සම්මාන සහ වර්ජන

පසුගිය සුමති ටෙලි සම්මාන උළෙලේ දී අපේ සමහර කලාකරුවන් සම්මාන ගැනීම සම්බන්ධයෙන් විවාදය තරමක් උණුසුම් වු බැවින් මේ ගැන තරමක් විස්තරාත්මකව කතා කරන්න අවශ්‍යයි කියලා හිතුනා. මේ විශය සමහර අයට හිතන තරම් විවෘතව කතා කරන්න අපහසු එක පැත්තකින් අපේ ආදරණීය යහළුවන් මෙන්ම අපි සමග වැඩ කරන ශිල්පීන් ඉන්නා අතර අනිත් පැත්තෙන් ඔවුන් සම්මාන ලබාගත්ත අපේ දරුණු අප්‍රසාදයට සහ විවේචනයට ලක්වෙච්ච දේශපාලනයක් තියෙනවා. මිත්‍රත්වය සත්‍ය කතා කිරීමට බාධාවක් නම් ඒක නිරෝගී මිත්‍රත්වයක් නෙමෙයි! ඉතින් මම විශ්වාස කරනවා අපේ සහෝදර ශිල්පීන්ට මගේ සටහනින් ඔවුන්ගේ ක්‍රියාව විවේචනයට ලක්වුනොත් ඒක තේරුම් ගැනීමට තරම් බුද්ධිමය ධාරිතාවයක් තියෙනවා කියලා.
ප්‍රථමයෙන් මම පිළිගන්නවා කවරම දූෂිත තත්වයක් යටතේ හෝ වේවා ශ්‍රී ලංකාවේ කලාකරුවෙකුට සම්මානය තමන්ගේ වෙළඳපල ස්ථාවරත්වය හදාගැනීම සඳහා අතිශයින්ම ප්‍රයෝජනවත් බව. විශේෂයෙන් ආධුනික හෝ නැගීඑන ශිල්පීන්ට නම් ඒක අතිශයින්ම තීරණාත්මක වන අතර මට පවා සම්මාන ඒ අර්ථයෙන් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.නමුත් ඒකෙන් කියන්නෙනෑ ඒ කවර තත්ත්වයක් නිසාවත් එකේ තියෙන විවේචනාත්මක පැත්ත සහ දේශපාලනික අර්බුදය අපිට කතාකරන්න බැරි බවක්.
කොහොමහරි සමනලී ෆොන්සේකාව වඩාත් ඉස්මතු කරමින් සුමති උළෙලේ සම්මාන ගත් කලාකරුවන් බොහෝ දෙනෙකුට විවේචනය එල්ලවූයේ ඔවුන් රාජපක්ෂ විරෝධී ක්‍රියාකාරකම් ඇතුළු දේශපාලන අසාධාරණය වෙනුවෙන් පාරට බැහැලා නොබියව සටන් කරපු අය නිසයි. සමහර විට මේ විදියට විවේචනවලට බිය නිසාමයි තවත් සමහර කලාකරුවන් ඒ වගේ රාජ්‍ය-ක්‍රම විරෝධී දේශපාලන සටන්වල වැඩිය කැපී පෙනෙන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නේ. ඒ නිසා ඒ අය සම්මාන අරන් යනවා කවදාවත් විවේචනයට ලක් වෙන්නේ නෑ. ඒ අර්ථයෙන් සමනලීලා වැරදිකරුවන් වන්නේ ඔවුන් මොනවා හෝ සටනක් කරපු නිසාද? සමනලීලා චාන්දනීලාගේ ඒ විරෝධාකල්ප සටන් බොරුවක් යැයි කියන්නට මෙය සමහරු පාවිච්චි කලත් මගේ අදහස නම් ඔවුන් ඒ සටන් එතන බොරුවට කළේ නැති බවයි. සමනලී ෆොන්සේකා, කෞෂල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනවිරත්න සහ නදී කම්මැල්ලවීර වැනි ගැහැනුන් මම දකින්නේ මුදල ඉක්මවා ගිය අර්ථවත් කලාවකට දායකවෙමින් අවට සිදුවන දේශපාලනික අසාධාරණයට ද සංවේදීව අවශ්‍ය තැන තමන්ට හැකි පමණින් නොබියව සටන් කරන විශේෂය ක්‍රියාකාරී ගැහැණුන් කොටසක් විදියටයි. නිර්මාණවලදී ද ඔවුන් ඕනෑම ක්‍රම- රාජ්‍ය – සම්මත විරෝධී සහ පර්යේෂණාත්මක කෘතියකට දායකවෙන්න සූදානම් රටේ අතිශය සුළුතරයකගෙන් හැදුනු කුලකයකට අයිති අයයයි. ඔවුන්ට සමහරු රැඩිකල් ද කියලා උපහාස කලත් ඔවුන් කිසි විටෙක තමන් රැඩිකල් කියලා හඳුන්වාගෙන නැති අතර ඒක පිටට පේන අය විසින් ඔවූන්ට පටබැඳ ලේබලයක්. අවාසනාවට ඔවුන් සමහරක් තමන් පහරදුන් අයගෙන්ම සම්මාන ගැනීම නිසා ප්‍රතිවිරෝධයක් ගොඩනැගුණු බව ඇත්ත. වෙනත් විදිහකින් ඔවුන් පාරට බැහැලා ප්‍රශ්න කළේ පාලකයින්ගේ වටිනාකම් සහ හරයන් වන අතර ඉන්පසු ඒ පාලකයින්ම තමන්ට වටිනාකම් ලබාදෙනකොට ඒක මට මහත් ගෞරවයක් කියලා ගිහින් පිළිගන්න විදිහක් නැහැ.
එ වගේම අපි තේරුම්ගත යුතු සංකීර්ණතාවය තමයි කිසිම ප්‍රති විරෝධතාවයකින් තොර දේශපාලන භාවිතාවක් මේ වෙනකොට ඉතුරු වෙලා නැති බව.අපි අද ඉන්නේ මුළුමනින්මමෙන් අපිව වෙලාගත් දූෂිත ක්‍රමයකින්ම පැවතමින් ඒ දූෂිත ක්‍රමයම පෙරලන්නේ කොහොමද කියන අති උභතෝකෝටික මොහොතක් තුලයි. මීට අවසාන ප්‍රායෝගික විසඳුමක් තාම කාටවත් හමුවෙලා නැහැ.අපට කළ හැක්කේ කෙතරම් ප්‍රතිවිරෝධතා තිබුණද අවශ්‍ය තැන සටන අත් නොහැරීමයි. එබැවින් මම හැම විටම ඒ කලාකරුවන්ගේ දේශපාලනයට සහයෝගය දෙමින් ඔවුන් සමඟ සිටි අතර ඉදිරියටත් එසේ සිටින බව කිව යුතුයි. මම මෙය ලියන්නේ අන්න ඒ අස්ථානයේ ඉඳගෙනයි. මම විශේෂයෙන් ඒ ගැන මෙසේ ලියන්නේ මෙම සිදුවීමටත් වඩා මින් පසුව මෙවැනි අවස්ථාවල එන මීට සමාන සිදුවීම් වලදී අපි සාමාන්‍ය ජනතාව විදිහට ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද තේරුම් ගත යුත්තේ කෙසේද කියන එක අතිශයින්ම වැදගත් නිසයි.
මේ සම්මාන ගැනීම සාධාරණය කරන්න බොහෝ අය තුළින් මතු වුණු ප්‍රධාන තර්ක කීපයක් පරීක්ෂාවට ලක් කරන්නට පමණක් මගේ මේ සටහන සීමා කරන්න මම කැමතියි. ඒවා මේවායි.
සම්මාන උළෙල කියන්නේ දේශපාලනය විරෝධතා පළ කරන තැනක් නෙමෙයි එතන බොරු රැඩිකල්කම් පෙන්නන් නැතුව ගිහිල්ලා වැදගත් විදිහට සම්මානය අරගෙන ඒම තමයි කළ යුත්තේ. දේශපාලනය වෙනම කළ යුතුයි. ඒ වගේම සම්මාන දෙනකෙනා ප්‍රශ්න  කරන්න ගියොත් සෑම කෙනෙක් ප්‍රශ්නකාරීයි ඒ නිසා එක තේරුමක් නැති වැඩක්. මේ යුගය කියන්නෙම ආචාර ධාර්මිකව ප්‍රශ්නකාරී යුගයක් දූෂිත යුගයක් තනිව බේරෙන්න විදිහක් නෑ අපටත් වඩා ලොකු කෙරුමන් පවා ඒ ගැන නොසලකා ඇරලා තියෙනවා ඕවා ඒ තරම් ගණන් ගන්න එපා.
ඕනෑම අදහසක් බිහිවන්න ඓතිහාසික පසුබිමක් තියෙනවා. මගේ අත්දැකීමට අනුව ඒ ප්‍රකාශ එකක්වත් අලුත් ඒවා නෙමෙයි. ඒවා මම නාට්‍ය කරන්නට පටන් ගත්ත දවසේ ඉඳන් සම්මාන ගැනීම සාධාරණය කිරීම සඳහා පතුරුයනකම් පාවිච්චි කරලා තියෙන ප්‍රසිද්ධ ප්‍රකාශන ලෙස මම අහල තියෙනවා. සමහර අවස්ථාවල අපි සමහරු තරඟ වලට නාට්‍ය නොදාන්න සාකච්ඡා කරන කොට සමහර ශිල්පීන් කිව්වෙත් අපි නිකම් පොරවල් වෙන්න හදනවා කියලා අනිත් නාට්‍යකරුවන් අතර හංවඩු ගැහෙන එක විතරයි වෙන්නෙ යන විදිහට යමු කියන එක (නමුත් මම අවසානයට හැදූ නාට්‍ය කිසිවක් දේශපාලන හේතු මත තරගවලට ඇතුළත් කළේ නෑ)
අද සුමති සම්මාන උළෙලේ සම්මාන ගැනීම සාධාරණය කිරීම සඳහා පරිසරය හදාදෙන ඒ මතවාදයට, බොරු රැඩිකල් සහ පොරවල් වෙන්නේ නැතුව වැදගත් විදිහට සම්මාන අරන් එන්න කියන කතාවට වඩා බලවත්ව වැඩී එන්නට දශක දෙක තුනක ඉතිහාසයක් තියෙනවා. ප්‍රසාංගික කලාවේ දේශපාලනික විරෝධය 90 දශකයේ අවසානයේ සුගතපාල ද සිල්වාගෙන් පසු අවසන් බව මගේ අදහසයි. ඒ කාලේ බන්දුල ජයවර්ධන, ගාමිණී හත්තොටුවේගමගේ සිට ධර්මසිරි බණ්ඩාරනායක දක්වා ඊට අනිත් කලාකරුවන්ගේ සහයෝගය ලැබුන අතර ඔවුන් සම්මාන සහ විනිශ්චය මණ්ඩලවලට එරෙහිව විවිධ ක්‍රියාකාරකම් අරගෙන තියෙනවා. ඒ කාලේ ඒ වගේ රාජ්‍ය විරෝධී රැඩිකල් වර්ජන ගැන තිබුණේ යම්කිසි ගෞරව පූර්වක හැඟීමක්. ඊට එක ප්‍රධාන හේතුවක් වුණේ ඒවාට විවිධ අයුරින් නායකත්වය දුන්නේ ක්ෂේත්‍රයේ වඩාම අපේ ගෞරවයට ලක් වෙච්ච ජේෂ්ඨ කලාකරුවන් විසින් වීමයි.නමුත් නැගී එන සහ අලුත් කලාකරුවන් සම්මාන ආදිය ප්‍රතික්ෂේප කිරීමට කවදාවත් සහයෝගය දෙන්නට කැමැත්තක් තිබුනෙ නැති අතර ඒක අපට තේරුම් ගන්න අපහසු නෑ. වැඩිය මුහුණ පෙන්නන්න නැතිව ඔවුන්ගෙන් යම් සහයෝගයක් ආවේ තමන් උළෙල නියෝජනය කරන්නැති අවස්ථාවන්වලදී පමණයි. මෙසේ ක්‍රමයෙන් අනූව දශකය අවසාන වෙනකොට එක පැත්තකින් සුගත්ලා වැනි නිර්භීත පෙරගමන්කරුවන්ගේ පරම්පරා වක් අවසන් වෙන අතර සාමූහික අත්පත් කර ගැනීම් පිළිබඳ විශ්වාසය බිඳ වැටෙමින් පුද්ගලික අත්පත්කර ගැනීම් නැගිටිමින් තිබුණා. අනිත් පැත්තෙන් සීග්‍රයෙන් අප වෙලාගත් ‘ ශ්‍රී ලංකාවේ ලිබරල් ධනවාදී පරිභෝජනවාදී කුණාටුව’ ද එක්ව ප්‍රතිපත්ති විහිළුවක් බවට පත් කරමින් තිබුණා. සම්මාන උළෙලවල් වැනි තමන්ගෙ හොඳම ඇඳුම ඇඳගෙන යන තරු පිරි ඇති විසිතුරු උත්සවවල දේශපාලන සටන් විරෝධතා ලැජ්ජාවට හේතුවක්වෙන කවදත් තිබුණු මධ්‍යම පන්තික බුර්ෂුවා මතවාදය වඩා හොඳින් හැදී වැඩී බලවත් වෙන්න ගත්තා. අර ඉහත කී පාරිසරික තත්වය වෙනස්වෙත්ම මේ මතවාදයට හරි ඉක්මනටම ක්ෂේත්‍රයේ බහුතරය බලය ලබා දුන්නා. සෙක්සි ගැහැනුන් බැනර් උස්සන් පාරේ කෑගහනවාට වඩා ඇඳන් හරහා ගිහින් කැමරාවලින් ඔලුව දානඑක ගෞරවනීය වුණා.දැන් සමනලීලා පාරේ සටන් කළත් මිනිස්සු හිනාවෙනවා සම්මාන ප්‍රතික්ෂේප කළත් හිනා වෙනවා සම්මාන ගත්තත් හිනා වෙනවා! කෙසේ හෝ අවසානයේ අපට බැරිවුණා මොනතරම් නිර්මාණවලින් පෙරළිකාරදේවල් කතා කළත් රජයේ ආධිපත්‍ය යටතේ කෙරෙන සම්මාන සහ තෑගි දෙන උත්සවවලදී විරෝධාකල්ප ක්‍රියාකාරකම්වලින් රජයට ප්‍රතිචාර දක්වන ප්‍රවණතාවයක් කලා ක්ෂේත්‍රයේ ඇති කරන්න. දූෂිත තක්කඩි දේශපාලකයෝ පවුල් පිටින්ම වේදිකාවට ඇවිත් කලාකරුවන්ව පාවිච්චි කරලා ඔවුන්ගේ සංකේත වටිනාකම් ඉහල දමාගෙන නැවත නැවතත් සාමාන්‍ය ජනතාව අන්දවාගෙන බලයට ඇවිත් තව තවත් ‘කලා විරෝධී’ සමාජය ගොඩනැගුවා.
කොහොමහරි දැන් ඒ මහා සම්මතය හැදිලා තියෙන්නේ. නමුත් වෙනස ලැබෙන්නේ සම්මතය බිඳීමෙන් බව අපි දන්නවා. අපට වඩා බලවත් මිනිසුන් හෝ ලෝක සම්මතය යන විදිය සාධාරණය කරමින් සම්මාන ගන්නවට වඩා කළ යුත්තේ ඒ සම්මතය බිඳින්නේ කොහොමද කියන එක අත්හදා බැලීමයි.
ඊළඟට, අපිට අවශ්‍ය අසාධාරණයකදී ක්‍රියාත්මක වෙන්න හෝ තම දේශපාලන මතයට අනුව විරෝධය පළ කරන්න සුදුසු තැන් කියල වෙනම සටන් බිමක් නෑ. අපිට අසාධාරණ හෝ අපේ නොඑකඟතාවය මුණ ගැසෙන ඕනෑම තැනක් සටන් බිමක්. ලෝකෙ පුරාම සම්මාන උළෙලවල් වැනි දේවල් මිනිසුන් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ සම්මාන සහ තරඟ අවකාශය තුළමයි. අලුත්ම උදාහරණය නම් මෙවර තායිලන්තයේ තිබුණු ජාත්‍යන්තර රූප රැජිණ තරගයක් නියෝජනය කරමින් හිටිය මියන්මාර් රූ රැජින හන් ලේ එම තරඟාවලිය තම රටට වෙලාතියෙන අසාධාරණය ප්‍රකාශ කරන්න යොදා ගැනීම. මොකද එතන තමයි ඇගේ ප්‍රකාශනයට වඩාම ප්‍රබල ස්ථානය.

මේ විදිහට ඔබට යම්කිසි අසාධාරණයට එරෙහිව වර්ජනය කිරීම ඕනෑම මට්ටමකින් ඕනෑම වෙලාවක කරන්න පුළුවන්. වර්ජනයක් හෝ විරෝධයක් කිරීමට යම් ශක්තියක් ධාරිතාවයක් තිබිය යුතු අතර එය තියෙන මොහොතේ කිරීමත් නැති මොහොතේ නොකිරීමත් කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. උදාහරණයකට, ඔබ කිසියම් පෝලිමක එද්දි කිසිවෙක් පෝලිම පනිනවා නම් ඊට ඔබට එරෙහි වෙන්න පුලුවන්නම් එරෙහිවන්න. ඔබ සදාකාලිකව ලෝකෙපුරා තියන පෝලිම් වල වෙන අසාධාරණය වෙනුවෙන් කැපවෙන්න අත්‍යවශ්‍ය නැහැ. ශිෂ්‍ය කාලයේ දී ශිෂ්‍ය බලය තියෙනවානම් විරෝධයක් පාන්න ඒ මොහොතේ විරෝධය පාන්න. ඉන්පසුව ඔබ රැකියාවට ගිහින් හුදකලාවෙද්දි ඒ ධාරිතාවය සහ පිරිස් බලය නැත්තම් සටන් නොකිරීම කිසිම ප්‍රශ්නයක් නෑ. ඔබ පුළුවන් වෙලාවෙදි පුළුවන් තැන ඔබේ වැඩේ කලා. පසුගිය අවුරුද්දක තරුණයෙක් යොවුන් නාට්‍ය උළෙලේදී දේශපාලකයෙක්ගේ අතින් සම්මාන ගැනීම ප්‍රතික්ෂේප කළ අතර එවැනි සුළු හෝ හුදකලා විරෝධයක් පවා ඉතා වැදගත් සටනක්. මේ වගේ එකිනෙකාගේ ධාරිතාවය වෙනස් අතර තවකෙකුට වඩාත් දීර්ඝ කාලයක් ඒ සඳහා කැප කරන්න පුළුවන් වෙන්න පුළුවන්. අර ශ්‍රී ලංකාවේ පරණ කොමියුනිස්ට්කාරයින් ඇහුව විප්ලවය වෙනුවෙන් මාරාන්තිකව සටන් කරන පරමාදර්ශී වීරයාගෙන් අහන ප්‍රශ්න දැන් අහන්න බෑ. ඒකෙන් වෙන්නේ මේ වගේ සුළු විරෝධයන් පවා මිනිසුන්ගෙන් මතුවීම නැවතීමයි. සුළු සුළු විරෝධයන්ට අපේ අනුග්‍රහය දක්වන තරමටයි විශාල විරෝධයකට සමාජ ධෛර්යය ඇතිවෙන්න. ඒ නිසා සෑම කුඩා සටනක්ම සෑම කුඩා විරෝධයක්ම අවතක්සේරු නොකළ යුතුයි. ඒවා විවිධ වෙනත් සන්දර්භවල සිදුවුණු තත්වයන්, සංකීර්ණ නය්‍යායන්, සෝවියට් රුසියානු ප්‍රබන්ධවල හිටිය චරිත සහ පරමාදර්ශි මනංකල්පිත වීරයින් එක්ක සංසන්දනය කර අධෛර්යට පත් නොකළ යුතුයි. මෙහෙම කියනකොට ඉන් අදහස් කරන්නේ නෑ මේ කවරම තත්ත්වයක් යටතේ හෝ වේවා පුද්ගල ප්‍රතිවිරෝධතා විවේචනය කරන්නට හෝ විවරණය කරන්න බැරි බවක්. ඒ සියල්ලට යටත්ව අපි ගැඹුරින් තේරුම් ගත යුත්තේ අපි සියලුම දෙනා ඉන්නා අතිශයි ප්‍රතිවිරෝධකාරි මේ මොහොතේ ජීවිතයයි.
සම්මාන උළෙලක් වර්ජනය කිරීම සඳහා විවිධ ප්‍රවේශ තියෙන්න පුළුවන්. ඒ සඳහා තමන්ගේ ශක්තියට අනුව තේමාව හදා ගැනීම තමන්ට බාරයි.එකක්, එම උළෙලට තමන්ගේ නිර්මාණ ඇතුලත් කිරීම හෝ සම්මාන ගැනීමටයාම සම්පූර්ණයෙන් නවතා නිහඬවීම. නාට්‍යයක් හෝ චිත්‍රපටියක් වැන්නන්නම් එය එම උළෙලහි ප්‍රේක්ෂකයින් උදෙසා ප්‍රදර්ශනය කර නමුත් සම්මාන ගැනීම හෝ විනිශ්චය ප්‍රතික්ෂේප කිරීම.සම්මාන ලබාදෙන උළෙලට ගොසින් වේදිකාවට පැමිණ තමන්ගේ වර්ජනයට හේතුව කියා හෝ නිහඬව සම්මාන නොගැනීම. වරක් ධර්මසිරි බණ්ඩාරනායක මුදල් ප්‍රතික්ෂේප කර සම්මාන පමණක් ලබා ගත්තා. මම හිතන්නේ එතන ඔහුට ප්‍රශ්නය තිබුණේ ඒ මුදල් එක්කයි. තවත් විවිධාකාර විදිහට වර්ජනය තමන්ගේ දේශපාලන ප්‍රකාශනයක් කරගන්න පුළුවන්.

මගේ යෝජනාව නම් මෙවර සුමති සම්මාන උළෙලේ රාජපක්ෂ ආර්යාව අතින් සම්මාන ගත්ත ජනතාවගේ ප්‍රසාදය සහ විශ්වාසය දිනාගත් සමහර කලාකරුවන්ට එසේ සම්මාන නොගෙන විරෝධය පළ කිරීමට තරම් ධාරිතාවයක් තිබුණ බවයි. ඒක මෙතෙක් අපිට නොහැකිවුන සම්මාන වේදිකාව මත පවතින දේශපාලනයට එරෙහිව විරෝධාකල්ප ක්‍රයාකාරකම් කිරීමේ ප්‍රවණතාවයකට පදනම සහ ආදර්ශය දමන්නට තිබුණු හොඳ අවස්ථාවක්
ඉදිරියේදී එවැනි වර්ජන සහ විරෝධයන්ට පදනම දමන්නට සහ ආදර්ශය ලබා දෙන්නට ඔවුන්ටම හෝ තවත් කලාකරුවන්ට චිත්ත ධෛර්යය අපට හැකි පමණින් අපි ලබා දෙමු. ඒ සමඟම අපි ඔවුන්ගේ ප්‍රතිවිරෝධතා සහ භාවිතාවන් වල සීමාවන්ද සද්භාවයෙන් පෙන්නාදෙමු.
-ධනංජය කරුණාරත්න

Leave A Reply

Your email address will not be published.