මුස්ලිම් විවාහ නීති වෙනස් නොකරන්න බදියුදීන් – ජමියතුල් උලමා කුමන්ත්‍රණයක …. මන්ත්‍රී කණ්ඩායමත් එකඟයි

මේ වන විට අවසන් අදිරයට පැමිණෙමින් තිබෙන මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කිරීම නතර කිරීම සඳහා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය කටයුතු කරමින් සිටින අතර රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයා ඊට සෘජුවම මැදිහත් වෙමින් සිටින බව හෙළි වී තිබේ.

මේ වන විට අදාළ නීති සංශෝධනය සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව පවා සකස් කර අවසන්ව ඇති අතර ඉතිරිව තිබී ඇත්තේ මුස්ලිම් කටයුතු භාර ඇමතිවරයා සහ අධිකරණ ඇමතිවරිය ඊට අත්සන් තැබීම පමණි. ඉන් අනතුරුව මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතව තිබිණි. ඒ සම්බන්ධයෙන් සහ වෙනත් මුස්ලිම් ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රී කණ්ඩායම විසින් පවත්වන ලද සාකච්ඡාවක් අතරතුර රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා දුරකථනය ඇමතුමක් දෙමින් පවසා ඇත්තේ ජමියතුල් උලමා සංවිධානයෙන් මුස්ලිම් විවාහ නීතය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විරෝධයක් දක්වා ඇති බවත්, ඔවුන් ඒ පිළිබඳ වෙනත් යෝජනාවලියක් ඉදිරිපත් කරන බවත්ය. පසුව එම ලිපියත් රැගෙන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා එම සාකච්ඡාව පැවැත්වූ ස්ථානයට පැමිණ ඇති අතර අවසානයේ තීරණය වී ඇත්තේ නැවතත් මෙම සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවත් ඒ වන තෙක් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම නතර කළ යුතු බවත්ය.

නැවත මෙම සංශෝධන පිළිබඳ සොයා බැලීම සඳහා සිව් දෙනෙකුගෙන් යුතු කමිටුවක් ද ඔවුන් විසින් පත් කර ගනු ලබන අතර හලීම්, ෆයිසර් මුස්තාපා, හකීම් සහ අෂ්ෂේක් රිස්වි මුෆ්ති යන අය එකී කමිටුව නියෝජනය කිරීමට මන්ත්‍රී කණ්ඩාමේ අනුමැතිය ලැබී තිබේ.

වසර ගණනාවක් මුස්ලිම් විවාහ සහ දික්කසාද නීති සංශෝධනය කළ යුතු බවට කතාබහක් පමණක් නොව ඊට අදාළ සැලකිය යුතු වැඩ කොටසක්ද ප්‍රගතිශීලී මුස්ලිම් කණ්ඩායම් විසින් සිදු කරමින් සිටිය ද එය ප්‍රමාද කිරීමට දිගින් දිගටම ජමියතුල් උලමා සංවිධානය මැදිහත් වී තිබේ. එවැනි තත්ත්වයක් තිබියදී රිෂාඩ් බදියුදීන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රී කණ්ඩායම නැවත වතාවක් ජමියතුල් උලමා සංවිධානයට මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට අවස්ථාවක් ලබා දීම ප්‍රගතිශීලී මුස්ලිම් සංවිධාන වල විරෝධයට හේතු වී ඇත.

Leave A Reply

Your email address will not be published.

18 − 5 =