බලධාරීන්ට නොපෙනෙන හම්බන්තොට අලි රක්ෂිතයේ පරිසර හානි – මානව හිමිකම් කොමිසමත් මැදිහත් වෙයි

හම්බන්තොට යෝජිත වන අලි රක්ෂිත ප්‍රදේශයේ මහා පරිමාණයෙන් කෙරෙන පරිසර හානිය සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් බලධාරීන් හත් දෙනකුට දැනුම් දී තිබේ.
පරිසර අමාත්‍යාංශ ලේකම්, වනජීවී සංරක්ෂක ජනරාල්, වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සහ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යන බලධාරීන්ට මෙම දැනුම් දීම සිදු කර තිබේ.
මෙම දැන්වීම 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ බලතල ප්‍රකාරව සිදු කර ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මේ බව දන්වා ඇත්තේ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සිදු කරනු ලැබූ පැමිණිල්ලකට අදාළව ය.
හම්බන්තොට යෝජිත වන අලි රක්ෂිත ප්‍රදේශයේ මහා පරිමාණයෙන් කෙරෙන පරිසර හානි නතර කර ගැනීම සඳහා මැදිහත් වන ලෙසට ඉල්ලමින්, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
හම්බන්තොට වන අලි රක්ෂිතයක් ස්ථාපිත කිරීම සඳහා පසුගිය මාසයේ දී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
ඊට අදාළ ප්‍රදේශවල මහා පරිමාණයෙන් පරිසරය විනාශ කිරීම් සිදු වන බව එම ප්‍රදේශවල කළ සංචාරයේ දී දැක ගැනීමට හැකි වූ බවත්, මහා පරිමාණයෙන් කරන ගල් කැඩීම්, පස් කැපීම් සහ කැලෑ කැපීම් ද, වැව් රක්ෂිත සුද්ද කිරීම් සහ ඉඩම් අත්පත් කර ගැනීම් ද බහුලව සිදු වන බැවින්, මෙම නීති විරෝධී ක්‍රියා නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පැමිණිල්ලෙන් ඉල්ලා සිටී.
දිනෙන් දින මහා පරිමාණයෙන් වන විනාශය සිදු වන බැවින්, මේ සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ද ඉල්ලා ඔවුහු ඉල්ලා සිටිති.
හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් සූරියවැව, වල්සපුගල වැව් කණ්ඩිය මත දී පසුගිය ජනවාරි 18 වැනිදා ගොවි සංවිධාන 84ක් ඒකාබද්ධව සත්‍යග්‍රහයක් ද ආරම්භ කරන ලදී. ඉන්පසු ජනවාරි 20 වැනිදා ගොවීන් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලද අතර, ජනවාරි 23 වැනිදා එය අවසාන කරන ලදී. ඒ මේ අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ වන ඉඩම්වලින් බහුතරයක් අයත් වන මහවැලි විෂය භාර කැබිනට් ඇමති චමල් රාජපක්ෂ විසින් මේ ගැටලුව මාසයක් තුළ විසඳන බවට පොරොන්දුවක් ලබා දීමෙන් පසුව ය.

කැබිනට් අනුමැතිය

එහෙත්, ගොවීන් සත්‍යග්‍රහය දිගටම පවත්වාගෙන ආ අතර, පසුගිය 30දා එම සත්‍යග්‍රහයේ 71 වන දිනය සනිටුහන් කළේ ය. නමුත් මෙතෙක් ගැටලුව විසැඳී නැත.
ඉකුත් පෙබරවාරි 22 වැනිදා ගොවීහු අගමැති මහින්ද රාජපක්ෂ සහ වනජීවී විෂයභාර කැබිනට් ඇමති සී. බී. රත්නායක මුණගැසී මීට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන ලෙස බල කළහ. ඉන් පසු එදින පස්වරුවේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට සී. බී. රත්නායක ඇමතිවරයා විසින් මීට අදාළ කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර, එය සම්මත කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
එහි මෙසේ සඳහන් විය :
“හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ සිදු වෙමින් පවතින වේගවත් සංවර්ධන ව්‍යාපෘති සමඟ වන අලි ඇතුළු අනෙකුත් වනජීවීන්ගේ වාසස්ථාන හා සංක්‍රමණ මාර්ගවලට දැඩි ලෙස බලපෑම් ඇති වෙමින් පවතී. මෙම තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල අලි – මිනිස් ගැටුම් දිනෙන් දින උග්‍රවෙමින් පවතින අතර, ඊට පිළියමක් වශයෙන් වන අලින්ගේ සංක්‍රමණ මාර්ග විහි දී ඇති ආකාරය පර්යේෂණ මඟින් තහවුරු කරගෙන වන අලින් සහ අනෙකුත් ජීවීන් සඳහා වන අලි කළමනාකරණ රක්ෂිතයක් ප්‍රකාශයට පත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය මූලික පියවර ගනු ලැබ තිබේ. ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ඉඩම් හෙක්ටයාර 23,746.55ක භූමියක් යෝජිත රක්ෂිතය සඳහා
හඳුනාගෙන ඇත. ඒ සදහා අවශ්‍ය මාර්ගෝපදේශ හා රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ එකඟත්වය මත කෙටුම්පත් කරනු ලැබ ඇත. එකී ගැසට් නිවේදනය සඳහා නීති කෙටුම්පත් සම්පාදකගේ එකඟතාව ලබා ගැනීමෙන් අනතුරුව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට වාරිමාර්ග අමාත්‍යතුමා හා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.”
මේ වන විටත් යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිත භූමියෙන් විශාල කොටසක කෙසෙල්, අඹ වැනි වගා පවත්වාගෙන යන අතර, ඒවා පවත්වාගෙන යනු ලබන්නේ, ප්‍රදේශයේ ගොවීන් නොවේ. පිටස්තර ප්‍රදේශවලින් පැමිණි පිරිස්ය. අක්කර 50, 100 සහ 150 වැනි කොටස්වල විදුලි වැටවල් යොදා මේ වගාවන් පවත්වාගෙන යන අතර, එම ප්‍රදේශයේ ගල් වළවල් 13ක් ද පවත්වාගෙන යනු ලබයි.
හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම දිගින්-දිගටම ප්‍රමාද කිරීමට හේතු වී ඇත්තේ, දේශපාලනඥයන් සහ ඔවුන්ගේ සමීපතමයන් විසින් ඊට අදාළ ඉඩම් නීතිවිරෝධී ලෙස සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගනු ලැබීම බව අප කළ විමර්ශනයක දී අනාවරණය විය.
2009 වසරේ සිට මේ රක්ෂිතය ප්‍රකාශයට පත් නොකර, ජනතාව දැඩි පීඩාවට පත් කිරීමට දේශපාලනඥයෝ කටයුතු කරමින් සිටිති. මෙවර ද මහවැලි විෂයභාර කැබිනට් ඇමැති චමල් රාජපක්ෂ සූරියවැව අලි කළමනාකරණ රක්ෂිතය මාසයක කාලයක් තුළ ගැසට් කරන බවට පොරොන්දු වුව ද  මෙතෙක් එම ගැසට් නිවේදනය නිකුත් වී නොමැත.
-අසංකකරුණාරත්න

Leave A Reply

Your email address will not be published.