සිත්ගත් කෙටිකතා පොත්

කෙටිකතා කලාව ගැන උනන්දු අය කියවා බැලිය යුතු කෙටිකතා පොත් කීපයක්ම මෑත කාලෙ පළ උනා. ඒ සමහර පොත් ප්‍රසිද්ධ ලේඛකයන්ගෙ. ඒ අතරින් දෙකක් ඒ ඒ ලේඛකයන්ගෙ පළමු පොත්. ප්‍රසිද්ධ අය ගැන කොච්චරවත් කතා කරන නිසා අලුත් පොත් දෙකක් ගැනයි මේ..
එකක් කේ.සංජීවගෙ ‘වංසගතයේ ආ ප්‍රේමිය’. අනික සුමුදු අතුකෝරලගෙ ‘කියවා පිළිස්සිය යුතු කතාවක්’. ඒ පොත් දෙකම කෙටිකතාව කලාව කියන්නෙ මොනවගේ කලාවක්ද කියල හොඳ අවබෝධයක් තියෙන අයගෙ පොත්. ඒ ඒ පරම්පරාවේ සුවිශේෂ අත්දැකීම් ගවේෂණයට කෙටිකතාව අනික් ශානරවලට වඩා ගැලපෙනවා.. විශේෂයෙන් ඒ ඒ පරම්පරාවට ආවේණික පරත්වාරෝපණයක් තියෙනවා. ඒ පරත්වාරෝපණය ආර්ථික, සංස්කෘතික ආදී විවිධ තලවල තියෙනවා. තමා සහ තමා ජීවත්වන සමාජයේ ප්‍රධාන ප්‍රවාහය අතර නොගැලපීම ඒ පරත්වාරෝපණයේ කොටසක්. ඒ නොගැලපීම නිසා එළියට විසි වෙන චරිත අල්ලගන්න කෙටිකතාවට හැකියාවක් තියෙනවා. විශේෂයෙන් පර්යේෂණාත්මක ලක්ෂණ සහිත කෙටිකතාවට.
අපේ යුගයේ සමාජයේ මහා ප්‍රවාහය ගැන පයිසෙක බයක් නැති තරුණ චරිත කේ. සංජීව අල්ලන්නෙ පයිසෙක බයක් නැතිව. ඒ නිසා ප්‍රධාන ප්‍රවාහය විසින් අශිෂ්ට යැයි කියන භාෂාව එහෙම සංජීව හොඳට භාවිත කරනවා. ඇතැම් ජීවිතවල ඇතැම් මොහොතවල් අල්ල ගන්නා “හුත්තො” වගේ වචනයක් මිසක් වෙන වචනයකට පුළුවන්ද කියල ඔහුගෙ කතා කියවන කොට හිතෙනවා මගෙ කතාවල එහෙම වචන භාවිත නොකරනවා වුණත්. ඔහුගෙ කතාවලට අහුවෙන චරිත ඔහේ පාවෙලා යනවා. කතාව දිගෙත් පාවෙනවා. කර්තෘ කෙනෙකු අතේ තියෙන නූලක් දිගේ නෙමෙයි ඒ චරිත පාවෙන්නෙ.

කියවා පිලිස්සිය යුතු කතාවක් සුමුදු අතුකෝරලගෙ. මම දැකලවත් නැති ලේඛකයෙක්. ඒ පොතේ කතාවල කෙටිකතාමය පරිසමාප්තිය වැඩියි. ඔහුත් තමන්ගෙ පරම්පරාවෙ චරිත නියමෙට අල්ලනවා. සංජීව අල්ලනවට වඩා වෙනස් පන්ති පසුබිමක චරිත. විශේෂයෙන් ස්ත්‍රී චරිත අතුකෝරල අල්ලන විදිහ සංජීවට වඩා ප්‍රගතිශීලී ගතියකුත් තියෙනවා. අලුත් පරම්පරාවෙ ස්ත්‍රී චරිත මල් මල් ගවුම් ඇඳල අවුරුද්දට ඔංචිලි පදිනවා, කොණ්ඩ කැවුම් උයනවා මේ සටහන ලියන අප්‍රේල් පස් වෙනිදාගෙන් පස්සෙ හෝගාල පෙන්නන්න ගනියි. සංස්කෘතික ප්‍රධාන ධාරාවේ විඥානයට අයත් “ගමේ චිත්‍රය” ලස්සන කරන්න ගන්න අකර්මණ්‍ය කෙල්ලො වෙනුවට අතුකෝරලගෙ කතාවල ඉන්න කෙල්ලො පුදුමාකාර කාරකශක්තියක් සහිත තරුණ ස්ත්‍රීන්. ඒ අය පුරුෂෝත්තම සැලසුම්වල ගොදුරු නෙමේ. ලිංගික ජීවිතයෙදි වුණත් යටපත් විඳින්නියො නෙමේ. ලිංගික තීරණ පවා තමන්ම ගන්න අය. ඒ නිසා අර චිත්‍රය සරසන නංගිලාට වඩා තමන් ආදරය කරන පිරිමින්ට අවංකව ආදරේ කිරීමේ ශක්තියත් මේ කෙල්ලන්ට තියෙනවා.
සුමුදු අතුකෝරල පළවෙනි පොත ලිව්වත් බරපතල ලේඛකයෙක්. ඔහු අපේ මිනිස් ජීවිත විශාල කලාලයක පිහිටුවනවා. අපේ ජිවිතවල යථාර්ථය සෑදී ඇති ලෝකය ජාතික රාජ්‍යයට වඩා විශාලයි. කෙටියෙන් කියන කතාවක් ඒ වගේ විශාල කලාලයක එළා දක්වන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ සඳහා හොඳ ශිල්පීය දක්ෂතාවක් තියෙන්න ඕනෙ. එරික් ඉලයප්ආරච්චිගෙ පොත්වලට අපූර්වත්යෙන් යුතු කවර ඇඳල එව්ව ෆේස්බුක් එකෙත් දමා දෙන ළමයා විදියට හිටපු සුසන්ත මූණමල්පෙ “රෝස මුසැන්ඩාස් පිස්සුව” නම් අපූරු කෙටිකතා පොතක් ලියලා අපිව පුදුම කළා වගේ සුමුදුත් මේ පොතෙන් අපිව පුදුම කරනවා. මෙව්වගෙ කෙටිකතා ශිල්පය තියෙනවා විතරක් නෙමේ ලොකු බරකුත් තියෙනවා. තථ්‍ය යථාර්ථයත් තවත් වෙනස් වෙනස් යථාර්ථත් හරි අර්ථවත් විදියට එක ළඟ තියන කොලාජ්කරණයක් ඔහුගෙ කතාවල තියෙනවා. ඒ නිසා ඇති වන අනිශ්චිතාර්ථවත් බව සිත්ගන්නවා විතරක් නෙමේ අර්ථකාරක ගුණයෙන් යුතුයි. ඒ විදියෙ ශිල්පීය ශිල්ප දැක්වීම් නැති “අඹ යාලුවෝ” වගේ කතාවක් වුණත් ගැඹුරුයි. අනියම් සම්බන්ධයක් නිසා තම බිරිඳ මරා කෑලි කපා අධිශීතකරණයක සඟවන්නට සැලසුම් කරන වෛරී ස්වාමිපුරුෂයෙකු ගැන කියවෙන ඒ කතාව කෙළවරක් නැතිව ගෑනුන්ව මරණ අපේ අද දවසේ ධර්මදීපයේ ස්ත්‍රී ඉරණම ගැන සංඥාර්ථ සපයනවා. ඒත් ඒ කතාව අවසන් වෙන්නෙ අමුතු දයා කම්පනයක් අපි තුළ ඇති කරමින්.
කෙටිකතා පොත් හත අට ලිව්වත් අනුස්මරණීය කෙටිකතාවක් ලියා ගන්න බැරි අය හරියට ඉන්නවා. ඒත් මේ වගේ කතා ලියන තරුණ අයත් නොනැවතී මතු වෙනවා. ගිය වසරේ පළවූ කෙටිකතා පොත් අතර මගේ ප්‍රියතම පොතක් වන “ගැහැනු පිරිමි මල් පලතුරු ” ගැන සූම් සංවාදයක් යන අතරේ, ඒකට නොයා මේ සටහන ලියන්නෙ ඉසුරු චාමර සෝමවීර වගේ ඇත්තටම සීරියස් කෙටිකතාකාරයො අතරට සුමුදු අතුකෝරලත් එකතු වී සිටීමේ සතුට බෙදාගන්න.
-ලියනගේ අමරකීර්ති (fb)

Leave A Reply

Your email address will not be published.