ගම සමග පිළිසඳර වව්නියාවේ කතාව මෙන්න !

ජනාධිපතිවරයාගේ ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහන පසුගිය 03දා පෙරවරුවේ වව්නියාව, බෝගස්වැව නව ගම්මානයේදී පැවැත්වී ය.
වසර ගණනාවක් අත්හැර දැමූ ගමක් ලෙස පැවැති බෝගස්වැවේ කැඩුණු පාරවලට පැලැස්තර දැමීම මේ වැඩසටහන නිසා පසුගිය 02 වැනිදා මධ්‍යම රාත්‍රිය වන තුරුත් සිදු කරනු දක්නට ලැබිණි. ජනපති පැමිණෙන බෝගස්වැව පාසල ලහිලහියේ පිළිසකර කරනු ලැබුවේ පාසල් සිසු, සිසුවියන්ගේ ද උදවු ඇතිව ය.

පිළිසඳරට පෙර

එසේම ගම සමඟ පිළිසඳරකට එන ජනපතිවරයාට තමන් වසර ගණනක් තිස්සේ මුහුණ දෙන ගැටලු කියන්නටවත් ගම්වාසීන්ට එදින උදෑසන වන තුරුත් අවස්ථාව ලැබී තිබුණේ නැත. ඊට හේතුව තෝරා ගත් කිහිප දෙනකුට පමණක් කලින් සකස් කරන ලද ප්‍රශ්නාවලියක් දී ඇති නිසා බව ගම්වාසීහු චෝදනා කරති.
ගමේ ජනතා ප්‍රශ්න සහ යථාර්ථය වෙනුවට ගම්වැසියන් ඉදිරිපත්කළ ප්‍රශ්න මෙයාකාරය.
‘වසර ගණනක් තිස්සේ පදිංචිව සිටින තමන්ට මහවැලිය යටතේ හෝ ඔප්පු ලබා දෙන්න.’, ‘රැකියා නැති අයට කැලෑ කපා කර්මාන්ත ශාලා ඉදි කර දෙන්න.’, ‘වන අලි ගැටලුවට සහ ජල ගැටලුවට විසඳුම් දෙන්න.’, ‘වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබෙන ඉඩම් කුඹුරු සඳහා ලබා දෙන්න.’, ‘හමුදාව යොදවා වැව් අටක් කපා දෙන්න.’, ‘සිසුන් 850ක් පමණ සිටින බෝගස්වැව විදුහල ජාතික පාසලක් කර දෙන්න’, ‘බෝගස්වැව රෝහල නේවාසික පහසුකම් සහිතව ආරම්භ කරන්න.’ යන ඉල්ලීම් ය. සුපුරුදු පරිදි ප්‍රශ්න නිලධාරීන්ට පාස් කෙරී ගම සමග පිළිසඳර අවසන් විය.
මුදල් නැතැයි කියමින්, සංවර්ධනය නොකළ බෝගස්වැව පාසලේ ‘ඉන්ටර්බ්ලොක්’ අතුරා සකස් කිරීම, කිලෝමීටර් 40ක් පමණ දුරැති බෝගස්වැව මාර්ගයේ අලි නාවන වළවල් දින තුනක් ඇතුළත පුරවා සකස් කිරීම කඩිමුඩියේ සිදු කෙරුණු අතර, ඒ ගැන ජනතාව ජනපතිට ස්තුති කළහ.
වව්නියාව දිස්ත්‍රික්කයෙන් මුලතිව් රක්ෂිතයට සම්බන්ධ වන්නට තිබූ කැලෑව රක්ෂිතයක් බවට පත් කරනු ලැබුවේ එක්දහස් නවසිය තිස් ගණන්වල මුල භාගයේ ය. තිස් වසරකට ආසන්න කාලයක් පැවැති යුදමය වාතාවරණය නිසා උතුරු පළාතේ කැලෑ පෙදෙස් ආරක්ෂා වී තිබුණත්, යුද්ධයෙන් පසු කැලෑ රැකීමට යුද්ධයක් කරන්නට වන තැනට තල්ලු විය. ඒ නැවත පදිංචි කිරීම් සඳහා සහ වෙනත් සංවර්ධන ව්‍යාපෘති සඳහා උතුරේ වනාන්තර මහා පරිමාණයෙන් කපන්නට පටන් ගැනීමත් සමඟය.

2009 වසරේ දී බෝගස්වැව තත්ත්වය

2009 වසරේ දී යුද්ධය අවසන් වීමත් සමඟ ‘උතුරු වසන්තය’ නමින් ව්‍යාපෘතියක් ආරම්භ විය. එම ව්‍යාපෘතිය අනුව උතුරේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ වූ අතර, ඊට සමගාමීව කැලෑ එළි කිරීම ද ආරම්භ විය. ඇතැම් ව්‍යාපෘති සඳහා වනාන්තර එළිපෙහෙළි කළේ නියමිත අවසරයකින් පවා තොරව ය. වව්නියාව දිස්ත්‍රික්කයේ කැලෑ එළිපෙහළි කරමින් ගම්මාන කිහිපයක් ද ඉදි කළේ ය. ඒ 2010 සහ 2014 අතරතුර දී ය. නන්දිමිත්‍රගම, සැලළිහිනිගම, නාමල්ගම, බෝගස්වැව 01 සහ බෝගස්වැව 02 එම ගම්මාන පහ ය. මෙම ගම්මාන අතුරින් නන්දිමිත්‍රගමට හොඳ නිවාස ඉදි කර දුන් අතර, අනෙකුත් ගම්මානවලට එලෙස නිවාස ඉදි කර දුන්නේ නැත. ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචිව සිටි එවකට ආණ්ඩුවේ ආධාරකරුවන් රැසකට අදාළ ප්‍රදේශවල ඉඩම් ලබා දෙන ලදී. ඊට එකම කොන්දේසිය වූයේ තවකාලිකව හෝ පදිංචිව සිටිය යුතු ය යන්න පමණි. ඒ අනුව විවිධ ප්‍රදේශවල සිට පැමිණි පිරිස් වෙත රූස්ස ගස් කපා දමා කැලෑ එළිපෙහෙළි කොට ඉඩම් කට්ටි කර ලබා දුන්නේ ය. ඉඩම් කට්ටියක් ලබා ගැනීමට ඔවුන්ට ඕනෑ විය යුතු එකම සුදුසුකම වූයේ ඒ වන විට සිටි ප්‍රදේශයේ ඡන්ද හිමි නාමලේඛනයෙන් නම ඉවත් කර ගැනීම පමණි. ඡන්ද හිමි නාමලේඛනයෙන් නම ඉවත් කර ගන්නා ඕනෑම කෙනකුට වව්නියාවේ බෝගස්වැව ඇතුළු ප්‍රදේශවලින් ඉඩම් දීමට එවකට පැවැති ආණ්ඩුව කටයුතු කළේ ය. වරක් මාධ්‍යවේදීන් පිරිසක් උතුරේ සංචාරයකට කැඳවාගෙන ගිය අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍යවේදීන්ට ද එම යෝජනාව කර තිබිණි.
2011 වසරේ මේ ගම්මාන පිහිටුවා ජනතාව පදිංචි කිරීම ආරම්භ කෙරිණි. ඒ වන විට වව්නියාව දිසාපතිව සිටි බන්දුල හරිස්චන්ද්‍ර මහතාට ඉහළින් මෙම ව්‍යාපෘති භාරව කටයුතු කළේ යුද හමුදා ප්‍රධානීන් පිරිසකි. රක්ෂිතය විනාශ වනු බලා සිටිය නොහැකි තැන වන සංරක්ෂණ නිලධාරීන් තීරණයක් ගත්තේ ය. ඒ ගම්වාසීන්ගේ ආරක්ෂාවට බව කියමින් අලි වැටක් ඉදි කිරීම ය. අලි වැට ඉදි කිරීමේ සැබෑ අරමුණ වූයේ ගම්මුන් ආරක්ෂා කිරීම නොව රක්ෂිතය ආරක්ෂා කිරීම ය. කැලෑව තව දුරටත් විනාශ වීම මඳක් හෝ අඩු වූයේ ඒ අලි වැටේ සීමාව නිසා ය. කැලෑ වනසමින් ගම්මානය ඉදි කිරීම ගැන වාර්තා කළ මාධ්‍යවේදීන් හමුදා කඳවුරුවලට ගෙන්වා ප්‍රශ්න කර තිබිණි.

වනාන්තර එළි කර සකස් කළ ගම

මෙලෙස නන්දිමිත්‍රගම ඓතිහාසික ස්ථානවලින් සමන්විත වූ ප්‍රදේශයක් බව ගම්වාසීහු කියති. එම ඓතිහාසික දෑ, ගම්මාන ඉදි කරද්දී විනාශ කළ බවට ඔවුහු චෝදනා කරති. යුද්ධයට පෙර නන්දිමිත්‍රගම පවුල් කිහිපයක් පදිංචිව සිටියහ. නමුත් බෝගස්වැව එසේ නැත.
වව්නියාව නගරයේ සිට ත්‍රිකුණාමලය පාරේ කිලෝමීටර දෙකහමාරක් ගොස් මාමඩුව හන්දියෙන් වමට හැරී (903/1 බස් මාර්ගය) කිලෝමීටර 40ක් පමණ ගිය විට බෝගස්වැව ගම්මානය හමුවෙයි. උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කයේ වව්නියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පාලනය යටතේ ඇති බෝගස්වැව ගම්මානය අයත් වන්නේ සී213සී පිරප්පම්මඩුව් ග්‍රාමසේවා වසමට ය.
රාජපක්ෂ රජය සමයේ 2011 සිට බෝගස්වැව ඉඩම් දෙද්දී ඔප්පු ළඟ දීම දෙන බව කීව ද, 2015 ජනවාරියේ ආණ්ඩු පෙරළෙද්දීවත් ඔප්පු ලබා දීමට නොහැකි විය. ඊට හේතුව අදාළ ඉඩම් රක්ෂිතයෙන් මුදාහැර නොතිබුණු නිසා ය.

බෝගස්වැව මාර්ගයේ තත්ත්වය 2016දී

2015 වන විට බෝගස්වැව මාර්ගයේ ලංගම බස් රථ දෙකක් හා පෞද්ගලික බස් රථයක් ධාවනය වුව ද, මාර්ගයේ අබලන් තත්ත්වය නිසා ඇතැම් දිනවල ගමන් ගත්තේ එක් බස්රථයක් පමණි. බෝගස්වැවට යාමට ඇති කිලෝමීටර 40ක පමණ මාර්ගයේ සෑම අඩියක් පාසාම ඒ දිනවල වළවල් හැරී තිබුණු අතර, පාරට තාර හෝ කොන්ක්‍රීට් අතුරා තිබුණේ නැත. ගමේ ගෙවල් පහ හයක් හැර ඉතිරි සෑම නිවසක්ම කටුමැටි ගෙවල් විය. ඔවුනට තිබූ එකම පහසුකම විදුලි බලය පමණි. කටුමැටි ගෙවල් රැසකට විදුලිය ලැබී තිබිණි.
2012දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මුල් වී මෙම ඉඩම් බෙදා දීම සිදු කර, නිවසක් සාදා ගැනීමට තහඩු 12ක් ද ලබා දී තිබිණි.
මෙහි දී මෙම පවුල්වලට ගොඩින් අක්කරයයි, මඩින් අක්කරයයි දෙන බවට ද පොරොන්දු වී තිබුණ ද, එම මඩ ඉඩම් අක්කරය අද වෙන තුරුත් නොලැබුණු බව ප්‍රදේශවාසීහු පවසති. ජීවත් වීමට රැකියා නැතිකම ද ප්‍රධාන ප්‍රශ්නයක් වී තිබේ. සිදුකරන වගාවල් වැස්ස නිසාවෙන් මෙන්ම නියගය නිසාවෙන්ද පාළු වන බව ජනතාව කියති. ගල්, සිමෙන්තිවලින් ගෙවල් හදා දෙනවා කිව්වත් ඒවා තවම පොරොන්දුම පමණක් බව ඔවුහු කියති. සමෘද්ධි සහනාධාර නොලැබීමත්, පානීය ජලය නොමැතිකමත් බරපතල ප්‍රශ්නයන්ය. මේ වනවිට ගෙවල් 26කට පමණ එක් නළ ළිඳක් පවතී. ඒ ජලය බීමට ඒ තරම් සුදුසු නැත.
කලින් සිටි ප්‍රදේශයේ ඡන්ද නාමලේඛනයෙන් නම ඉවත් කළ ගමන් බෝගස්වැවෙන් ඉඩම් දුන්න ද, ගම්වැසියන්ට ඔප්පු පිරිනැමීමේ වැඩපිළිවෙළක් සකස් නොකළ බව ද ගම්වැසියෝ ප්‍රකාශ කරති.
ගමේ ගෙවල් රැසකට තවම නිසියාකාර වැසිකිළි නැත. වැසිකිළි ආධාර ලැබී ඇත්තේ දේශපාලන හිතවතුන්ට ය. වැසි සමයට මාර්ගවල යාමට අපහසුය. මාර්ග මඩගොහොරුවක් වන නිසාය. එසේම ගමේ පාසලේ රජයේ ගුරු පත්වීම් ලැබූ අය ඇත්තේ කිහිප දෙනෙකි. ඉතිරි පිරිස ස්වේච්ඡා ගුරුවරුවන් ය. රෝහලේ ද නේවාසික පහසුකම් නැත. රාත්‍රියට වෛද්‍යවරයකු නැත. හදිසියේ අසනීපයක් වුවහොත්, වව්නියාවට ගෙන යාමට සිදු වේ. මාර්ගය හොඳටම අබලන් නිසා ඇතැම් විට ලෙඩා මිය යාමට පවා සිදුවන ගමනකි එය.
රුපියල් දෙකෝටි පනස්තුන් ලක්ෂ හැටතුන් දහස් පන්සියපහක වියදමින් ඉදි කළ බෝගස්වැව රෝහලට ප්‍රතිකාර සඳහා දිනකට රෝගීහු 150ක් පමණ යති. එනමුත් එහි සිටිනුයේ එක් වෛද්‍යවරයෙක්, සාත්තු සේවිකාවන් කිහිප දෙනකු හා ස්වේච්ඡා සේවකයන් කිහිප දෙනකු පමණි. දිනකට ප්‍රතිකාර ලැබීමට එන රෝගීන් ප්‍රමාණය අනුව අඩු තරමේ වෛද්‍යවරුන් තිදෙනකු, හෙද නිලධාරීන් හය දෙනකු, ඖෂධවේදීන් තිදෙනකු හා සාත්තු සේවකයන් හය දෙනකුවත් සිටිය යුතුය.

පිළිසඳරට පෙර දැමූ පැලැස්තර

ගමේ පාසල බෝගස්වැව මහා විද්‍යාලයයි. 2016 වන විට ළමයින් 500කට අධික පිරිසක් සිටියත් එහි රජයේ පත්වීම් ලැබූ ගුරුවරු සිටියේ විදුහල්පති ද සමග හතර දෙනකු පමණි. පාසලේ ගොඩනැඟිලි පහසුකම් ප්‍රමාණවත් නොවී ය. එනිසා වැඩි පිරිසක් ඉගෙනුම ලැබුවේ ටකරන් මඬුවල ය.
ගමේ ප්‍රශ්න ගැන 2016 වසරේදී ජනමාධ්‍ය වාර්තා කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස යළිත් වරක් සංවර්ධන කටයුතු ආරම්භ කළේය. එය ද මාස කිහිපයක ඇවෑමෙන් නතර විය. ඒ ගැන ගමේ පාසල් සිසුවකුගේ ඉල්ලීමට අනුව ජනමාධ්‍ය වාර්තා කරද්දී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය ගම වෙත යොමු විය. සිරිසේන මහතා ගමට එද්දී ද මේ ආකාරයෙන්ම කඩිමුඩියේ කැඩුණු පාරවල් සකස් කරමින් පැලැස්තර විසඳුම් ගෙන ආවත්, සිරිසේන මහතා ගමට පැමිණ මාස කිහිපයක් යද්දී, පැලැස්තර කැඩී යළිත් පරණ තත්ත්වයටම පත් විය. ගමේ ගැටලුවලට ස්ථිර විසඳුම් ලැබුණේ නැත.
බෝගස්වැවට සාධාරණයක් ඉටු කරන්නේ නම්, එය කළ යුතු වන්නේ ක්‍රමවේද දෙකක් යටතේ ය. එකක් නම්, වන රක්ෂිතය කපා විනාශ කළ හා අනවසරයෙන් ජනතාව පදිංචි කළ දේශපාලකයන්ට හා නිලධාරීන්ට එරෙහිව නීතිමය කටයුතු සිදු කිරීමය. දෙවැන්න දේශපාලකයන්ගේ වරදට සාමාන්‍ය ජනතාව පළි නැති නිසා අනවසරයෙන් හෝ එහි පදිංචි කළවුන්ට අවශ්‍ය පහසුකම් දී ඔවුන් නඟාසිටුවිය යුතු ය. ඔවුන් නඟාසිටුවීමට බව කියමින් තව දුරටත් වනාන්තර එළි කිරීම ගැටලුවට ස්ථිර විසඳුම නොවන බව ප්‍රදේශවාසීහුම පවසති.
ජනතාව මුහුණපා සිටින මේ සැබෑ ප්‍රශ්න කිසිවකට ගම සමඟ පිලිසඳර පිළිතුරක් වූයේ නැති බව ප්‍රදේශවාසීහු සාක්ෂි දරති.
-තරිඳුජයවර්ධන

 

Leave A Reply

Your email address will not be published.