‘‘උදේ 8.45 ට විනාඩි දෙකක් නිහඬව ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිපත් කරමු‘‘

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී අදට (21) දෙවසරක් සම්පූර්ණ වීම සිහිකිරීම පිණිස රටේ සියලු කතෝලික දේවස්ථානවලදී අද දේවමෙහෙයන් හා සැමරුම් වැඩසටහන් සංවිධානය කර ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

මීට දෙවසරකට පෙර ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිපත් කිරීම සඳහා අද පෙරවරු 8.45 සිට විනාඩි දෙකක නිහඬතාවයක් පවත්වන්නැයි සියලු ජනතාවගෙන් කාදිනල්තුමෝ ඉල්ලීමක් කරයි.

උදෑසන 8.45ට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී කාදිනල්තුමන් සහභාගී වන ප්‍රධාන දේවමෙහෙය සහ සවස මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්කතියන් දේවස්ථානයේදීත් කාදිනල්තුමන් සහභාගී වන ප්‍රධාන දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතය..

උදෑසන 8.45ට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වෙන දේව මෙහෙයේදී සර්ව ආගමික නායකයින් විසින් ආගමින වතාවත් සිදුකර, ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කිරීමට නියමිතය.

මේ අතර කොච්චිකඩේ දේවස්ථානයේ දී මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචිත, ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතය මුසු කළ විශාරද නන්දා මාලිනිය විසින් ගයන සැමරුම් ගීතයක් ද මෙහිදී එළිදැක්වීමට කටයුතු යොදා තිබේ.

අද පස්වරුවේ කටුවාපිටිය දේවස්ථානයේදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඇතුළු රදගුරු මණ්ඩලය සහභාගී වන දේව මෙහෙය පැවැත්වෙන අතර කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය 40 දෙනෙකු මිහිදන් කර ඇති සුසාන භූමියේ ඉදිකළ දෙව්මැදුර විවෘත කිරීම ද සිදුකෙරේ..

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරවලින් මිය ගිය සියලු අය වෙනුවෙන් සාධාරණය හා රටට යහපත ප්‍රාර්ථනා කරමින් පියතුමන්ලා සහභාගී වන ආගමික පාගමනක් එදින පස්වරු 4.00ට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා ගමන් කිරීමට ද නියමිතයි.

 

Leave A Reply

Your email address will not be published.

3 × one =