“වරාය නගරය තුළ වැටුප් විදේශීය මුදල් ඒකකයකින් ගෙවන්නත් නිර්දේශයක් කරල”

-අනුර දිසානායක

වරාය නගර බල ප්‍රදේශයේ වැටුප් විදේශීය මුදල් ඒකකයකින් (බොහෝ දුරට යුවාන්වලින්) ගෙවිය යුතු බවට නිර්දේශයක් මෙම පනතට ඇතුළත් වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අවධාරණය කරයි.

අනුර දිසානායක මේ බව අවධාරණය කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (16) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

“වරාය නගරය සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කර තිබෙන කොමිෂන් සභාව අපේ රටේ ව්‍යවස්ථාවට, අපේ රටේ ක්‍රියාත්මක නීති ගණනාවකට පටහැනිව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව මීට පෙරත් අප පෙන්වා දුන්නා. නගර සභා ආඥා පනත, ආයෝජන මණ්ඩල පනත, ක්‍රමෝපායික සංවර්ධන පනත ඇතුලු වැදගත් පනත් 07ක් වරාය නගර කොමිෂන් සභාවට ඇතුළත් වෙන්නේ නැහැ. ඊට අමතරව දේශීය ආදායම් බදු පනත, වැට් බදු පනත, ඇතුලු මුදල් පනත් ගණනාවක් සහ තවත් පනත් 14ක් මීට ඇතුළත් වෙන්නේ නැහැ. වරාය නගර ආර්ථික කොමිෂන් සභාව තුළ මෙම පනත් මුළුමනින්ම නිදහස් කිරීම හෝ අර්ධ නිදහසක් ලබාදීමට යෝජනා කර තිබෙනවා.”

“ඒ වගේම කිසිදු නගර සභාවකට, පළාත් සභාවකට හෝ අවම වශයෙන් කොළඹ දිස්ත්‍රික්කටවත් ඇතුලත් නොවුණ ප්‍රදේශයක් බවට පත්කර තිබෙනවා. අපේ රටේ යම් ප්‍රදේශයක් පාලනය කිරීම ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන නියෝජිතයන් විසින් සිදුකරනවා. නමුත් වරාය නගරයට අයත් අක්කර 1115ක් ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන කිසිදු ආයතනයකට යටත් වෙන්නේ නැහැ. එය මුළුමනින්ම ජනාධිපතිවරයා විසින් පත්කරන 05 දෙනෙකුට නොඅඩු, 07 දෙනෙකුට නොවැඩි කණ්ඩායමකට බලය ලබාදෙනවා. ශ්‍රී ලාංකිකයෙකු මෙම ප්‍රදේශයට ඇතුල්වී යම් භාණ්ඩයක් රැගෙන ආපසු එනවා නම් වෙනත් රටක සිට තවත් රටකට භාන්ඩ ගෙනයාමේදී මෙන් බදු ගෙවීමේ නීතියක් යෝජනා කර තිබෙනවා. මෙම බල ප්‍රදේශයේ වැටුප් විදේශීය මුදල් ඒකකයකින් (බොහෝ දුරට යුවාන්වලින්) ගෙවිය යුතු බවට නිර්දේශයක් මෙම පනතට ඇතුළත් වී තිබෙනවා.

ඒ වගේම කොමිෂන් සභාව සමග හෝ, ස්වාමියා සහ සේවකයා අතර හෝ යම් ආරවුලක් ඇති වුවහොත් එය විසඳීමට ජාත්‍යන්තර බේරුම්කරන මණ්ඩලයක් හමුවට යාමේ යෝජනාවක් තිබෙනවා. ඒ නිසා මේ කොමිෂන් සභාව අපේ භූමියට ඇතුළත් නොවන සුවිශේෂී ප්‍රදේශයක් හැටියට නිර්මාණය කෙරෙනවා. මෙහි භූමියෙන් 80%කට වැඩි ප්‍රමාණයක් අයිති වෙන්නේ චයිනා හාබර් නම් චීන සමාගමකට. මේ සමාගම පසුගිය කාලයේ විවිධ දේශපාලඥයන්ගේ ඡන්ද ව්‍යාපාරවලට සල්ලි ලබාදුන් බව ඇමරිකානු පුවත්පත්වල වාර්තා කර තිබුණා. මේ සල්ලි ලබාදුන්නේ කාටද, ලබා දුන්නේ කවදාද, ලබාදුන් චෙක් අංක ආදිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී දීර්ඝ විස්තරයක් මවිසින් ඉදිරිපත් කර තිබෙනවා. මෙම ආර්ථික කොමිෂන් සභාව පිහිටුවන්නේ චයිනා හාබර් සමාගමේ බල කිරීම මත. ඒ මිස ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගයට අනුරූපීව නොවේ. චීනයේ ජාත්‍යන්තර දේශපාලන ආර්ථික වුවමනාවන් සමග පෙළගැසීමක් පමණයි සිදුවෙන්නේ. චීනයේ භූ දේශපාලනික උපායමාර්ගයට අදාල ව්‍යාපෘතියකට ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව මේ හරහා පණ පොවමින් සිටිනවා.”

“අද ලෝකයේ බලවතුන් අතර විවිධ දේශපාලන ගැටුම් පවතිනවා. චීනය සහ ඉන්දියාව අතර දේශපාලන ගැටුමක් පවතින බව රහසක් නොවේ. කවර හෝ රටකට වඩා ඇඟෑලුම් පෑම නිසා අනික් පාර්ශවයෙන් එල්ලවන තර්ජනය අති මහත් විශාල විය හැකියි. ජනතාවගේ ඡන්දයෙන් පත්කරගන්නා ජනාධිපතිවරයාගේ ධූර කාලය සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය අවුරුදු 05යි. ඔවුන් මේ රටේ භාරකරුවන් මිස කිසිසේත්ම අයිතිකරුවන් නොවේ. එසේ තිබියදී මෙවැනි චීන ප්‍රාන්තයක් ගොඩනැගීමට කිසිසේත්ම ජනවරමක් නැති බව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව තේරුම් ගත යුතුයි. උතුරු දකුණු භේදයකින් තොරව, සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව, දුප්පත් පොහොසත් භේදයකින් තොරව අපි සියලු දෙනාටම අයිති රටක් මේක. මේ රට සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු ගන්නවා නම් ජනතාවගෙන් අනුමැතියක් ලබාගත යුතුයි. ඒ නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිහින් මේ කොමිෂන් සභා පනතට පාර්ලිමේන්තුවේ 2/3 බහුතරය පමණක් නොව ජනමත විචාරණයකින් අනුමැතියක් ලබාගත යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අවධාරණය කළේය.

Leave A Reply

Your email address will not be published.

1 × five =