නන්දසිරි කීඹියහෙට්ටිගේ ඉතා සංවේදී කවි සිත ප්‍රශ්න කිරීම

 

නන්දසිරි කීඹියහෙට්ටි අතිශය සංවේදී මිනිසකු බවට ඔහුගේ ‘ගජ මුතු සහ කඳුළු’ කාව්‍ය සංග්‍රහය දෙස් දෙයි. විශ්වවිද්‍යාලයක ආචාර්‍යවරයකු ද වන ඒ මහතා බුද්ධිමත් කෙනකු බව ද සිතමි. ඒ මහතා මුහුණු පොතේ ලියන දෑ ඉතා ජනරිය බව ද නො රහසකි .පුරාණෝක්ති සඳහා නව අර්ථකථන දීම ඒ මහතාගේ කවි අතර දක්නට ලැබෙයි . පරාක්‍රම , රත්න ශ්‍රී , රණවීර වැනි කවියන් ද අඩු වැඩි වශයෙන් එකී අභ්‍යාසයේ නියුක්තව විශිෂ්ට පල නෙලාගෙන ඇත .තව ම මං ඒ ගැලරියේ යන හිසින් යුතුව කීඹියහෙට්ටි මහතා ලියන කවිය සඳකිඳුරු ජාතකය වෙනත් මානයකින් හසු කරගනියි . ගෞතම බුදුන්ගේ කිඹුල්වත්පුර ගමන සිදධාර්ථ -යසෝදරා ප්‍රේමයේ මහත් බව මැනවින් ප්‍රකට කරන මොහොතකි . කීඹියහෙට්ටි මහතා අප ඉදිරියට කැඳවන්නේ එබඳු ගැඹුරු ප්‍රේමයක් නො ලද ප්‍රේමවන්තයකුගේ කටහඬයි . ඔහු කවිය අවසන් කරන අයුරු තදින් අපේ සිත් ඇද ගනියි .

” ඊතලේවත් ඇදලා නො දමා
රජු සමග ගිය කිඳුරියේ
වසර තිහකට වැඩියි තාමත්
ඒ කැළැල් තව හොඳ නොවේ
නාටකේ මගෙ කොටස ඉවරයි
තවම මං ඒ ගැලරියේ ”

කීඹියහෙට්ටි මහතාගේ කවිය පියාපත් ලැබ මිනිසුන් අතරට යන ගුණයෙන් සමන්විත බව ඇත්තකි .එහෙත් රත්න්ශ්‍රී විජේසිංහගේ සිරිකාලකන්නි වැනි කවියක් මීට වඩා වැඩී ධාරිතාවයකින් පුරාණෝක්තිය නව මානයක් වෙත ඔසවා තබයි .
කවිය විශිෂ්ට මොහොතේ අපට තිළිණ කරන දෙය අන් කිසිම ක්‍රමයකින් ප්‍රකාශ කළ නො හැකි තරම් සියුම් දෙයකි .ඒ .එම් .ජී සිරිමාන්න භාවිත විචාරය කෘතියේ දී අපට මේ ඉසව්ව ගැන අඟවන්නේ ශේක්ස්පියර් මුණ්ගස්වමිනි .
” කවියාගේ මනැස නොපැහැදිලි , ගුප්ත දෙයට ශරීරයක් දෙත් ම ,කවියාගේ පෑන් තුඩ ඒවා සංඥාගත ස්වරූපවලට පෙරළා ,හිස් වූ මායාවකට නිවෙසකුත් නමකුත් දෙයි .
විලියම් ශේක්ස්පියර් -මධ්‍ය ගිම්හාන රාත්‍රියක ස්වප්නයක් –
කිහිඹිය හෙට්ටි මහතා වැනි සියුම් නිරීක්ෂණ ශක්තියක් ඇති කෙනෙකුට මෙබඳු සියුම් කාව්‍යභාවිතයන් වෙත යාමේ වාසනාගුණය සහ බුද්ධිමහිමය ඇති බව මට සිතෙයි .
ගජමුතු සහ කඳුළු කෘතිය තුළ දක්නට ලැබෙන තවත් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ ජනකවියේ සම්පත් නූතන අත්දැකීම් පළකිරීම සඳහා බුහුටි ලෙස යොදා ගැනීමයි .
අනේ ඔතන ඇති අම්මා නිදාගෙන යන හිසින් යුතු කවිය අපට ඇසෙන්නෙ මිය ගිය අම්මා කෙනෙකුගේ කටහඬිනි .ඒ කවිය ‘මැනලද පුතේ කිරිදුන්නේ මා නුඹට ‘ ප්‍රකට ජන කවිය මෙන් අප කම්පනයට ලක් කරයි .ඒ කවිය ඇරඹෙන්නේ මෙලෙස ය .

නිකම්වත් ආවෙ නැතිවට මළගමට
ඉඩම ලියා ගත්ත්ද නුඹ ගේ නමට
සොහොන් කන්ද මකවා සමකර බිමට
මහන්සි ද පුතේ ගේ හදනා නුඹට

රූප පෙට්ටියෙ සැළලිහිණීයාට යන හිසින් යුතු කවිය දේශපාලනික අරුත් මතු කරයි . ඒ කවිය ආවේගශීලී නො වන විරෝධාකල්ප දරාගෙන සිටියි . ඇත්තට ම මෙකල සිරිලක පවුල් දේශපාලනය මේ කවිය මගින් ස්පර්ශ කරයි . ඒ කවිය ඇරඹෙන්නේ උත්ප්‍රාසයක් අප සිත් තුළ ඇති කරමිනි .

තිසර ,කෝකිල ,මයුර ,පරවි කූජන හඬට
සැලලිහිණි ,ගිරා ,හස සැවුල් තටුවල රුවට
අපි සැවොම ඇන්දුණා කළ වර්ණානා වලට
ගෙන ගියා හසුන මළ පොත අකුර බැරි කමට

කවියේ අවසානය පහත දැක්වේ .

හැමදේම රජුට -බිසවට -පුතුට -දුවට
කිසිදෙයක් ඉල්ලලා තිබුණා ද රටට
හාමුදුරුවෝ වුණත් කත් ඇද්දෙ රජුට
ලයිට්වත් ඉල්ලුවද තොට ගමුවෙ ගමට

මෙබඳු කවියක් ඇතැම් විට වචන තියුණු ලෙස යොදාගෙන මිටත් වඩා තියුණු කළ නො හැකි ද ?මංජුල වෙධිවර්ධනගේ ශාන්තන් නම් වූ විදුලි බුබුලු දල්වන්නා කවිය සිහියට එයි .එහි එක් කවියක් පහත දැක්වේ .

නිවන පතන මණ්ඩලයේ බැනර් වල
කඳුළු වැලක් ඇඳ තිබුණයි ගලන්නට
ලැයිමේ අඳුර මැද වැල්පෙන දෙ ඇස් වල
ගලන ගලන හැම කඳුළෙ ම කරන්ට් එක

මෙහි අවසන් කවි පාදය ” ගලන ගලන හැම කඳුළෙ ම කරන්ට් එක ‘ කෙතරම් ප්‍රබල ද .
මේ සටහන නන්දසිරි කීඹියහෙට්ටි මහතාගේ සංවේදි කවි සිතට ගරු කරනු පිණිස ය .කවිය යනු කුමක්ද යන්න ඉඳුරා කියන්නට මම නො දනිමි .මෙහි දී STEPANIE BURT නම් විචාරීකාව DON’T READ POETRY නම් කෘතියේ දක්වන අදහසක් ලිවීම මැනවැයි සිතමි .
I am here to say that anyone who tells you that they know how to read poetry ,or what poetry really is ,or what it is good for ,or why you should read it ,in general ,is already getting it wrong .poetry ,the word has many overlapping meanings ,…..”
කෙසේ වෙතත් නන්දසිරි කීඹියහෙට්ටි වැනි බුද්ධිමත් කෙනෙකු රසිකයගේ හදවත සහ බුද්ධිය දෙක ම එකවර ස්පර්ශ කරන කවියක් වෙත පියනගනු දැකීම මගේ ප්‍රාර්ථනාවයි .
-ප්‍රියංකර නිවුන්හැල්ල (fb)

Leave A Reply

Your email address will not be published.