පරිසරය ගැන සිංගප්පූරුවෙන් ඉගෙන ගන්න කැමැති ද?

පරිසරය පිළිබඳව මේ වන විට විශාල උනන්දුවක් අපේ රට තුළ ඇතිව තිබෙනවා. මූලික වශයෙන් මෙවැනි සංවාදයක් ඇතිවීමට ප්‍රධාන ලෙස හේතු වී ඇත්තේ, රට පුරා විවිධ මට්ටමින් මේ වන විට සිදු වෙමින් පවතින අතිවිශාල වන විනාශය විය හැකියි. ඒ කෙසේ වෙතත්, පරිසරය පිළිබඳව වන ලැදියාවන් සැලකීමේ දී ලෝකයෙන් අපට ඉගෙන ගත හැකි බොහෝ දේ පවතිනවා (Best Practices). මානව පරිණාමයේ මුල් යුගයේ දී මිනිසා යනු පරිසරයේම ඓන්ද්‍රීය කොටසක්. ඒ නිසාම මිනිසා සහ පරිසරය අතර එදා පැවතියේ අතිශය මිතුරු ප්‍රතිවිරෝධයක්. ඔවුන් ඊට ඇත්තට ම ආදරය කළා.

නමුත්, එහිම හැදුණු වැඩුණු මිනිසා පරිසරය තමන්ට අවැසි පරිදි වෙනස් කිරීමට පටන් ගැනීමත් සමඟ තත්ත්වය වෙනස් වීමට පටන් ගත්තා. මේ වන විට ස්වාභාවික පරිසරය සහ මිනිසා අතර ඇත්තේ බරපතළ සතුරු ප්‍රතිවිරෝධතාවක්. සංවර්ධනය සහ පරිසරයේ පැවැත්ම සමබර කර ගැනීම අභියෝගයක් බවට පත්ව ඇත්තේ, මෙම අසීමිත මිනිස් අවශ්‍යතාවන්, සීමිත ස්වාභාවික සම්පත් සමඟ එකිනෙක ගැටීම හේතුවෙන්. මේ නිසා ලෝකයේ වියතුන්, බුද්ධිමතුන් තිරසර සංවර්ධනය පිළිබඳව අන් කවරදාකටත් වඩා අද දිනයේ සාකච්ඡාවට ලක් කරමින් සිටිනවා.

අද සිංගප්පූරුව සලකන්නේ අග්නිදිග ආසියාවේ හරිත නගරය ලෙසයි. ඊට හේතුව එම රටේ සමස්ත භුමිභාගයෙන් 1/3 (35%)ක් හරිත වන ආවරණයකින් වැසී පැවැතීමයි. මෙම වන ඝනත්වය සිංගප්පූරු‍වට තිබූ ස්වාභාවික දායාදයක් නෙමෙයි. ඔවුන් එය ක්‍රමයෙන් වර්ධනය කර ගනිමින් සිටින තත්ත්වයක්.

ඕනෑම දේකට අපේ රට උදාහරණයට ගන්න ආදර්ශයට ගන්න උත්සාහ කරන්නේ සිංගප්පුරුව. නිදහසින් පසු බලයට පත් වූ දේශපාලන නායකයන් කිහිපපොළක්ම අපේ රටත් සිංගප්පූරුවක් බවට පත් කරන බවට පොරොන්දු පවා ලබා දුන්නා. නමුත් කලෙක, සිංගප්පුරුවේ ආදර්ශය වුණේ අපේ රට. 1960 දශකයේ මැද භාගයේ දී අපේ රට ආදර්ශයට ගත්  සිංගප්පූරුව පවතින ක්‍රමයේ අර්ථයෙන් අද ලෝකයේ ඉතාම දියුණුම රටක් බවට පත්ව තිබෙනවා. එලෙස දියුණු වූ සිංගප්පූරුව පරිසරය පිළිබඳව එදා සිටත්, මේ වන විටත් අනුගමනය කරමින් සිටින ඉතාම වැදගත් පියවර කිහිපයක් මෙම ලිපිය තුළ සටහන් කිරීමට අදහස් කළේ අවශ්‍ය නම්, සිංප්පූරුවක් කිරීමට වෙර දරන අයට ඉන් යම් ආභාසයක් ගත හැකි වෙතැයි සිතන බැවින්.

සිංගප්පූරුවේ මුළු භුමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 728ක්. එහි වෙසෙන ජනගහනය මිලියන 5.7ක්. එම රටේ දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 372ක්. ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 65,000කට අධිකයි. සිංගප්පූරුවේ භූමිභාගය අපේ රටේ කොළඹ දිස්ත්‍රික්කයේ භූමිභාගයට ආසන්න වශයෙන් සමානයි. කොළඹ දිස්ත්‍රික්කයේ භූමිභාගය වර්ග කිලෝමීටර් 700ක්. කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනය ආසන්න වශයෙන් මිලියන 2.4ක්. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 82ක්. අපේ රටේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4,000ක්. මේ දෙරට අතර වන දළ සංසන්දනයකට මෙම දත්ත ප්‍රමාණවත් ඇති.

අද සිංගප්පූරුව සලකන්නේ අග්නිදිග ආසියාවේ හරිත නගරය ලෙසයි. ඊට හේතුව එම රටේ සමස්ත භුමිභාගයෙන් 1/3 (35%)ක් හරිත වන ආවරණයකින් වැසී පැවැතීමයි. මෙම වන ඝනත්වය සිංගප්පූරු‍වට තිබූ ස්වාභාවික දායාදයක් නෙමෙයි. ඔවුන් එය ක්‍රමයෙන් වර්ධනය කර ගනිමින් සිටින තත්ත්වයක්. 2030 වසර වන විට අලු‍තින් තවත් ගස් මිලියනයක් ඔවුන් සිටු වීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම සෑම පොදු නිවාස සංකීර්ණයකම සිට විනාඩි 10ක් ඇතුළත හරිත වන උද්‍යානයකට ගමන් කළ හැකි ලෙස රටේ වන ඝනත්වය ප්‍රතිසංස්ථාපනය කරමින් සිටිනවා. ඉදිරි වසර දෙකක කාලය තුළ අලු‍තින් වර්ග කිලෝමීටර් 10ක නව වන භූමියක් ඔවුන් ඇති කරමින් සිටිනවා. එමෙන්ම ඊට අතිරේකව වර්ග කිලෝමීටර් 02ක ස්වාභාවික උද්‍යානයක් ද ඔවුන් ඉදි කරනවා. සිංගප්පූරුව මුළුමනින්ම ගොඩනඟා තිබෙන්නේ Green Cities සංකල්පය මතයි. ඒ රටේ සාමාන්‍ය නිවාසවලින් බැහැර කරන ඝන අපද්‍රව්‍ය 30%කින් පමණ වාර්ෂිකව අඩු කරනවා. එමෙන්ම කර්මාන්ත ශාලා සහ වෙනත් ආයතන විසින් ඇති කරන ඝන අපද්‍රව්‍යවලට අදාළ ආයතන පෞද්ගලිකවම වගකිව යුතුයි. එමෙන්ම ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය සඳහා වූ ලෝකයේ ශක්තිමත්ම යාන්ත්‍රණයක් තිබෙන රට ලෙස ද සැලකෙන්නේ සිංගප්පූරුවයි. එමෙන්ම අපජලය ප්‍රතිචක්‍රීයකරණය කර පානීය ජලය සකසා ගන්නා ආසියාවේ එකම රට වන්නේත් සිංගප්පූරුවයි.

ඒ වගේම සිංගප්පූරුව මේ වන විට වෙනස්ම පන්නයේ නීතියක් රට තුළ ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ නීතියට අනුව 2030 වන විට එරට පවතින සියලුම ගොඩනැඟිලිවල බලශක්ති පරිභෝජනය අවම කළ යුතුයි. නැතිනම්, පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන් වෙත ගමන් කළ යුතුයි. නැතිනම් ග්‍රීන් එනර්ජි (Green Energy) කියන සංකල්පයට යා යුතුයි. ඒ වගේම සූර්ය බලශක්තිය භාවිත කිරීම පස් ගුණයකින් පමණ මේ වන විටත් ඔවුන් ඉහළ දමා තිබෙනවා. ඔවුන් මේ හැමදේම සිදු කරන්නේ තනි පුද්ගලයන්ට සිතෙන පරිදි නෙමෙයි. ඔවුන් අනුගමනය කරන්නේ 2030 වසර වන විට අපි හැමෝම එකඟ වී සිටින එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම ඉලක්ක කර ගෙනයි. එමෙන්ම මෙම තිරසර සංවර්ධන ඉලක්ක 17 රටක් සංවර්ධනය කිරීමට මේ වන විට ලොවම පිළිගෙන ඇති මූලෝපායික සැලැස්මක්. ඒ සඳහා ඔවුන්ට විධිමත් යාන්ත්‍රණයක් තිබෙනවා. එය රාජ්‍ය බලය යොදා බලගන්වා තිබෙනවා. නවෝත්පාදනය (Innovation), තාක්ෂණය (Technology), තිරසර පැවැත්ම (Sustainability) සහ යහපාලනය (Good Governance)  මෙම උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට යොදාගෙන ඇති මූලික ප්‍රතිපත්ති රාමුවයි. ඒ අනුව සමස්ත රාජ්‍ය ව්‍යුහය පුරාම මෙම හරිත සංකල්පය ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

මෙම වැඩපිළිවෙළේ අවසාන ඉලක්කය වෙන්නේ වායු දූෂණය අවම කිරීමයි. වඩා හොඳ සෞඛ්‍ය තත්ත්වයක් සහ යහපත් ජීවන පැවැත්මක් ඇති කිරීමයි. ගුණාත්මක අධ්‍යාපනයක් ගොඩනැඟීමයි.

සුපිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යාමයි. තිරසර නගරයක් සහ ප්‍රජාවක් නිර්මාණය කිරීමයි. වගකීම්සහගත පරිභෝජනයක් සහ නිෂ්පාදන ක්‍රමවේදයක් ඇති කිරීමයි. දේශගුණ විපර්යාස මැඬපැවැත්වීම සඳහා සක්‍රියව මැදිහත් වීමයි. ජලජ ජීවීන් ආරක්ෂා කිරීමයි. මතුපිට ගොඩබිමේ ස්වාභාවිත දායාදායන් සහ වන සතුන් ආරක්ෂා කිරීමයි. මේ සියල්ල තිරසර සංවර්ධන ඉලක්කයි. එම ඉලක්ක රටේ ඉලක්ක බවට පත් කර ඒ වෙනුවෙන් ක්‍රියාකාරි සැලසුම් සකස් කර ඔවුන් පරිසරය, මිනිසා සහ සංවර්ධනය අතර තුලිතයක් ඇති කිරීමට කටයුතු කරමින් සිටී. අවසාන ඉලක්කය උෂ්ණත්වය අවම, නිස්කලංක රටක්, සෞම්‍ය පරිසරයක් සහිත මානවහිතවාදී රටක් නිර්මාණය කිරීමයි. අවශ්‍ය නම් සිංගප්පූරුවෙන් මෙම ඇත්ත පාඩම් අපට ඉගෙන ගත හැකියි●

අනුහස් බණ්ඩාර

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.