 40,85,00,000.00ක මුදල තොරතුරු තාක්ෂණ ආයතනයේ පාලනාධිකාරිය විසින් මහපොළ භාරකාර අරමුදලට ගෙවා දැමීමත් සමග සම්පූර්ණයෙන්ම ආයතනය සතු රජයේ හිමිකාරිත්වය අහෝසි වී ගියේය. එහෙත්, ගෙවිය යුතු මුදල ලෙස මෙම වටිනාකම දක්වා ඇත්තේ ද වංචාසහගතවය. 2015/2016 වර්ෂයේ මහපොළ භාරකාර අරමුදලේ මූල්‍ය වාර්තාවල තොරතුරු තාක්ෂණ ආයතනය සඳහා ආයෝජනය කර ඇති මුදල වශයෙන් දක්වා ඇත්තේ රුපියල් 106,45,20,695.00ක මුදලකි. 2015/2016 මූල්‍ය වාර්තාවේ සඳහන් වන එම මුදල 2016/2017 මූල්‍ය වාර්තාවෙන් කිසිදු හේතුවක් නොමැතිව ඉවත් කර දමා ඇත. මෙය ඉතාමත් ගැටලූකාරී තත්ත්වයකි.

කවුද මේ අධ්‍යක්ෂවරයා..?

විගණන වාර්තාවේ අධ්‍යක්ෂවරයා යනුවෙන් කෙනෙකු නම් කර තිබුණ ද තොරතුරු තාක්ෂණ ආයතනයේ නිල වෙබ් අඩවියේ අධ්‍යක්ෂවරයෙකු ගැන සඳහන් නොවෙයි. ඒ වෙනුවට සඳහන්ව ඇත්තේ සභාපති සහ කලමණාකරණ අධ්‍යක්ෂවරයෙකු පිළිබඳවය. සභාපතිවරයා ලක්ෂ්මන් එල්. රත්නායකය. ඔහු කලකට පෙර ඔහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති වශයෙක් කටයුතු කළ අතර, මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති හා සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. තොරතුරු තාක්ෂණ ආයතනය ආරම්භයේදී මොරටුව විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ඊට සම්බන්ධ වී ඇත.

රත්නායකගේ ඩීල්

2017 අගෝස්තු මාසයේ ‘ලංකා’ පුවත්පත මඟින් කරන ලද හෙළිදරව්වක සඳහන් වූයේ චතුරිකා සිරිසේනට BSc(IT)- උපාධියක් ලැබුණු ආකාරයයි. වසර ගණනාවක් තිස්සේ සමත් වීමට නොහැකි වූ උපාධිය තාත්තා ජනාධිපති වීමත් සමග ලබා ගැනීමට උපකාර කර ඇත්තේ තොරතුරු තාක්ෂණ ආයතනයේ සභාපති ලක්ෂ්මන් එල්. රත්නායකය. මේ උපාධිය ලබා දෙන විට ජනාධිපතිවරයා විසින් තොරතුරු තාක්ෂණ ආයතනය රජයේ කිසිදු සම්බන්ධයක් නැති ආයතනයක් බවට පත් කිරීමට ගැසට් පත්‍රය ද නිකුත් කර අවසන්ය. උපාධිය ලබා දීමට අමතරව තොරතුරු තාක්ෂණ ආයතනයේ කළමනාකරණ කටයුතුවලට ද චතුරිකා මැදිහත් කර ගැනීමේ එකඟතාවක් තිඛෙන බව දැන් හෙළි වෙමින් තිබේ.

කෙසේ වෙතත්, මේ වන විට තොරතුරු තාක්ෂණ ආයතනය සම්පූර්ණයෙන්ම පෞද්ගලික ආයතනයක් බවට පත් වී තිබේ. ඒ වෙනුවෙන් රජයට කිසිදු ගෙවීමක් සිදු කර නොමැති බව විගණන වාර්තාවම සනාථ කරයි. මහපොළ භාර අරමුදල වෙත ගෙවා ඇත්තේ ද ආයෝජනය කළ මුදලෙන් ඉතාමත් සුළු ප්‍රමාණයකි. ඊට අමතරව එතෙක් ගෙවිය යුතුව තිබූ බදු කුලී මුදල් ද වංචාකාරී ලෙස ගෙවීම පැහැර හැර තිබේ. මේ සියල්ලේ පාඩුව තවම ගණනය කර නැත. මේ සියලූ පාඩුව ගණනය කිරීමටත්, සිදු වී ඇති වංචාවන් පිළිබඳව සොයාබැලීමටත් විශේෂ කමිටුවක් පත් කරන ලෙස ද විගණන වාර්තාව පවසයි. එවැන්නක් සිදු වේ ද යන්න අප බලා සිටිය යුතු කාරණාවකි. පත් කරන කමිටුවෙන් පසු මේවාට සාධාරණයක් ඉටු වේ ද යන්න ප්‍රශ්නාර්ථයකි.

චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

16 − six =