හැත්තෑඑකේ දී අභියෝග කළේ අද පවතින යථාර්ථයේ තිඹිරිගෙයටයි

1971 අරගලයට වසර පනහක් සපිරීම වෙනුවෙන් ‘71 සහෝදරත්ව සංසදය’ පැවැත් වූ සමරු වැඩසටහන
පසුගිය 05 වැනිදා පෙරවරුවේ කොළඹ මහජන පුස්තකාල ශාලාවේ දී පැවැත්විණි. මෙම වැඩසටහනේ
පිළිගැනීමේ කතාව සිදු කළේ මූලාසනය හෙබැ වූ ‘71 සහෝදරත්ව සංසදයේ’ සභාපති තුල්හිරියේ ආරි වන අතර ස්තුති කතාව පවත්වන ලද්දේ ‘71 සහෝදරත්ව සංසදයේ’ ලේකම් නුවර පාර ප්‍රේමසිරි විසිනි. මෙහි ප්‍රධාන සමරු දේශනය පැවැත්වූයේ හිනිදුම සුනිල් සෙනෙවි ය. එම දේශනයේ සංක්ෂිප්ත සටහනක් මෙහි පළ කෙරේ.

අදට හරියටම අවුරුදු 50ක් සම්පූර්ණ වෙන 71 අප්‍රේල් තරුණ නැඟිටීම ශ්‍රී ලංකාවේ නූතන රාජ්‍ය ව්‍යුහය සකස් වීම පිළිබඳව අතිශය වැදගත් අවස්ථාවක්. අපේ දෑස් අපේක්ෂාවේ දීප්තියෙන් බබළවන මොහොතක් මේ. මගේ ඉදිරියේ ඉන්න වියපත් වීරවරයන් මෙන්ම වීරවරියන් වගේම මෙම ස්ථානයේ නොසිටින ඒ සියලු දෙනාටත් මගේ ආචාරය පුදකරන්න ඕනෑ.

අරගලයේ වසර 50ක් සම්පූර්ණ කරන මේ ඓතිහාසික නිමේෂය මා පෞද්ගලිකව භාග්‍යයක් කොට සලකන අවස්ථාවක්. 1971දී සිද්ධ වුණේ කුමක් ද? ධනය, බලය, වගේම ජනමතය, දෘෂ්ටිවාද, හමුදා, පොලිසිය ඇතුළු මර්දන උපකරණ සියල්ල සහිත රාජ්‍යයකට අභියෝග කළ වඩාත් සාධාරණ, යුක්තිසහගත, යුක්තිගරුක, මානවවාදී මනුෂ්‍ය ජීවිතයක් පිණිස කොන්දේසි විරහිතව දිවි පරදුවට තැබූවන් සැමරීමයි මේ කරන්නේ. අපේ රට සම්බන්ධයෙන් කෙනකුට කුඩා ලෙස දැනෙන්න පුළුවන් වුණාට රූපකයකින් කිව්වොත්, ලොව හෙල්ලූ දස දවස වගේ. ඒ කියන්නේ, ඔක්තෝබර් විප්ලවයේ තීව්‍ර දවස් 10 වගේ. අපට අර්ථයෙන් ඒ හා සමාන වැදගත්කමක් තිබෙන ක්‍රියාකාරිත්වයක්. එම සදානුස්මරණීය අරගලය කළ ඊට නායකත්වය දුන් රෝහණ විජේවීර සහෝදරයා ප්‍රමුඛ ඒ සුන්දර මිනිසුන්, සුන්දරතම ගැහැනුන් සියලු දෙනාට නැවතත් ආචාර කරනවා.
මේ අනුස්මරණීය මොහොතේ දෙසුම පවත්වන්න ආරාධනා කළ ‘71 සංසදයේ’ සියලු දෙනාට සහෝදරාත්මකව බුහුමන් දක්වනවා. මම ඉපදුණේ, ඔබලා ඒ ශ්‍රේෂ්ඨ අරගලය කරලා හරියටම අවුරුද්දකට පස්සේ. මගේ වයස අනුව නම්, ඔබේ අරගලය අවුරුද්දකින් වැඩිමහල්. ඒ මහා අරමුණු අළලා ග්‍රන්ථ රාශියක් ලියූ බව ඔබ දන්නවා. සමහර ඒවා කොමිෂන් සභා වාර්තා.

එහෙම කියන කොටම මතක් වෙන්නේ 1971 වෙනුවෙන් ක්‍රියාත්මක කළ අතිශය දුෂ්ට අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව. ඒ රූපකයෙන්ම ඊට අවුරුදු 50කට පස්සේ ක්‍රියාත්මක වෙන්න පටන්ගෙන තිබෙනවා. එවැනි ම දඬුවම් දීමේ කොමිසමක් අප අභිමුවට ඇවිල්ලා තිබෙනවා. මේ කාරණය නිසා කිසිවක්ම වෙනස් වෙලා නෑ කියලා එක අතකට හිතන්න සිදුවෙලා තිබෙනවා. ඒත් අරමුණු අත්හරින්න අපි කිසිවෙකු සූදානම් නැහැ. ක්‍රියාකාරී දේශපාලනයේ බොහෝ දේවල් වෙනස් වෙලා තිබෙන්න පුළුවන්. එහෙත්, සූරාකෑම සහ මර්දනය වෙනස් කළ යුතුයි කියන අපේ ප්‍රාර්ථනය බිඳකින් හෝ වෙනස් වෙලා නැහැ.

කොමිෂන් සභා වාර්තාවලට අමතරව ගැඹුරු ප්‍රබන්ධ, පරීක්ෂණ පත්‍රිකා, පුවත් පත් ලිපි හා විශේෂාංග වශයෙන් විශාල ප්‍රමාණයක ලේඛන අවුරුදු 50ක් ඇතුළත බිහිවෙලා තිබෙනවා. මේක නොනවතින ප්‍රවාහයක්. බිහි වී තිබෙන කෘති වගේම මේ මොහොතේත් කෘති බිහි වෙමින් තිබෙනවා. මීට දින තුන, හතරකට පෙර චාල්ස් දයානන්ද සහෝදරයා සිරගෙදර දී ඇන්ද චිත්‍ර අන්තර්ජාලයට මුදාහැර තිබුණා. ‘බක්මහේ කඳුළු’, ‘දුම්බර මතකය’ වගේ නවකතා අපිට මතක් වෙනවා. ඇතැම් විට කෙනකුට අලුත් තොරතුරක් නොවෙන්න පුළුවන් දෙයක් කියන්න මම කැමතියි. මෙතෙක් ඔබේ ඇස නොගැටුණු අතිවිශාල සාක්ෂි සම්භාරයක් ඇතුළත් කරලා ග්‍රන්ථ නාමාවලියක් සකස් කරලා තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු පුස්තකාලයාධිපති ආචාර්ය ඊ.එල්. ගුණතිලක මේ නාමාවලිය සම්පාදනය කළා. ග්‍රන්ථ නාමාවලි අතරත් විශේෂ කෘතියක් ඒක. 1971 ඉඳලා 1975 දක්වා අවුරුදු 4ක් තුළ විතරක් මේ අරගලය සම්බන්ධ විවිධ මූලාශ්‍ර 438ක් ඒ ග්‍රන්ථ නාමාවලියේ ඇතුළත්.
1973 ඇමෙරිකාවේ, චිකාගෝ නුවර පැවති සමුළුවක දී සම්මන්ත්‍රණ පත්‍රිකා කිහිපයක් ඉදිරිපත් වෙනවා. එක සම්මන්ත්‍රණ පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ මහාචාර්ය ගණනාත් ඔබේසේකර. ඔහු ලංකාව බිහි කළ අග්‍රගණ්‍ය මානව විද්‍යාඥයා වෙන්නත් පුළුවන්.

මේ වගේ ඉහළ පෙළේ පර්යේෂණ පත්‍රිකා, නිබන්ධන ඔබ එදා කළ සුවිශේෂී කටයුත්ත වෙනුවෙන් සංග්‍රහ වෙලා තිබෙනවා. ඉයන් ගුණතිලක 71 අප්‍රේල් නැඟිටීම සම්පිණ්ඩනය කරන්න යොදා ගන්නේ 1922දී ලියැවුණු ඩී.එස්. එලියට් කියන මහා කවියාගේ ‘මුඩුබිම’ කියන කාව්‍යයේ එන සමාරම්භ කවිය. අවුරුදු 50ක් ගතවෙලත් අපට තිබෙන්නේ, මුඩු බිමක් නොවෙයි ද? දේශපාලනඥයන් විසින් නිර්මාණය කරන ලද මුඩුබිමක් නොවෙයි ද? 71 අරගලයට 50ක් වෙනකොට පැරිස් කොමියුනය බිහිවෙලා අවුරුදු 150යි.
එලියට් ‘මුඩුබිම’ කවියෙන් ඉදිරිපත් කළ දළ අදහස සිංහලයට පරිවර්තනය කරන්නම්.

“අප්‍රේල් යනු කුරිරු තම මාසයයි
මහ පොළොවේ ලිලැක් මල් පූදින
ආශාව හා මතකය මුසු කර
වසත් වැසි සමග පැරැණි මුල්වලින් දලුලන”

ඔස්මන්ඩ් සහෝදරයලා වගේ පැරණි මුල් තවමත් මට මහපාරේ දී හමුවෙනවා. ප්‍රගතිශීලී අරගලවල දී හමුවෙනවා. ජීවිතය අග්ගිස්සේ පවා ඉතාමත් විනයගත ගමනක යෙදී ඉන්නවා. ඔබ අප්‍රේල් නැඟිටීම කරන කොට ලංකාවේ අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක කළ කතාවක හැන්සාඩ්ගත කරුණු මම ඉදිරිපත් කරන්නම්. 1971 නොවැම්බර් 25 වැනිදා කළ කතාවක්,

“අපි සියලු දෙනා අසුන්ගෙන ඉන්නේ විදාරණය වී යාමට නියමිත ගිනිකන්දක් මත. මේ ගිනිකන්ද කිනම් මොහොතක පුපුරා යා දැයි අප කිසිවකුටත් කිව නොහැකි ය. එය මහත් ව්‍යසනයක් ඇති කරමින් ලාවා වී ගලා යාමට මත්තෙන් ප්‍රමාණවත් තරම් ආරක්ෂක පියවර අපි අනුගමනය කළ යුත්තෙමු. ඒ ව්‍යසනයෙන් අපි සියලු දෙනා ආරක්ෂා කර ගත යුත්තෙමු.” මේ අප කියන්නේ කවුද? 1948 ඉඳලා 2021 දක්වා රට පාලනය කළ බණ්ඩාරනායක, සේනානායක, කොතලාවල, ජයවර්ධන, වික්‍රමසිංහ, රාජපක්ෂ, සිරිසේන ඇතුළු පාලක පන්තිය සහ විවිධ ලෙසින් ඒ පාලක පන්තිය හා ගැටගැසුණු ව්‍යාපාරික ගජමිතුරු පාතාල කණ්ඩායම් නෙවෙයි ද? ඒක එහෙම නොවෙයි කියන්න තරම් කරුණු අග්‍රාමාත්‍යවරියගේ ප්‍රකාශය තුළ තිබුණා නම්, ක්‍රියාකාරිත්වයෙන් අපට ඔප්පු වෙන්න ඕනෑ. තවමත් ඒ අය මහන්සි ගන්නේ ඒ අයගේ ආරක්ෂාව හදා ගන්න විතරයි.

මේ රුදුරු දේශපාලනය සමග ගැටගැසුණු දහස් ගණන් නිහඬ බුද්ධිමතුන්, මධ්‍යම පාන්තිකයන් හා රැවටෙන, දරිද්‍රතාවෙන් පෙළෙන ලක්ෂ ගණන් නිෂ්ක්‍රිය පුරවැසියන් වක්‍රව මේ කියන කාණ්ඩයට සහයෝගය දක්වනවා. ජී.එල්. පීරිස් නීති විශාරද මහාචාර්යතුමා වැනි අයගේ ඉඳලා සුළු පරිමාණ කසිප්පු ඇමතිලා දක්වා පිරිස ඒ කණ්ඩායම ඇතුළේ ඉන්නවා. අසූගාණක් අපරාධ නඩු, මූල්‍ය වංචා නඩු තියෙන අය ඉන්නවා. මහජනතාව වෙනුවෙන් අධිකරණයට ගිය සැබෑ මහජන නියෝජිතයෝ දණ්ඩනයට යටත් කිරීමට සූදානම් වන විනිසුරන්ගේ සිට ඔක්සිජන් නිෂ්පාදනය කරන කඩොලාන එපා කියූ මන්ත්‍රීවරුන් දක්වා පිරිසක් එතැන ඉන්නවා. ඒ අතරම විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු කළ ආහාර විශාල ප්‍රමාණයක් අප අනුභව කරමින් ඉන්න බව ප්‍රමිති ආයතනයේ ප්‍රධානියා අනාවරණය කර තිබෙනවා. ඒ ගැන හෙළි කිරීමෙන් ව්‍යාපාර විශාල ප්‍රමාණයක් කඩාවැටෙන බව එතුමිය විසින් හෙළි කර තිබුණා. 71දී අග්‍රාමාත්‍යවරිය අදහස් දැක්වූයේ මේ පිරිස රැකගැනීම වෙනුවෙන් නොවෙයි ද?
මේ තත්ත්වය තුළ ශ්‍රී ලාංකික පුරවැසියාගේ වර්තමාන ජීවන නිමේෂය වටහා ගැනීම කියන ප්‍රවේශයට මා යොමු වෙනවා. අද තිබෙන යථාර්ථයේ තිඹිරි ගෙයටයි 71දී අභියෝග කළේ. ඒ ප්‍රයත්නයේ අඩුපාඩු, වැරදි තක්සේරු, උපායමාර්ගික දුර්වලකම් එමට තියෙන්න ඇති. ‘71 සංසදය’ කියන්නේම එබඳු විවාදාපන්න, විවේචනාත්මක අදහස් එකට දරාගෙන එක හදවතකින් ගමනක් යන පිරිසක්. 71 සහ 88-89 දෙවැනි නැඟිටීම
දක්වා යම් යම් විවේචන, අඩුපාඩුකම් තිබෙනවා. එසේ තිබිය දී, ‘71සංසදය’ ජාතික ජනබලවේගයේ සක්‍රියම කොටස්කරුවෙක්. ‘71 ඔබේ ලංකාව’ සහ ‘2021 අපේ ලංකාව’ කොයි වගේ ද කියලා බලමු.
2021 ලංකාව දිනපතා අපට අභිමුඛ වෙනවා. අපි මෙතැනින් එළියට බැස්සාම අපේ ඔළුව ගිහින් වදින්නේ නොදියුණු, අශිෂ්ට යථාර්ථයක. සාමාන්‍ය පුරවැසියන් ලෙස අපි සියලු දෙනා ම දිනපතාම මේ විපාක භුක්ති විඳිමින් සිටිනවා. ඒ පීඩාව අර අගමැතිනිය කියූ ‘අපි’ කියන කණ්ඩායමට අයිති නැති වෙන්න පුළුවන්. මොක ද? අපට හිමි කොටස ඒ අය මංකොල්ල කාලා තියෙන නිසා.

පළමුවැනි කරුණ හැටියට ශ්‍රී ලංකාව මේ වන විට විශ්වාස කළ නොහැකි තරමට නීතියේ ආධිපත්‍යය බිඳවැටුණු රටක්. යුක්තිය ඉටු වීමේ ප්‍රධාන ලක්ෂණය වී තිබෙන්නේ, යුක්තිය ඉටු වන බව සහ එසේ ඉටු වන බව ඒත්තුගැන්වීම.

මේ රටේ යුක්තිය ඉටු වන බව ජනමාධ්‍යවල බල කිරීම් මඟින් ඕනෑ තරම් අහන්න ලැබෙනවා. නමුත්, අපට ඒත්තු ගිහින් තිබෙන්නේ වෙන එකක්. එක රටක් එක නීතියක් නොවෙයි, එක රටක් නීති දෙකක්. එහෙම නැත්නම් එක රටක් නීති ගොඩක්. දීර්ඝව විමර්ශනය කළ, නඩු කටයුතුවලින් නිදොස් නිදහස් කිරීම් ගැන ඔබ දන්නවා. නඩු පැවරීම්වල තිබුණු තාක්ෂණික දෝෂ දැන් අපූරුවට ඔවුන්ට පේනවා. අවුරුදු ගණන් විනිසුරන් ඇසූ නඩුවලට සිද්ධ වෙන දේ ඔබ දන්නවා. නීතිය පිළිබඳ විශ්වාසය පළුදු වීම පුරවැසි මනස සෙලවීමක්. එක එක ආණ්ඩුවල යුග පිළිබඳව ඊළඟ ආණ්ඩුවල යුගවල දී පළිගැනීම කුප්‍රකට සෙල්ලමක් වෙලා. කැකිල්ලේ කොමිසම කියලා කිව්වේ ඒකයි.

ඊළඟට අතිවිශාල අතාර්කික ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ලංකාව මෙතෙක් මුහුණ නොදුන් මූල්‍ය අර්බුදයක් අපේ දෙපාමුල තිබෙනවා. අර්ථකථනය කළ නොහැකි තරම් සංකීර්ණ විදේශ මැදිහත් වීම්වලට දැන් අපි මුහුණ දෙමින් ඉන්නවා. ඇමෙරිකාව, ඉන්දියාව, චීනය වගේ රටවල මැදිහත් වීම් ගැන ජනතාවට හිතාගන්නවත් බෑ. ඉතාමත්ම දුක්මුසු සහ කම්පනීය ලෙස අධ්‍යාපනය බිඳවැටිලා. මේ අවුරුදු 50 ඇතුළත විපාකයක් හැටියට අප ඉදිරියේ පවතිනවා.
ඔබට විස්තර කරන්න බැරි තරම් අධ්‍යාපනය බිඳවැටීමේ ඛේදවාචකය ගැඹුරුයි. නිදහස් අධ්‍යාපනය නම් වෙස්ගන්වලා තිබෙන ව්‍යාජයන් මගේ පුතා ඇතුළු සියලු දරුවන්ගේ අනාගතය අඳුරු කර තිබීම රහසක් නොවෙයි. සියල්ලම ගැඹුරු අගාධයක තිබෙන්නේ. ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු දිහා විතරක් බැලුවත්, මේ ඛේදවාචකය තේරුම් ගන්න ඔබට පුළුවන් වෙයි. කෝවිඩ් ප්‍රශ්නය නිසා මාර්ගගත අධ්‍යාපනය විශාල ඩේටා ජාවාරමක් ජනිත කරලා. අධ්‍යාපනයේ අර්බුද නිසා අධ්‍යාපනය ලැබීමට තිබෙන සම අවස්ථා වේගයෙන් අහිමි වෙමින් යනවා. මේ ගමන දිගට ගියොත් අපේ අධ්‍යාපනයේ ජයග්‍රහණ 1990 වැනි කාලයකට ආපසු පොළාපනින බව අධ්‍යාපනඥයන් අනතුරු අඟවනවා.
අනික් පැත්තෙන් සංස්කෘතික ජීවිතය දරුණු ලෙස බිඳවැටිලා. ජංගම දුරකථනයක් දිහා බලාගෙන ඉන්න ළමා

පරපුරක් ජනිත වී තිබෙන්නේ. කෝවිඩ් තත්ත්වය නිසා එය ස්ථිර වී තිබෙනවා. නියාමනයක් නැති නිසා අපේ දරුවන් ගොදුරු බවට පත් වෙමින් ඉන්නවා. සාහිත්‍යය, විශ්ව සාහිත්‍යයෙන් වියෝවීම අනිකුත් සියලු කලා මාධ්‍යයන්ගෙන් බිඳවැටීම සංස්කෘතික ජීවිතයේ බරපතළ ගරාවැටීමක් වෙලා. ධනේශ්වරයේ ගල්ගැසුණු මේ කාර්තුව සෙලවිය හැකි එක් ක්ෂේත්‍රයක් කලා-සංස්කෘතික ක්ෂේත්‍රය. ඒ ක්ෂේත්‍රය විශ්වවිද්‍යාලවල සිට වේගයෙන් විනාශ වෙමින් යනවා. සියලු විශ්වවිද්‍යාලවල දරුවන් කෝවිඩ් හමුවේ ගෙවල්වල කේවල චරිත බවට පත්වෙලා ඉවරයි. එකමුතුව වැඩ කිරීම, සංස්කෘතික කලා මංගල්‍යයන්, සියල්ල බිඳවැටිලා ඉවරයි.
ගල්, වැලි, පස් ජාවාරම් එක්ක පටන්ගෙන ජාන මංකොල්ලය දක්වා පාරිසරික බිඳවැටීම ඉතාමත්ම දරුණුයි. රෝහණ විජේවීර සහෝදරයා මොන තරම් දීර්ඝ දැක්මක් සහිතව පරිසරයත් එක්ක වැඩ කළා ද? රෝහණ විජේවීර සහෝදරයාගේ පෙරදැක්ම සහිතව මේ තරම් තාක්ෂණය නොදියුණු යුගයක අනාවැකි කීවා ද? බටගේ සහෝදරයා මේ සංකල්පය ඉදිරියට ගෙන ‘හරිත සමාජවාදය’ කියන සංකල්පය ඉදිරිපත් කර තිබෙනවා.

මැතිවරණ ක්‍රමය, ව්‍යවස්ථාව ඇතුළු දේශපාලන බලව්‍යුහය නොවිසිඳුණු අවුලක් බවට පත් වී තිබෙනවා. ජනතාවගේ ඡන්දයෙන් බිහි වන ආණ්ඩු විකෘති දේශපාලනයක නියැළී ඉන්නවා. රාජ්‍ය පරිපාලනයේ දී නිලධාරිවාදය ඉස්මත්තටම නැඟලා ඉවරයි. ඒ වගේම දැඩි ලෙස පිරිහුණු පෞද්ගලික ව්‍යවසායක් ශ්‍රී ලංකාවේ තිබෙන්නේ. ඒ වගේම සියුම්ව ක්‍රියාත්මක වන මිලිටරිකරණයකට අපි මුහුණ දෙමින් ඉන්නවා. ඒක තවත් අභියෝගයක්.
විදේශ ප්‍රතිපත්තිය ඉතාමත්ම නොදියුණු තැනකට වැටිලා ඉවරයි. තානාපති සේවා ගජමිතුරු සැලකිලි බවට පත් වෙලා. ප්‍රවාහණය, කෘෂිකර්මාන්තය, සෞඛ්‍යය ආශ්‍රිත කටයුතු ගොඩදැමීමට අමාරු ව්‍යසනයන් බවට පත්වෙලා. නිහාල් අබේසිංහ සහෝදරයා තම විශේෂඥ දැනුමෙන් කෝවිඩ් වසංගතය ගැන පසුගිය අවුරුද්ද ඇතුළේ මොන තරම් කරුණු කියලා ඇති ද? විෂ රසායන ද්‍රව්‍ය. ඖෂධ මංකොල්ලය, කොතරම් ගැඹුරු ද යන්න කල්පනා කළ යුතුයි. මේ රටේ ආණ්ඩු මිනිසුන් ගෙනිහින් තිබෙන තැන අතිශය ඛේදනීයයි.

ජාතිය සහ ආගම අන්තවාදී දෘෂ්ටිවාද බවට පත්වෙලා. කුලය, වාර්ගිකත්වය, උඩරට, පහතරට වැනි ප්‍රාදේශීය වාද, ගුරුකුල වාද, නිකාය වාද ඇතුළු අතිශය ප්‍රාථමික අශිෂ්ට, නොමිනිස් චර්යාවලින් විශ්වවිද්‍යාල බඳු ආයතන පවා නිදහස් වෙලා නෑ. පත්තරේක තිබෙන විවාහ දැන්වීමක් බලන්න. මොන තරම් බුද්ධියට නිග්‍රහයක් කරනවාද? හරියට වාහනයක් විකුණන්න වගේ.
අපි කොතැනට ද වැටිලා තිබෙන්නේ ? ජනමාධ්‍ය කියන මහජන ආයතන විය යුතු ක්ෂේත්‍රයක් අද ම්ලේච්ඡ විදිහට පරිහරණය කිරීම සහ එමඟින් ජනමතය නිර්මාණය කිරීම දක්වා පහත් තැනකට වැටිලා. මුග්ධ පිරිසක් අපේ රටේ සියලු ව්‍යුහයන් දරා සිටීම සහ එය එසේ නොවන ලෙස වෙස්ගැන්වීම වෙනුවෙන් නිෂ්ක්‍රිය බුද්ධිමතුන් පිරිසක් දෘෂ්ටිවාද නිපදවා පුරවැසියා මත දෛනිකව මුදාහරිනවා.

මේ ව්‍යසනවලට විරුද්ධව සක්‍රිය දේශපාලන අරගල කිහිපයක් මහ පොළොවේ ක්‍රියාත්මක වෙනවා. වන අලි – මිනිස් ගැටුම පිළිබඳව වල්සපුගල ගොවි උද්ඝෝෂණයක් අඛණ්ඩව පවත්වනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයේ ගොදුරු බවට පත් වී ඉන්න අය අද සංවිධානය වෙලා. පරිසර සංරක්ෂණය වෙනුවෙන් අරගල පැනනැඟී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් කරමින් යනවා. ජාතික ජන බලවේගය එබඳු කටයුතු රැසකට ඉදිරියේ දී නායකත්වය දෙන්න නියමිතයි.
ඔබ 71දී මේ ව්‍යසනයේ අනතුර දැකලා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර, දැන් අවුරුදු 50යි. ඒ අතරේ 88-89යේ නැඟිටීමක් අපට හමු වෙනවා. තවත් විවිධ වාමාංශික බලවේග, සමාජවාදය විශ්වාස කරන පිරිස් ශක්ති පමණින් කළ අරගලවලින් මේ අවුරුදු 50 පිරිලා තිබෙනවා.
ඒත් මේ වියපත් පිරිස සුබවාදී බලාපොරොත්තු අත්හැරලා නැහැ. එසේ වූ උණුසුම් ‘ජන පවුරු’ දැන් ලංකාවේ නිර්මාණය වෙමින් තිබෙනවා. ඇතැම් ඒවා අලුතින්. ඇතැම් ඒවා නැවත පණගැන්වෙමින් තිබෙනවා. ‘විය නොහැකියාවක සිට විය හැකියාවක්’ දක්වා දේශපාලන මාවතක් නිර්මාණය වී තිබෙනවා.
මේක ලංකාව විතරක් මුහුණ දෙන ප්‍රශ්නයක් නෙවෙයි, ඇමෙරිකාව, චීනය, ඉන්දියාව වගේ රටවලත් පවතින තත්ත්වයක්. ධනේශ්වරයේ අප ජීවත් වන කාර්තුව අතිශය බිහිසුණු එකක්. මීට අවුරුදු 50කට කලින් තිබුණු තත්ත්වයට වඩා සියදහස් ගුණයක කුරිරු එකක්. විනාශය පෙනි පෙනීත් බුද්ධිමතුන්, විනිසුරුවරුන් එබඳු මාවතකට අනුබල සපයන්නේ කොහොම ද? ඝාතකයා නිතරම ආදරණීය කෙනෙක් බවට පත් වීම තමයි අද පවතින්නේ.
අශෝක හඳගම කියන සිනමාවේදියා ඔහුගේ චිත්‍රපටයක කියනවා “මේක සද්ද නැතිව වෙඩි තියන සමාජයක්” කියලා. මෙවැනි සමාජයක සංවිධානය වීමත් ඇතැම් විට අතීතයට වඩා බෙහෙවින් දුෂ්කරයි. සංවිධානය වෙමින් ප්‍රඥාවන්තයන් ඉදිරියට එන හැම මොහොතක්ම ඉතාමත්ම සියුම් විදිහට වළකාලමින් තිබෙනවා. ලිබරල් ධනවාදය සහ සුබසාධන රාජ්‍යය පිළිබඳ චක්‍රය දැන් උපරිමයට පැමිණ ඉවරයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මොඩලය නැවත වතාවක් ඉලක්කගත වී තිබෙන්නේ, මේ සූරාකෑම්වල නූතන ප්‍රවේශයට.
එහෙම නම් කොතැන ද විසඳුම ? පුළුල් සමාජවාදී ප්‍රවේශයක, දියුණු සමාජවාදී ප්‍රවේශයක, මේ සියල්ලට විසඳුම ගැබ් වන බව අපේ විශ්වාසයයි. එය විස්තර කිරීම පවා අද ලෝකයේ සියලුම වාමාංශික ව්‍යාපාර ඉදිරියේ තිබෙන දුෂ්කරම කාර්යයයි. ඔබ, මම එකතු වුණු ප්‍රබුද්ධ දේශපාලන මොහොතක දී මේ දුෂ්කරම කාර්යය ඉටු කළ හැකියි.
-හිනිදුම සුනිල් සෙනෙවි

 

Leave A Reply

Your email address will not be published.

four + 13 =