දේශපාලන හස්තයෙන් වැනසෙන ශ්‍රී ලංකා පොලිසිය

වෙන්නප්පුව කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර හැරියේ මාර්තු මස 20 දා ය. හදිසි මාරුවක් ලෙස ඔහු යවා තිබුණේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ය. ඔහුගේ ස්ථාන මාරුව සාමාන්‍ය ජනතාව අතරත්, ආගමික නායකයන් අතරත් ඇති කළේ ළතැවුලකි. දූෂණයෙන්, භීෂණයෙන් පිරී පැවති වෙන්නප්පුව පොලිස් කොට්ඨාසයේ සාමකාමී පරිසරයක් ඇති වූයේ එරික් පෙරේරා එහි ආ පසුව ය.
එරික් පෙරේරා සමඟ ඔහු යටතේ පැවති විශේෂ පොලිස් ඒකකය ද විසුරුවා හරිනු ලැබූ අතර, එහි සිටි පොලිස් පරීක්ෂකවරයකු හා උපපොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු ද සාමාන්‍ය රාජකාරි සඳහා වෙනත් පොලිස් කොට්ඨාස වෙත මාරු කර හරිනු ලැබී ය.

සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා සිය පොලිස් දිවිය ආරම්භ කරන්නේ විශේෂ කාර්ය බළකා නිලධාරියකු ලෙස ය. උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිසියට බැඳුණු ඔහු වැඩි වශයෙන් රාජකාරි කළේ නැඟෙනහිර පළාතේ ය. පසුව විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ ද සේවය කළ එරික් පෙරේරා පසුව සාමාන්‍ය පොලිස් සේවයට අනුයුක්තව කටුනායක, වැලිවේරිය හා වත්තල යන පොලිස් ස්ථානයන්හි ස්ථානාධිපති ලෙස කටයුතු කළ අයෙකි.

රාජකාරිය අකුරට ම කිරීමට ගොස් මුලින්ම ඔහු ගැටුම් ඇති කර ගන්නේ යහපාලන රජයේ පළමු කාර්තුවේ පොලිසිය බාර ඇමතිවරයා වූ ජෝන් අමරතුංග සමඟ ය. මත්ද්‍රව්‍ය සිද්ධියකට අදාළව වත්තල පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් පුද්ගලයකු මුදා ගැනීමට ජෝන් අමරතුංග ඇමතිවරයා කතා කළ ද, ඔහු විසින් එය ප්‍රතික්ෂේප කර තිබිණි.

පසුව වත්තල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී මේ ගැන සාකච්ඡා වී ඇති අතර, වත්තල පොලිසිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ඇමතිවරයා විරෝධය පළ කරමින්, පොලිසියේ දුර්වලතා ප්‍රකාශ කර ඇත. එහි දී පොලිස් ස්ථානාධිපති එරික් පෙරේරා විසින් පොලිසිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගත් ආකාරයත්, ඔවුන් නිදහස් කර ගැනීමට ඇමතිවරයා කතා කළ අවස්ථාත් කමිටුව හමුවේ හෙළි කර තිබිණි.
ඔහුගේ හෙළිදරව්වේ අවසන් ප්‍රතිඵලය වූයේ, මහ මැතිවරණයෙන් පසු පත් වූ රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ පොලිසිය භාර ඇමති ධුරයෙන් ජෝන් අමරතුංග විසි වීම ය. සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස උසස් වීම් ලද පසු පොලිස් කොට්ඨාස කිහිපයකම සේවය කිරීමෙන් පසු ඔහු වෙන්නප්පුව කොට්ඨාසයට කැඳවන්නේ එහි ඒ වන විට පැවැති දූෂණය හා භිෂණය මැඬපැවැත්වීමට ය.
වෙන්නප්පුව ප්‍රදේශයේ භීෂණය පතුරුවාගෙන සිටියේ ‘ඕලු මරා’ නම් අපරාධකරුවෙකි. ඔහු ප්‍රදේශයේ
වධකාගාරයක් ද පවත්වාගෙන ගිය අතර, සිය හොර මැරකම්වලට විරුද්ධ වන පිරිස් මෙන්ම මුදල් කොන්ත්‍රාත් මත ද පුද්ගලයන් ගෙනැවිත් මෙහි රඳවාගෙන ගෙන දසවධ දෙනු ලැබී ය. වධකාගාරයේ දී ‘ඕලු මරා’ නඩු ඇසූ අතර, ඔහුම දිය යුතු දඬුවම ද තීන්දු කළේ ය.

මෙම වධකාගාරය වැටලූ පොලිසිය ‘ඕලු මරා’ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබී ය. එම මෙහෙයුමට නායකත්වය දුන්නේ එරික් පෙරේරාගේ පොලිස් කණ්ඩායම ය. පසුව කසිප්පු ජාවාරම සේ ම මත්කුඩු ජාවාරම ද මැඬපැවැත්වීමට එරික් පෙරේරාගේ විශේෂ පොලිස් කණ්ඩායම කටයුතු කිරීම නිසා ජනතාව අතරත්, ආගමික නායකයන් අතරත් මොවුන් ගැන පැහැදීමක් ඇති විය.

හවුල් ආණ්ඩුව සමයේ වෙන්නප්පුවට පැමිණි එරික් පෙරේරාට වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු දේශපාලනඥයන්ගෙන් යළිත් බලපෑම් එල්ල වන්නට වූයේ, ඔවුන්ගේ ගෝලයන්ගේ කසිප්පු හා හෙරොයින් ජාවාරම් මැඬපවත්වන්නට කටයුතු කිරීමත් සමඟ ය. ඔහු වත්මන් ආණ්ඩුවේ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනකුගේ ගෝලයන් මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම නිසා ගැටුම උත්සන්න විය.

සුපුරුදු පරිදි දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ද මෙම කාරණය සාකච්ඡාවට බඳුන් වූ අතර, වෙන්නප්පුවේ මත්ද්‍රව්‍ය ජාවාරම පොලිසිය මඬින්නේ නැතැයි චෝදනා එල්ල විය. සුපුරුදු ලෙස එරික් පෙරේරා දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේ දී ම මෙම ඇමතිවරුන් දෙදෙනා සැකකරුවන් නිදහස් කර ගැනීමට තමන්ට කළ බලපෑම් හෙළිදරවු කළේ ය. මෙවර එහි ප්‍රතිඵලය වූයේ, එරික් පෙරේරාට ස්ථානමාරුවක් හිමි වීම ය.

එරික් පෙරේරා වෙන්නප්පුව පොලිස් කොට්ඨාසයෙන් ඉවත් කොට පුත්තලමෙන් වෙනත් දිස්ත්‍රික්කයක කොට්ඨාසයකට මාරුකරන ලෙස මහජන ආරක්ෂාව, නීතිය හා සාමය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් ඉල්ලා තිබුණේ, පොල්, කිතුල්, තල් ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු විසිනි.

ඔහු 2020 දෙසැම්බර් මස යැවූ ලිපිය මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර තිබිණි. අරුන්දික ප්‍රනාන්දුගේ ඉල්ලීම සලකා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට දැනුම් දී තිබුණේ, රාජ්‍ය ඇමතිවරයාගේ ලිපිය ද සමඟිනි.
ඒ අනුව පොලිස්පතිවරයා විසින් එරික් පෙරේරා මාර්තු මස 22 දා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත මාරු කර යවා තිබිණි.
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ ලිපියෙන් “මෙම නිලධාරියා යහපාලන රජය සමයේ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී ලෙස පත්වීම් ලැබූ අයෙකි. මොහු පැමිණි පසු වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයේ නීති විරෝධී මත්පැන් (කසිප්පු) වැටලීම් විශාල ලෙස ආරම්භ කරන ලද නිලධාරියෙකි.” ලෙස සටහන් කර ඇත. එම නිසා ප්‍රදේශයේ ජනතාවගේ හා ආගමික නායකයන්ගේ ප්‍රසාදය මෙම නිලධාරියා දිනා ගත් බව ද රාජ්‍ය ඇමතිවරයා සිය ලිපියෙන් පෙන්වා දෙයි.
‘එරික් පෙරේරා යහපාලන රජය සමයේ නීති විරෝධී මත්පැන් වැටලීම් කරද්දී, අරුන්දිකට හොඳ ය. නමුත්, ඔහුගේ කාලයේ එවැනි දේ කිරීම නරක ය.’ යන මතයේ සිටින බව මෙම ලිපියෙන් පැහැදිලි වේ. ආණ්ඩුවක් පෙරළී නව ආණ්ඩුවක් පත් වූ පසු නීති විරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය වෙළෙඳාම ද ආණ්ඩුව මාරු වූවා සේ අනෙක් පාර්ශ්වයන් වෙත මාරු වේ. එනයින්, දැන් අත්අඩංගුවට ගන්නේ වත්මන් ඇමතිවරයාගේ ගෝලයන් ය. ඇමතිවරයාට එදා හොඳ වූ එරික් පෙරේරා දැන් නරක් වී ඇත්තේ, එනිසා විය හැකි ය.

නමුත්, ඔහු කරන්නේ වෙනත් චෝදනාවකි. එනම් නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් අත්අඩංගුවට ගෙන සිරගත වී නැවත සමාජයට පැමිණි පසුව මෙම පොලිස් නිලධාරියා මත්කුඩු දමා ඔවුන්ව යළි රිමාන්ඩ් කරන බව ය. ඒ ගැන ඇමතිවරයා එරික්ගෙන් විමසු බවත්, ඔහු දුන් පිළිතුර වූයේ, නීති විරෝධී මත්පැන් මැඬලීමට මෙය හැර වෙනත් ක්‍රමයක් නැති බවත් යැයි ද අරුන්දික ප්‍රනාන්දු ඇමතිවරයා පොලිසිය භාර ඇමතිවරයාට යැවූ ලිපියේ දැක්වේ.

ඇමතිවරයා සිය ලිපියෙන්ම ඔහු පොලිසියට බලපෑම් කළ බව පිළිගෙන ඇත. එය පිළිගනිමින් සැමට ඉදිරිපත් කළ හැකි පොදු චෝදනාවක් වන පාතාලය සමග ගනුදෙනු කරන්නේ ය යන චෝදනාව ද කිසිදු සාක්ෂියක් නොමැතිව ඉදිරිපත් කිරීමට ද ඇමතිවරයා කටයුතු කර ඇත.

අරුන්දික ප්‍රනාන්දු ඇමතිවරයාගේ ඉල්ලීමට නීතිය, සාමය හා මහජන ආරක්ෂාව භාර ඇමතිවරයා පොලිස්පතිට දුන් නියෝගය මත අවසානයේ එරික් පෙරේරාට ස්ථානමාරුවක් හිමි විය. මෙම ස්ථානමාරුවට ආගමික නායකයන්ගෙන් එල්ල වූ විරෝධය මත එරික් පෙරේරා මීගමුව පොලිස් කොට්ඨාසය වෙත නැවත ස්ථානමාරු කළ ද, හලාවත මැතිවරණ කොට්ඨාසයේ වෙන්නප්පුව පොලිස් කොට්ඨාසයට යැව්වේ නැත.
එරික් පෙරේරා විසින් අත්අඩංගුවට ගත් ‘ඕලු මරා’ නමැති අපරාධකරු වසර කිහිපයක් තිස්සේ සිටියේ බන්ධනාගාරයේ ය. ඔහුට අධිකරණයෙන් ඇප හිමි වුව ද, ඇප අත්සන් නොකර ඔහු බන්ධනාගාරයේ රැඳීසිටියේ එරික් පෙරේරා වෙන්නප්පුව කොට්ඨාසයේ සිටි නිසා ය. එරික් පෙරේරාට ස්ථානමාරුව හිමි වී පැය 48ක් යාමටත් පෙර ඔහු ඇප අත්සන් කොට නැවත වෙන්නප්පුවට පැමිණියේ ය. මොහු ද රාජ්‍ය ඇමතිවරයාගේ ගෝලයකු බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. නැවතත් වෙන්නප්පුවේ භීෂණය ඇරඹෙනු ඇතැයි කියමින් ප්‍රදේශයේ ජනතාව භීතියට පත්ව සිටිති.

එරික් පෙරේරා ගැන ඇගයීමක් වත්මන් ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න ලියූ ‘රණමඟ ඔස්සේ නන්දිකඩාල්’ පොතෙහි ද තිබේ. ඒ ඔහු දක්ෂ නිලධාරියකු බව කියමිනි. නමුත් වත්මන් ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිපත්තිය මත දක්ෂ නිලධාරීන් කැපීගොස් තිබේ. 20 වන සංශෝධනය ගෙනැවිත් පොලිසිය දේශපාලන අතකොළුවක් බවට පත් කොට හමාර ය.
පොලිසිය බබළවන නිලධාරීන් සේම පොලිසිය කෙළෙසන නිලධාරීන් ද සිටින බව පසක් කරමින්, මහරගම රථවාහන අංශයේ පොලිස් නිලධාරියකු ලොරිරථ රියදුරකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය විය. පන්නිපිටිය ප්‍රදේශයේ දී මහරගම රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරකට ලක් කළේ යැයි කියමින්, පොලිස් කොස්තාපල්වරයා අසභ්‍ය වචන කියමින්, ලොරිරථ රියදුරාට අමානුෂික ලෙස පහර දෙනු එහි දක්නට ලැබේ.
එය සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වීමත් සමඟ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට පත් වන අතර, ඔහුගේ නීතිඥයා කියා ඇත්තේ, සිය ඉහළ නිලධාරියා අනතුරකට ලක් කිරීම නිසා ඇති වූ ආවේගයට මෙලෙස පහර දුන් බව ය. පොලිස් ආඥාපනත යටතේ පොලිසියට කිසිම පුද්ගලයකුට පහර දිය නොහැකි ය. නමුත්, ගැටුමක් වැළැක්වීම ඇතුළු ඇති වන සිද්ධියේ ස්වභාවය පදනම් කරගෙන අවම බලය භාවිත කළ හැකි ය. මෙහි අවම බලය භාවිත කිරීමට තරම් දෙයක් පැහැදිලි නොවේ.
පොලිස් නිලධාරීන් මෙලෙස ප්‍රසිද්ධියේ පහර දුන් පළමු අවස්ථාව ද මෙය නොවේ. අවසන් අවස්ථාව ද මෙය නොවිය හැකි ය. නමුත්, ජනතාවට පොලිසියෙන් වන අසාධාරණකම් කීමට තැනක් අද නැති වීම කනගාටුදායක ය. 20 වන සංශෝධනයෙන් පොලිස් කොමිසම නාමමාත්‍රික ආයතනයක් බවට පත් කොට තිබේ.
ලොරි රථ රියදුරාට පොලිස් කොස්තාපල්වරයා පහර දෙන්නේ රෙස්ලින් ක්‍රීඩකයකු ලෙස ය. ඔහු උඩ පැන, සිය බූට් සපත්තු සහිත පා යුගල ලොරිරථ රියදුරාගේ ඉලපත දෙසට පතිත වන සේ පනිනු ලබයි. එහි දී ඔහුගේ ඉළඇටයක් බිඳී හෘදයට හානියක් වූවා නම්, එය මාරාන්තික වීමට ඉඩ තිබිණි.

මේ වන විට ලොරිරථ රියදුරුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා ඇති අතර, ඔහු ඇප මත නිදහස් කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝගකර ඇත. මන්ද ‘හප්පා අනතුරක් කිරීමේ’ චෝදනාව යටතේ ලොරිරථ රියදුරු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බැවිනි. ලොරියේ පැති කණ්ණාඩියක යකඩ කොක්ක මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ බාහුවක වැදී, එම නිලධාරියා මාර්ගයට ඇදගෙන වැටුණේ ය. නමුත්, ඔහුට බරපතළ තුවාලයක් නැතත්, ඔහු මේ වන විට රෝහල්ගතව සිටියි. රියදුරාට පහර දුන් පොලිස් කොස්තාපල්වරයා ලබන 05දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, ඔහු සම්බන්ධයෙන් මානසික තත්ත්ව වාර්තාවක් කැඳවන ලෙස ද අධිකරණය විසින් බන්ධනාගාර අධිකාරීට නියෝග කරන ලදී.

විනයගරුක පොලිසියක් හදන බව කියූ පොලිසිය භාර ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර කතා සාප්පුකරුවකු බවට පත්ව ඇත. මන්ද ඔහුගේ නියෝගයකින්ම අද එරික් පෙරේරා නම්, දක්ෂ නිලධාරියා මාරු කර ඇති බැවිනි. ‘උස්තැන් දැක හැකිළෙන මිටිතැන් දැක පුප්පන’ පොලිසියේ කෙරුවාව වටහා ගැනීමට මේ සිදුවීම් වුව ද ප්‍රමාණවත්ය.
-ලසන්ත වීරකුලසුරිය

Leave A Reply

Your email address will not be published.