ජීවිතයට පාර නොකියන පාර

හදිසියේ ලද අවස්ථාවකින් දඹුල්ල පොළොන්නරුව මහා මාර්ගයේ හබරණ – මින්නේරිය කැලෑ බද ප්රදේශයෙන් පොළොන්නරුව වෙත ළගා වුණා. සවස පහට පමණ වල් අලි පාරට බහින මාර්ගයක මෝටර් බයිසිකලයකින් ගමන් කිරීමට ලැබීමත් එක්තරා අත්දැකීම් සමුදායක ආරම්භයක්. මහමග දෙපසින්ම වනාන්තරයක අදුරු සෙවණැලි තුලින් දැවැන්තයින්ගේ සෙලවීම් පෙනෙන මායිමෙන් රථ වාහන එහා මෙහා යන්නේ වේගයෙන්. ඒ අතර වනය මායිම් වූ ගම් වල වාසීන්  මෝටර් රථ, මෝටර් බයික්, ත්රී රෝද රථ වලින් තම දෛනික කටයුතු සදහා මෙම පෙදෙස් පසු කරමින් සිටින්නේ අනතුරු ඇති තැන් ගැන හොද අවබෝධයකින් වගේම ලද සෑම විටම ආගන්තුකයින්ට අනතුරු අගවමින්.

එක දිගට එක පෙළට එකම වේගයකින් ධාවනය වන වාහන අතර පොඩි වාහන වලට ආරක්ෂාව සපයන්නට ඉදිරිපත් වන ලොකු වාහන බොහෝමයි. ඒ අතර ඉදිරියෙන් එන වාහන වල හෙඩ් ලයිට් වලින් ඉස්සරහා අලි කියන සංඥෘව ලබා දෙන්නේ ආගන්තුකයින්ට තම ආරක්ෂාව ලබා ගන්නට අවස්ථාව සොයා දෙමින්. වාහන කිහිපයකම සංඥා සමඟ ටික දුරක් ඉදිරියෙන් මහා මාර්ගයත් වනයත් වෙන් වන අඩි තුනක් පමණ වූ ඇලපාරේ අලින් කිහිප දෙනෙකු පාරට එන්නට සූදානම්ව එහා මෙහා යන වාහන වලට තර්ජනය කරන්නට පටන් අරගෙන. ඉක්මනින් ඒ ස්ථානය පසු කරත් මෙයාලා ඊගාවට යන්නේ කොහේටද කියලා හිතන්නට අවස්ථාවක් නොදුන්නේ අඩි තුන හමාරක් පමණ උස අලි පැටියෙක් පාරට ඉතාම කිට්ටුවෙන්, පාරට එන්නට සූදානම්ව එහාට මෙහාට පනින්නට සූදානම් වන සිදුවීම දැකීමෙන්. ඒත් හිතපු තරම් ඉක්මණින් ඒක වුණේ නැහැ.

“අපෝ හොඳ වෙලාවට පැටියා පාරට පැන්නේ නැත්තේ ආවා නම් ලඟ තියෙන වාහන ඔක්කොටෝම ගහනවා මහ අලි” කවුදෝ කියනවා ඇසුණා.

එක අතකට මහ මග දාලා යන මිනිස් දරුවන් දකින අපට මේ සතුන්ගේ දරු සෙනෙහස ගැන ඉගෙන ගන්න පාඩම් බොහෝමයි. මේ පැටියාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන වැඩිහිටි සතුන් තම ආරක්ෂාව නොතකාම අනෙකුන්ට අභියෝග කරන්නට ඉදිරියට එන හැටි අවදානම් වූවත් ආදරණීයයි.

කිලෝ මීටර් ගණනාවක් එක දිගට පෙනෙන මාර්ගය දෙපස වනයත් මහ මගට එන වල් අලිත් දකින විට සිතුණේ සොබා දහමට නොගැලපෙන තැනක සංවර්ධනයද, සංවර්ධනය වන තැනක සොබාදහමද අකීකරු කියලා. ඒ වගේම වන සතුන්ගේ වාසස්ථාන වලට අපි කඩා වැදුනාද, එහෙමත් නැතිනම් මිනිසුන්ගේ වාසස්ථාන වලට ඔවුන් ගෙනවිත් දැමුවාද කියයල. ණැ… ඒ කිසිවක් නොවේ. මිනිස්සු හිතන්නේ මිනිසා කියලා කියන්නේ සොබා දහමේ කොටසක් නොවේ, සොබා දහම මිනිසාගේ අවශ්යතා වෙනුවෙන් ඇති වූවක් කියලයි. ඒ සිතන ආකාරය වෙනස් වී තම තමන්ගේ ජීවන යුතුකම අවබෝධ වන තුරුම මේ ප්රශ්නයට සාර්ථක පිළිතුරු සෙවීම අසාර්ථක වනු ඇති.

ගමන අවසානයේ ආපසු ඒමට තෝරා ගත්තේ බකමූණ හරහා වන මාර්ගයයි. මොරගහකන්ද ජලාශ්රය හමුවන්නේද මේ මාර්ගයේය. ගිරිතලේ වැව පසු කරමින් යන දිගටම පෙනුනේ අලි වැටෙන් සීමා කරවූ ජන ජීවිතයයි. ආරක්ෂාව කියලා හිතුවට ඒකත් නිකමට කොටු වීමක් නොවේද කියලත් හිතුණා.

රටටම බත සපයන මේ ප්රදේශවල මිනිසුන්ගේ අව්යාජකම තේරුම් ගැනීමට නම් මොහොතක් නැවතී ඔවුන් සමග කතා බහ කළ යුතුමය. ගිමන් නිවා ගැනීමට මාර්ගය අද්දර කුඩා තේ කඩයකට ගොඩ වූ විට දකින්නට ලැබුනේ කඩයට යාබද ප්රදේශයේ අලි වැටත් ඊට එහායින් වූ ඔයත් දිගටම ඇද තිබූ කම්බි සහ අමතර දම් වැල් වලින් යෙදූ ආරක්ෂිත ක්රමෝපායන්ය.

“අම්මේ මෙතනටත් අලි එනවද..?” ඒ චූටි පෙට්ටි කඩයේ හිමිකාරිය යාන්තමට සිනාසුණා.

“අපෝ ඔව්. කොචිචර අලි වැට ගහලා තිබිබත් ඒවට ගස් කඩලා දාලා වැට කඩාගෙන මෙහා පැත්තේ කුඹුරු වලට පනිනවා. ඔය දිගටම තියෙන්නේ අලි ගෙවල්. රෑට වෙඩි දාලා රකින්නේ ඕවගේ ඉදලා,

“අර දම්වැල් දාලා තියෙන්නේ ඇයි?”

“ඔයෙන් එගොඩ වෙනවට. ඒත් එගොඩ වෙනවා. මාසයක් නෑ, තව පොඩ්ඩක් එහායින් එක්කෙනෙක් අලියා ගහලා මැරුණා, උදේ කුඔුරේ ඉදලා එද්දී. අලි කැලේ ඉදන් ගම් වදිද්දී ටිකක් බේරෙන්න පුලුවන්. ඒත් උදේට අහුවුනොත් නම් බේරෙන්න අමාරුයි”

“ඒ ඇයි…?”

“ඇයි ඉතින් රෑ තිස්සේ බඩගින්නේ කෑම හොයද්දී මිනිස්සු උන්ව එලවනවා. වෙඩි දානවා. ඒ හින්දා උනුත් තරහින්නේ ඉන්නේ”

ඒ වචන අස්සේ වෛරයක් දැක්කේ නැහැ. මොරගහකන්ද ජලාශයට උඩින් ඊළඟ චණ්ඩියා අපිට හමුවනවා. බෝඩ් ගසා ඇතත් අකුරු කියවන්නට නොදන්නා ඔහු හිතුමතේ පාර දිගේ ඇවිද යමින් සිටියා. පැය භාගයක් පමණ රැවම්, ගෙරවුම් බලා සිටි අප ඔහු පසුකර පෙනෙන නොපෙනෙන දුරින් පිහිටි ජලාශය නරඹන ස්ථානයට යද්දී, එහි සිටි වෙළඳසැල් හිමිවරුන් ලහි ලහියේ බඩු භාණ්ඩ ඔතා ගත්තේ ඉක්මනින් එතැනින් ඉවත් වීමටයි. මොනවා කරන්නද….. එයා එයාට හිමි – අහිමි ලෝකයේ නිදහස සොයා යනවා… සංවර්ධනය කියන්නේ තව කෙකුගේ නිදහස සීමා කරලා කොන්ක්රීට් පුරවා ගැනීමම නොවේ. සියල්ල රැකෙන පරිද්දෙන් දියුණු වීමයි.

දිලේකා දිසානායක

Leave A Reply

Your email address will not be published.

eleven − eight =