“පක්ෂ නායකයින්ගේ රැස්වීමක් ඉල්ලුවහම මන්ත්‍රීවරු 51 දෙනෙකු රැස්වීමට ආරාධනා කරලා”

පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා අරලියගහ මන්දිරයෙ අද පෙරවරුවේ කැඳවා තිබූ ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම පක්ෂ 10 ක නායකයන් විසින් වර්ජනය කරනු ලැබුවේය.

ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය පී.වීරසිංහ, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහා චාර්ය තිස්ස විතාරණ, ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම්. අබ්දුල්ලා, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් කිප දෙනකු මෙම සාකච්ඡාවට සහභාගී නැත.

මේ අතර පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසුවේ,
“පළාත් සභා මැතිවරණ පනත් කෙටුම්පත පිළිබඳ අමාත්‍යවරුන් අතර එකඟත්වයක් ඇති කර ගැනීමට නොහැකි වු නිසා ජනාධිපතිතුමා විසින් අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරා පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කැඳවලා, මේ පිළිබඳ එකඟතාවයක් ඇති කර ගැනීමට කටයුතු කරන ලෙස. ඒ අනුව අගමැතිවරයා දැනුම් දුන්නා 19 වන දා උදෑසන අරලියගහ මන්දිරයට රැස්වෙන්න කියලා. ඊයේ හවස වෙද්දි අපට දැනගන්න ලැබුණා පක්ෂ නායකයින්ගේ රැස්වීමක් වෙනුවට මන්ත්‍රීවරු 51 දෙනෙකු රැස්වීමට ආරාධනා කරලා තිබෙන බව. විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු විශාල පිරිසක් මේ සාකච්ජාවට සහභාගිවීමට නියමිත බව. දැවැන්ත මන්ත්‍රී සමුහයක් එකතුවන රැස්වීමක දී හරවත් සංවාදයක් ඇති කර ගැනීම දුෂ්කර නිසාත් අනවශ්‍ය කාලගෝට්ටියක් ඇති වීම වළක්වා ගත යුතු නිසාත් එම රැස්වීමට සහභාගී නොවීමට පක්ෂ 10කයින් තීරණය කළා. මේ අනුව අගමැතිවරයා වෙනත් දිනයක පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට එකඟතාවය පළ කර තිබෙනවා.“
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක හමුව අද පැවැත්වූයේ එළඹෙන මැයි දිනය සැමරීම පිළිබඳ සාකච්ඡා කිරීමට බවය.

ඡායාරූපය අන්තර්ජාලයෙන්

Leave A Reply

Your email address will not be published.

twelve − six =