විනාඩි දෙකක් නිහඬ වීමෙන් යුක්තිය ලැබෙන බව ඔබට කීවේ කවුරුන්දැයි දැන් සිහිපත් කරගන්න!

අඳුරු කාමර තුළ සැඟවී කෙරෙන අපරාධ නීතියේ දෑසෙන් සැඟවී යන’යුරු පිළිබඳව කතාන්දරයන් අප අසා ඇත්තෙමු. එහෙත් මුළු රටම ඉදිරියේ පුපුරවා හැරී ජීවිත ගණනාවක් පිළිබඳව එක දශමයක හෝ වගවීමකින් හෝ වගකීමකින් තොරව හැසිරෙන රජයන් දෙකක් අපට මුණගැසී තිබේ.
යුක්තිය පසිඳලීමට මෙරටේ පිහිටුවා ඇති ආයතන සපුරාම කපටි හිවළුන් සේ හැසිරෙනා’යුරු දැන් දෙවසරක් තිස්සේ අප දැක තිබේ.
මිය ගිය ක්‍රිස්තියානීන්ට සහ අනෙක් ජනයාට සාමය අත්කර දෙනු පිණිස කුඩු කර දමනු ලැබූ මු.ස්ලිම් කඩ, ගිණිබත් කර දමනු ලැබූ නිවෙස් යනාදී සියල්ලටම අදාළ චූදිතයන් තවමත් නිදැල්ලේ ය. නැවතත් මොහොත එළැඹි විට ගිණි තැබීමේ බලාපොරොත්තුවෙන් ඔවුහු අවදියෙන් සිටිනා බව අප දනිමු.
මිය ගිය මිනිසුන් හට ප්‍රාණ පරිත්‍යාගී ලේබලයක් ගසා ඔවුන්ගේ ආත්ම වෙනුවෙන් යාච්ඤා කිරීම සහ නිහඬ ව්‍රතය රැකීම යනාදී යෝජනා රැගෙන ඒම සහ විවිධ දිනවල විවිධ මත ප්‍රකාශ කිරීමෙන් නොනැවතී ඒවා රිවර්ස් කිරීම අපූරුවට සිදු කෙරූ ක්‍රිස්තියානි සභා නායකත්වයක අව පැහැ ගැන් වූ ධජයක පිටුපස සිටගෙන ඉන්නා අතර යුක්තිය හිඟාකෑමේ උවමනාවක් තව දුරටත් ක්‍රිස්තියානීන් සහ විශේෂයෙන් කතෝලිකයන් හට තිබේ දැයි මා දන්නේ නැත. මට එවන් උවමනාවක් ඇත්තේ නැත!
මිය ගිය මිනිසුන් පිළිබඳව පවසමින් ඡන්ද ගණන් කෙරූ මිනිසුන් මේ අවකාශ තුළ සිටි බව අප කිසිවෙක් අමතක කළ යුතු නැත! මීගමුවේ ඡන්ද දෙස බලා ” කුඩු වෙන්නම ගහන්න තිබ්බේ අපරාදේ ඉතුරු කරේ” වර්ගයේ කතා කියූ මිනිසුන් සහ අද ඔවුන්ගේ හැසිරීම ඔබෙ මතකයේ තබා ගන්න.
මියගිය මිනිසුන් තවත් එක් කැම්පේන් එකක් පමණක් කරගත් සමාජ ක්‍රියාධරයන් සහ විකල්ප දේශපාලන බලවේග දෙස සිරුවෙන් බලන්න.
ඡන්ද එකතු කරගැනීමට කටුවාපිටිය, කොච්චිකඩේ සහ ඉඳහිට මඩකලපුව සිහිපත් කරනා මිනී මෝරුන්, හිවළුන් සහ කපුටන් දෙස බලන්න.
ඒ සියල්ල දෙස බලනාතර තුර ඔබේ වේදනාවෙන් පිරි තුවාලයට ඇඟිල්ලෙන් අනිමින් එදා, ඔබේ මු.ස්ලිම් සහෝදරයාට පහර
දීම සාධාරණීකරනය කෙරූ මිනිසුන් දෙස කල්පනාවෙන් බලා හිඳින්න.
ඉන්පසු යුක්තිය වෙනුවෙන් ඔබ කළ යුත්තේ කුමක්දැයි ඔබෙන්ම අසන්න. කොළඹ රදගුරු මැදුර දෙස බැලීම නිශ්ඵල යැයි සිතේ නම්, එල් සැල්වදෝරයේ රදගුරු ඔස්කාර් රොමේරෝ දෙස, බ්‍රසීලයේ රදගුරුවරුන් වූ කසල්දලීගා සහ කමාරා දෙස හෝ ගුවාතමාලාවේ හුඅන් හෙරාර්දි දෙස බලන්න. ඔවුන් වටා එක් වූ ක්‍රිස්තියානි සංඝ දෙස බලන්න. පොළවෙන් හට ගත්, යුක්‍තිය වෙනුවෙන් නිර්මාණය වූ, ඒ වෙනුවෙන්ම සටන් වැදි මිනිසුන්ගේ උත්සහයන් දෙස බලන්න.
රාජ්‍ය බලය සහිත මිනීමරුවන් හට පළමු ගල් ප්‍රහාරය එල්ල කිරීමට පෙර, ඔබේ දේවස්ථානයේ නියමුවා නියෝජනය කරන්නේ ඔබවද නැතහොත් වෙන කවරෙකු හෝ දැයි කියා සොයාගන්න. එතැනින් අරඹන්න!!
නිවසෙන් පිට නොව, නිවස දෙස බලන්න. නිවසේ පියා ඔබට යන්නට කියා පවසන්නේ කොහේටදැයි කියා ඇස් ඇර බලන්න. ඇස් වසාගෙන, හිස නමාගෙන, යන්න කියනා තැනකට යෑමෙන් සා විනාඩි දෙකක් නිහඬ වීමෙන් යුක්තිය ලැබෙන බව ඔබට කීවේ කවුරුන්දැයි දැන් සිහිපත් කරගන්න!
21/04/2019-21/04/2021
-ශෙනු පෙරේරා (fb)

Leave A Reply

Your email address will not be published.

5 × 5 =