කලු රංජි- රළු කංජි

කලු රංජිගේ දිවි සැරිය අලලා ලියැවුන කෘතියෙහි එළිදැක්වීමේ උළෙල හමාරව මහවැලි කේන්ද්‍රයේ පඩිපෙල බසිනා විට පාරෙන් එහා පැත්තේ විහාර මහා දේවී උයනෙහි විදුලි පහන් දැල්වෙමින් තිබිණි. උදේ වරුවෙහි මහජන පුස්තකාල ශාලාවෙහි පැවති හැත්තෑ එකේ සහෝදරත්ව සංසදයෙහි රැස්වීමට පැමිණ, මීටද සහභාගිවූ වියපත් සහෝදරවරු සිටියෝ හිමිහිට පඩිපෙල බසිමිනි. ඔවුන්ද මද වේලාවකින් තවත් වසරකට අමතකව යනු ඇත්තේය. ජන සතුරන් ලෙස පිටුවහල් කළ යුතු කාලකණ්නින් පූජාසන මත හිඳුවන සමාජයක සැබෑ වෙනසක් වෙනුවෙන් උදක්ම මානව පෙමින් සටන් වැදුන මේ මිනිසුන් හට උපහාර පුදන්නට අප කෙතරම් අසමත්ද යන අදහස දැඩිව මගේ සිතට වද දෙමින් පැවතිණි. දීපානි අක්කා (දීපානි සිල්වා) මා දුම්රියට යන බව කී විට මල්ලි එනකං මං ඉන්නං, මල්ලිට මාත් එක්ක වාහනයෙ යන්න පුළුවන් කීවාය. තේ බොන තැන තැක්ගැහෙමින් සිටි මගේ පමාව ඉවසා සිටි ඇය වාහනය ගෙන එන්නට ගොසිනි. ඉදින් මම මේ සැන්දෑව ගැන කල්පනා කරමි.
කලු රංජි පිලිබඳව ඇගයුමක් තබා ඔහු සහ ඔහුගේ පරපුර පිලිබඳව අංශුවක් හෝ එහි දිගහැරුණිදැයි මම කල්පනා කරමි. රංජි ගේ ජීවිතය යනු හැත්තෑ එකේ අරගලයෙහි එක් පැතිකඩකි. එය කෙසේවත් කර්ම පල හෝ පින අනුව ගත හැක්කක් නොවේ. එසේ ගන්නට යන්නේ නම් අප මුලින්ම කරනුයේ රංජිව විහිලුවක් කර ගැනීම පමණි. අනෙක් අතින් රංජි ගැන කතා කිරීම යනුම ඉතිහාසයෙහි එක් යුගයක් පිලිබඳව, එහි මානව සම්බන්ධතා, දේශපාලන අරගලය ආදී බොහෝ දේ විචාරයට ලක් කිරීමකි. එසේ නැතුව රංජි යනු මෝටර් සයිකලය මත දාන පාරමිතා පිරූ නැතිනම් තමන්ට අත පානා කවරකුට හෝ උපකාර කල අනේපිඩුවෙකු එසේත් නැතිනම් පස්සේ අමාරුවට අතේ තියෙන කීය හෝ වියදම් කල, උන් හිටි ගමන් නින්ද යන පුබ්බරුවෙක් නොවේ. රං ජි යනුම ප්‍රතිවිරෝධතා ගොන්නකි, සම්බන්ධතා ජාලයකි, අවුලකි,වියවුලකි, අපිලිවෙලකි,ඒ සැණින්ම බක් මහේ කොවුලෙකි, යළි මිනිස්කම පිලිබඳව අපට කටුවකින් ඇන මතක් කරන්නෙකි.
රංජි තේරුම් ගැනීමට රංජි දෙස පමණක් බැලීම නොසෑහෙයි. ඒ සඳහා ඔහුගේ යුගය සහ අරගලය නියෝජනය කළ අනෙක් අය ගැනද සලකා බැලිය යුතුය. එහිදී ඔහුගේ බිරිඳ සුවිශේෂීය. ඇය හුදෙක් රංජිගේ පෙම්වතිය හෝ බිරිඳ පමණක් නොවේ. ඇයටද මේ මහා ප්‍රවාහයේ වැදගත් දායකත්වයක් තිබේ. එසේම පහේ කමිටුවෙන් පටන්ගෙන අරගල මාවතෙහි ගිය රංජිගේ පරපුරේ මේ සහෝදරවරුන්ගෙන් අති බහුතරය අදටත් අවම වශයෙන් සිය දේශපාලන කොන්ද තබාගෙන සිටින්නෝය. ඒ ගරුත්වය ඔවුන්ට හිමිය. අවම වශයෙන් රංජි ගැන කතා කළ සැමට මගහැරුණ එක් ගුණාංගයක් මෙහිලා සටහන් කළ යුතුය. ඒ සඳහා මා ෂෙල්ටන් පයාගල සහ ප්‍රේමපාල හේවාබටගේ සහෝදරවරුන් දෙදෙනාද ඇඳා ගන්නට කැමැත්තෙමි. මේ සහෝදරවරුන් තුළ දැල්වුන එක් අනුරාගී අපේක්ෂාවක් තිබිණි. ඒ තමන් සතු සමාජ දේශපාලන සම්බන්ධතා ඊළඟ පරපුරට යා කිරීමයි. ෂෙල්ටන් සහෝදරයා මෙන්ම ප්‍රේමපාල සහෝදරයාද ජීවත්ව සිටි කාලය පුරාම උත්සාහ දරූ එක් දෙයක් වූවේ මේ පරම්පරා අතර පාලමක් සදමින් අනාගත ලෝකයක ආලෝක දහරාවක් දැල්වීමටය. ඒ සමග තමන් සතු දැනුම අනෙක් අය සමග බෙදා ගැනීමේ නිම්හිම් නැති ආශාවකින් ඔවුන්ගේ දෙනෙත් දැල්වෙමින් පැවතිණි. නිදි නැති රැයක සිනමා පටයක් නරඹද්දී, බෝතලයක පතුල බලන්නට වෙහෙසෙද්දී නැතිනම් අමුවෙන් කතා කරද්දී වුව ඔවුහු සිය අරමුණෙහි නොසැලී සිටියෝය. එහෙයින්ම ඔවුන් සමග කළ කතා බහ සැමවිටම පාහේ යොමුව පැවතියේ අනෙකාගේ ජංගියෙහි පාට ගැන නොව මිනිස් සමාජය වෙනස් කිරීම පිලිබඳවය.
ෂෙල්ටන් සහෝදරයා මිය ගිය පසුව ඔහුගේ සහෝදරියන් දෙදෙනා සහ නැන්දා වෙනුවෙන් ආර්ථික වැඩ පිලිවෙලක් සැදීමට දැරූ උත්සාහය මට මතකය. එහිදී අපට සිය නාට්‍යය නොමිලේ දෙන්නට අසංක සායක්කාර ඉදිරිපත් විණි. නියමිත දින ලුම්බිණි රඟ හලේ නාට්‍යය අරඹන්නට ඔන්න මෙන්න කියා තිබියදී කලු රංජි ආවේ රෝද පුටුවක් තල්ලු කරගෙනය. එහි සිටියේ රෝගී දියණියකි. මම මේ මොකදැයි රංජිගෙන් ඇසීමි. මේ දරුවට සනීප නෑ. අඩු ගානෙ මේ නාට්‍යය බැලුවහම එයාගෙ හිතට ටිකක් සතුටක් හරි දැනෙයි. රංජි කීවේය. රංජි ගෙන් මුදල් ගෙන නාට්‍යයක් පෙන්වන සිතක් අපට නැත. එහෙත් රංජි ආවේ කල්තබාම ටිකට් අරගෙනය. එහි අරමුණු දෙකකි. ෂෙල්ටන් සහෝදරයා වෙනුවෙන් තම යුතුකම ඉටු කිරීම සහ ඒ සමගම තවත් මිනිසකුගේ සතුට වෙනුවෙන් වැඩ කිරීම.
ධර්මසිරි බණ්ඩාරනායක සිය ධවල භීෂණ නාට්‍යය යළිත් වරක් රඟ දක්වන්නට ගත් අවස්ථාවෙහි පානදුරයේ එක් දර්ශණයක් සංවිධානය කරනු ලැබිණි. රංජි පෙර දිනක මා හමුවීමට ආවේ මා අත රුපියල් පන්දහසක තැබීය.
චූලා කවදාවත් නාට්‍යයක් බලන්න ටිකට් ගන්න බැරි පස් දෙනකුට මේකෙන් දාහෙ ටිකට් අරගෙන ධවලභීශණ බලන්න දෙන්න.
ඒ රංජි ය. කලු රංජි ය.
ෂෙල්ටන් සහෝදරයා චිත්‍රපට සංස්ථාවේ දේශණ පැවැත්වූ අවස්ථාවල දිනකට රුපියල් හත්දහස් පන්සියයක් පමණ ලබාගත්තා මට මතකය. එහෙත් තමන්ට ජීවත්වීම පිණිස දිනපතා එහි දේශණ පවත්වන්නට ඔහු ගියේ නැත. වරෙක ඔහු ඉන් පිටතට ආවේ මෙසේ කියමිනි. මං විතරක් උගන්නලා මොටද මං කිවුවා වසන්තවත්(ඔබේසේකර) ගෙන්නගන්න කියලා. එතකොට මං කියන ඒවත් ඇත්තද බොරුද බලාගන්න පුළුවන්නෙ. වරෙක ෂෙල්ටන් අතට ගත් රුපියල් හත්දහස් පන්සීය ඒ සැණින්ම බම්බලපිටියේ ඩීවීඩී හලෙක දියව ගියේය. ඔහු ඉන් පිටතට ආවේ බස්ටර් කීට්න් ගේ සිනමා පට එකතුවක් දෝතින් අරගෙනය. එවේලේ ඔහුගේ දෙනෙත් තුළ වූ දිලිසීම තවමත් මට සොඳුරු මතකයකි.
ප්‍රේමපාල සහෝදරයා නිබඳවම පසුවූවේ තම දැනුම බෙදාදීමේ ආශාවෙන් දැවෙමිනි. රෝහණ විජේවීර හැරුණු විට පුළුල් දැනුමක් සහිත තවත් සහෝදරයෙක් ලෙස ඔහු අවිවාදිතය. වරෙක ඔහු හොරණ අප විසින් සංවිධානය කරන ලද සිනමාපට දැක්මකට රංජි සමග මෝටර් සයිකලයෙන් ආවේ හොඳටම තෙමීගෙනය. අපි ප්‍රේමපාල සහෝදරයාට සහ රංජිට කමිස දෙකක් දුනිමු. රංජි ඇන්දේම නැත. අසනීප තත්වයක සිටි ප්‍රේමපාල සහෝදරයා කමිසය ඇඳගෙන යළි රංජි සමගම යන්නට ගියේය. ඊළඟ වතාවේ අප හමුවන විට ඔහු අත පාර්සලයකි. ඔහු එය මට දිගු කළේය.
මේ එදා ඇඳගෙන ගිය කමිසෙ.
ඒ ඔවුන්ගේ හැටිය. අඳින්නට දෙන කලිසම ඇඳ, එය දුන් එකාගේ පර්ස් එකත් සාක්කුවේ දමාගෙන යන බොහෝ උන් අතර මේ මිනිසුන් නිහඬ ආදර්ශ දුන් ආකාරය විහිලුවක් නොවේ. අඩු වැඩි වශයෙන් හැත්තෑ එකේ බොහෝ සහෝදරවරුන් තුළ මේ ලක්ෂණ දැකිය හැකිය. ඉතාම ප්‍රාථමික බෝම්බයක් ගත් අතින් පොලිස් ස්ථානයකට කඩා වැදුන මේ මිනිස්සු අදටත් දවස් ගෙවන්නෝ එදා සන්නද්ධ අරගලයකට කැප කළ හදවතෙහි තිබූ අවංකකම රැකගෙනමය. වැදගත් වන්නේ එයයි.
වමේ ව්‍යාපාරය විසින් දියත් කල හර්තාලය , හැත්තෑ එක සහ අසූනමය මෙන්ම උතුරේ අරගලයද යනු ලාංකීය ඉතිහාසයෙහි වලදැමිය හැකි මලකඳන් නොවේ. ඒ සැම එකකම නිරවද්‍යභාවය, න්‍යායාත්මක ගැටළු ගැන අපට වසර ගණනක් වුව තර්ක කළ හැකිය. එහෙත් අප අවංක නම් මේ සෑම අවස්ථාවක්ම දේශපාලන වශයෙන් අතිශය වැදගත් මංසන්ධි බව අපට අමතක කළ නොහැකිය. උතුරේ මෙන්ම දකුණේද, ජනප්‍රිය නිර්වචන අනුව ත්‍රස්තවාදී වේවා රණවිරු වේවා මිය ගියේ අබාධිත වූවේ අප රටෙහිම අනාගතයට වැඩදායක තරුණ පිරිසක් බව අප අමතක නොකල යුතුය. එසේම එවන් විනාශයක් අප මත ඇද වැටුණේ රටෙහි දේශපාලන ක්‍රමයෙහි වරද නිසා බවද අපට අමතක කළ නොහැකිය. ඉදින් මිනිස්කම මිය යමින් පවතින සමාජයක අනෙකාගේ සතුට ගැන සිතන, මිනිස් සම්බන්ධතා අත්‍යවශ්‍යයයයි සිතනා රංජි වැනි මිනිසුන් කිසිසේත්ම පස්සේ අමාරුකාරයන් හෝ කවටයන් නොවේ. ඔවුහු වනාහී ඇගයුමට ලක් කලයුත්තෝය.
රංජි ගැන පොත් ලියවුනද නැතද, ඇගයුම් සිදුවුනද නැතද හෙටත් රංජි අර මෝටර් සයිකලයෙහිම අපට හමුවනු ඇත. ඒ සෑම විටකම කාට හෝ දෙන්නට පොත් පාර්සලයක්, වඩේ එකක්, ගෑස් ටැංකියක් ඔහු ගේ බයිසිකලයෙහි තිබෙනු ඇත. එසේම ඔහුගේ බිරිඳ මේ මිනිසාගේ සියළු සංකීර්ණතා සහ ප්‍රතිවිරෝධයන් දරාගෙන හිඳිනු ඇත. අප බලා සිටියද නැතද රංජි සිය ගමන මියෙනතුරුම යනු ඇත. ඔහු සිය කොටසින් සැලකිය යුතු හරියක් කර හමාරය. දැන් වැඩේ ඇත්තේ අප අතමය. රංජිට, රංජිගේ පරපුරට වටිනාකමක් දෙන්නට අපට ඇවැසි නම් අප කළ යුතුව ඇත්තේ අවම තරමින් රංජි කරනා වැඩ කොටසින් අල්පයක් හෝ කරන්නට තැත් දැරීමය. කලු රංජිලාගෙන් ලංකාවම කලු පාට කරන්නට අපට හැකිනම්, ඒ කලු තිතක් වන්නට අපට හැකි නම් අපට රංජිගේ කලු පාට මෝටර් සයිකල් ඩයරියට අර්ථයක් දෙන්නට හැකි වනු ඇත. මේ කියන්නේ ඔහු අනුකරණය කිරීමක් ගැන නොවේ. ඔහු සිය මෙහෙවර හරහා වෙනස් කරන්නට තැත් දරනා සමාජය වෙනස් කරන්නට අපටත් හැකි පමණින් හෝ කැප වන්නට හැකිනම් එය කලු රංජි නම් මිනිසාට සහ ඔහුගේ පරපුරට සැබෑ ඇගයුමක් වන බවය.
-චුලානන්ද සමරනායක (fb)

Leave A Reply

Your email address will not be published.