මාර්ෂල් ඩුෂාම්ගේ පිස් පෝච්චිය යි ඇන්ටික් කඩයයි

පළමුවෙන් ම කියන්න ඕනෑ මේක කලා විචාරයක් නෙමෙයි. රසිකයකු හැටියට ඒ වගේ ම සිත්තරෙක් හැටියට දක්වන ප්‍රතිචාරයක්. එහෙම උනා කියලා මගේ අදහස් සම්බන්ධයෙන් මම වග කියනවා.

අශෝක හදගමගේ ඇන්ටික් කඩයක මරණයක් වේදිකා නාට්‍යය තමයි මම ගොඩ කාලෙකට පස්සෙ බලපු නාට්‍යය. අපි හැමෝ ම දන්නවා අද වෙන කොට ලෝකයේ චිත්‍රපට හදන තරම් වේදිකා නාට්‍යය හදන්නෙ නැහැ. වේදිකා නාට්‍ය බලන ප්‍රමාණයත් එන්න එන්න ම අඩු වෙනවා මිසක් වැඩි වෙන්නෙත් නැහැ. ඒ වෙනුවට වැඩියෙන් කෙරෙන්නෙ සහ සමාජය උඩ පැන පැන බලන්නෙ ‘වොයිස් ශ්‍රී ලංකා‘ වගේ රියලිටි ෂෝ වගේ ඒවා. මේ රියලිටි ෂෝ කියන්නෙ එක පැත්තකින් ෆැෂන් ෂෝ එකක් කිව්වත් වරදක් නැහැ. ඒ වගේ ම සැණකෙළියක් වගේ නිර්මිතයක්. ඒ වගේ වැඩසටහන් වලින් දුක, වේදනාව වගේ වස්තු විෂයයන් සැණකෙලිගත කරලා පට්ට ෆන් එකක් දෙනවා මිසක් අපි ඒවාත් එක්ක සීරියස් බන්ධනයක් ඇති කර ගන්නෙ නැහැ. මේ ෆන් එක භාතිය- සන්තුෂ්ටත් වඩා දෙන්නෙ කොහොමද කියලා සශිකා නිසංසලා හැසිරෙන විදිය මේ ෆන් එක තව තවත් වැඩි කරවන අලුත් අද්දැකීමක්. අපි ඒවත් එක්ක හැගීම් බර වෙනවානම් වෙන්නෙ ඒවාට පැමිණෙන අය ගායනා කරන ගීත වල අන්තර්ගතයන් ගැන හිතලා නෙමෙයි ඒ අය එකිනෙකා දවසින් දවස තරගයෙන් කැපිලා විසිවෙන එකට. ඒ කියන්නේ ඒ අයගේ පවුල් වල අය හැටියට මගේ දරුවා, මගේ සහෝදරයා, ඥාතියා ගැන ඇති වෙන දුකක් තරමට ඒවා ඇගට ගැනීමෙන් විතරයි. මේ තත්වය තුළ ගෙදරට වෙලා ෆන් ගන්න සහ අලුත් මීඩියා දුක් ප්‍රභේදයක ඇමිණෙන්න රසික සමාජය පුරුදු උනා ම තවදුරටත් කලා කෘති වල නෛසර්ගික බලය හීන වෙනවා මිසක් වැඩි වෙන්නෙ නැහැ. ඇත්තටම ජන මාධ්‍ය වල ප්‍රාග් ධනයේ බලය පරයා සැබෑ කලාකරුවාට තරග කරන්න බැරි වීම තමයි දවසෙන් දවස සිදු වෙන්නෙ. අන්න ඒ ටී.වී තිරයකින් ගෙදරට වෙලා ෆන් ගන්න ඇබ්බැහි උන සමාජයට රගහලට ගිහිල්ලාම බැලිය යුතු මොලේටයි ඇගටයි වදින ‘සීරියස් ෆන්‘ එකක් හදගම හදුන්වලා දෙනවා. කවදත් හදගම හිටියේ රැල්ල පැත්තෙ නෙමි. රැල්ලේ ප්‍රතිපක්ෂය පැත්තෙ. ටෙලි නාට්‍ය නිසා සිනමාව ට සොරි ම තමයි කියලා සිනමා ක්ෂේත්‍ර යේ අය අඩෝවැඩියා තියන කොට හදගම සිනමාව ටෙලි මාධ්‍යය හරහා කරන්න පුලුවන් ද කියන එක පරීක්ෂා කරලා බැලුවා. ළමයින් ධාතු කරඩුවක් කරගෙන ළමයින් ඉස්සරහට දමලා සිනමාව ළමාකරණය වෙන කොට හදගම විදූ ගෙනල්ලා සිනමාවේ ළමාකරණයට බෝම්බයක් ගැහුවා.

සම්මත විෂම ලිංගික කථිකාවේ නරක ම කොටස අල්ලගෙන සමලිංගික බැදීම් වල ඇදුම් ඉරා දමන දුෂ්ටයන්ට බැදීම් වල කටුක ශරීරය හෙලිදරව් කරා. රජ කතා රැල්ලක් හැදෙන කොට හදගම කෞතුකාගාරය කුඩුපට්ටම් කරන්න අක්ෂරය ගෙනාවා. මධ්‍යම පන්තික බෙඩ් රූම් අඩෝවැඩියා ඉදිරියට තරබාරු අසන්ධිමිත්තා ගෙනල්ලා අත ඇරලා ඇඩ්වාන්ස් ෆන් අල කෙරුවා. කොවිඩ් කාලේ ගෙදර ඉදන් Zoom තාක්ෂණයෙන් බියර් විතවුට් ඇල්කොහොල් හදලා කාබන් පෑනකින් A4 කොළයක උනත් අදින චිත්‍රයත් චිත්‍රයක්ය කියන්නා වගේ සිනමාවේ තිබුණ මහේශාක්‍ය බලය බිද හෙලුවා. ඉතිං මට අනුව හදගම කියන්නේ කවදත් රැල්ලේ ප්‍රතිපක්ෂය. එක පැත්තකින් ටී.වී ඇඩ් එකක් කරලා තව පැත්තකින් ප්‍රශස්ත සිනමා පටයක් කරනවාට වඩා හදගම තුළ තිබුණෙ මහ බැංකුවේ රැකියාව කරන ගමන් ප්‍රශස්සත ද නැද්ද කියන එක අදාළ කර නොගෙන හදගමගේ හද ගැස්ම හදගමට ඕනෑ ආකාරයට හිතුවක්කාර විදියට අඛණ්ඩව පවත්වාගෙන යාම විතරයි.

හදගම මෙවර ගහන බෝම්බය මට අනුව සමාන වෙන්නේ ජෙෆ්රි බාවා පන්නයේ ආර්කිටෙක්චර් හා බැදුණ ඉංජිනේරු කර්තව්‍යයකට. ගුවන් තොපුපල, බස් පර්යන්ත, වෙළෙද මධ්‍යස්ථාන, කැපිටාල් මෝල්, බැංකු වගේ ආරකිටෙක්චර් නිර්මිතයන් වගේ නෙමෙයි ජීවත් වෙන්න හදා ගන්නා නිවාස සහ හෝටල්. මේ ආර්කිටෙක්චර් මාදිලිය තුළ සාමාන්‍යයෙන් High tech material භාවිතා කරන්නෙ නැහැ. ඒ කියන්නේ cladding board, tempered glass, fiber glass, neon light වගේ ඒවා භාවිතා කරන්නේ නැති තරම්. මොකද ජීවත් වෙන ස්ථාන කාර්යාල, ෆැක්ටරි, ඉස්පිරිතාල වගේ උනාම ජීවත් වෙන්න බැහැ. ජීවත් වෙන අවකාශ වල බිත්තියක උනත් මේසන් බාස්සුන්නැහේ කෙනෙකුගේ හැදි පාර පවා දැනෙන්න අවශ්‍ය කරනවා. ජෙෆ්රි බාවා පන්නයේ ආර්කිටෙක්චර් තුළ මේ වගේ ක්‍රාෆ්ට් ගුණය විතරක් නෙමෙයි මූසලකම පවා හිතා මතාම නිමවනු ලබන දෙයක්. ඇත්තටම සිංහල මධ්‍යම පන්තිය ආර්කිටෙක්චර් සම්බන්ධයෙන් ජීව ගුණය අදාළ කර ගන්නා තරමට වේදිකා නාට්‍ය හරහා මේ ජීව ගුණය අත් විදින්න පුරුදු වෙන එක අත ඇරලා දමන්න පුරුදු උනා. හදගම ඇන්ටික් කඩයක මරණයක් තුළින් ආර්කිටෙක්චර් හැරුණු විට අපි ස්පර්ෂ කරපු කලාපය නැවත විවිර කර දුන්නා. එතකොට කව්රු හරි මගෙන් අහාවි රාජිත දිසානායක, වගේ නාට්‍යකරුවන් ඒක කරේ නැද්ද කියලා. ඔව් එයාලා ඒක කරා තමයි. හැබැයි හදගම කරන්නේ මාර්ෂල් ඩුෂාම් මුත්‍රා පිස් පෝච්චියක් කලාගාරයට ගෙනාවා වගේ අපිව ඇහැරවන සෞනදර්ය ගවේශන ආකෘතියකින්. මම ඒක මෙහෙම කියන්නම්. ඇන්ටික් කඩයක මරණයක් නාට්‍යය තුළ තියෙනවා අර හුණුවටයේ කතාව වගේ ම පූරක විසින් හදුන්වලා දෙන ගීත කිහිපයක්. හුණු වටයේනම් ‘වැල් පාලමේ ගීතය‘ වගේ මේකෙ තියෙන්නෙ ‘ලජ්ජාවේ ගීතය‘ ‘ගල් කාලේ ගීතය‘ වගේ ගීත.

මම හිතන්නේ මේවා උත්ප්‍රාසගත සමකාලීන භාවිතයන්. ගල් කාල ඇසුරෙන් මේ ගැන මම අදහසක් කියන්නම්. මීට දශකයකට ආසන්න කාලයක් තිස්සේ වයින් ස්ටොර්ස් වල කාලේ බෝතල් විකුණන ප්‍රවණතාවයක් ඇති උනා. මේ කාල විවිධ බ්‍රෑන්ඩ් වලින් රුපියල් 300 ක නිත්‍ය මිලක් යටතේ පවතින බව මම දැක තියෙනවා. මේවා තත්ව ගුණයෙන් අඩු දුප්පත් මිනිසුන් ඉලක්ක කරගෙන නිෂ්පාදනය කරන බීම විශේෂයක්. එක්තරා බ්‍රෑන්ඩ් එකක් ‘‘ගල්‘‘ යන නමින් ම වෙළෙද පොළට හදුන්වලා දීලා තිබුණා. මේ බීම තුළ එතනෝල් අඩංගු බවද සමහරු කියනවා. එක පැත්තකින් පොර්ට් සිටි වගේ අධි සංවර්ධිත කලාප මේ රටේ ගොඩ නැගෙද්දී මේ විවිධ ගල් කාලවල් අරගෙන එක හුස්මට බීලා කාලෙ බෝතලේ වයින් ස්ටෝර්ස් එක ආසන්නයේ ම කැළේට විසි කරලා නැත්නම් කොහේ හරි අහුමුල්ලකට දමලා දවස ගෙවා දමන කිසියම් සමාජ කොට්ටාශයක් සමාජය තුළ ඉන්නවා. ඒ අයගේ මත්පැන් පානය සාද සහ සම්භාෂණ ආකෘතියක පවතින එකක් නෙමෙයි. බොහෝ දුරට ස්වපීඩාකාමී සහ අවිචාරවත් එකක් බවයි මම හිතන්නෙ. අපි කැමති උනත් අකමැති උනත් මෙන්න මේ ඌණ සංවර්ධිත සමාජ කුලකය හදගම සිය නාට්‍යය තුළින් අපිට ඉදිරිපත් කරනවා. දේශාභිමාන ගීතයක් වෙනුවට වොයිස් ශ්‍රී ලංකා වැඩසටහන් වල පැරණී ගීත මොඩ් කරලා කියන සිංදු අබියස මේ ගල් කාලේ ගීත වගේ ඒවා මාර්ෂල් ඩුෂාම් පිස් පොච්චියක් කලාගාරයට ගෙනාවා වගේ උත්ප්‍රාසවත් වැඩක් හැටියට සියල්ල පරයා අපේ ඔලුවට හදගම ගහනවා. එතැනදි හදගම කරන්නේ ජෙෆ්රි බාවා පන්නයේ ආර්කිටෙක්චර් වලදි ගල් සෙක්කු, මිරිස් ගල්, ඇඹරුම් ගල්, කරත්ත රෝද වගේ ඒවා ගේනවාට වඩා වෙනස්ව ව සමකාලීන වස්තුවක් ලයනල් වෙන්ඩ්ට් රගහලට ගෙන ඒමයි. නාට්‍යය තුළ ම ඇති ඇන්ටික් කඩයේ ඇන්ටික් බඩු අතරට ගල් කාල ගෙන ඒම මට අනුව අහිංසක නැහැ. ඇත්තට ම මේ වගේ වස්තූන් වීදි නාට්‍යයකදී ගෙනාවට වඩා ලයනල් වෙන්ඩ්ට් රගහලේදී ගෙන ඒම මට අනුව දේශපාලනිකයි.

හදගමගේ නාට්‍යයයේ මම දකින අනිත් වෙනස තමයි සමස්ත නාට්‍යය ලෙවල් ගණනාවක් මගින් තව දුරටත් ජීවමාන කිරීම. ඒ කියන්නේ ඉහළම ඇති සිනමා තිරය, ඇන්ටික් කඩහිමියාගේ නිවස දක්වන උඩුමහල, ඇන්ටික් කඩය ඇති බිම් මහල ( මෙතැනදි වේදිකාව ), පූරක සහ ගායන වෘන්දය සිටින පඩිපෙළ ඉදිරිපස කොටස, වේදිකාවට පහලින් ස්ථාපිත කොට ඇති අනු වේදිකාව සහ ප්‍රේක්ෂකාගාර බිම යන ලෙවල් පහක් හදගම සිය නාට්‍යය තුළ භාවිතා කරනවා. මේ තල හැරුණු විට කාල විපර්යාසයන් දැනවීමේ ප්‍රයෝග ඇතුලු නාට්‍ය ප්‍ර යෝග රණවිරු ස්ටාර්ස්, වොයිස් ශ්‍රී ලංකා, සුපර්ස්ටාර් මේ සියල්ල ද අභිබවා අපිව කුල්මත් කරවනවා. ඇත්තට ම මෙන්න මෙතැනදි මීඩියා ප්‍රාග්ධනයේ අයස්කාන්ත වේදිකා හදගම ඉදිරිපිට නොපෙනී යනවා. ශිල්ප හරඹය හැරුණ ම මේ සියල්ල තුළ හදගම නිදන්ගත කරන්නේ කුමක් ද ? ප්‍රශ්නය මෙයය, ප්‍රශ්නය අසවලාය මගේ වැරැද්දය ඔන්න ඔහොම දවසින් දවස ප්‍රශ්න වල නාභිය අවස්ථාවාදීව වෙනස් කරගෙන ප්‍රශ්න දකින්න පුරුදු වෙන අපි එක්තරා වෙලාවක නන්නත්තාර උනා ම තමන්ගෙ ඇසුරේ සිටින හැමෝට ම දෝෂාරෝපණයක් ගේන්න පුලුවන් ද ? හදගම නාට්‍යය අවසානයේ ඇග කිලි පොලා යන දෝෂාරෝපනණයක් ප්‍රේක්ෂකාගාරයට ගේනවා. ‘‘මම තොපි ඔක්කොමල්ලා මරණවා‘‘ අන්න ඒක තමයි ප්‍රේක්ෂකාගාරයට හෙල්ල දික් කරලා කරන දෝෂාරෝපනණය. නිශ්ශබ්ධව බලාගෙන ඉන්නෙ නැතුව අපි සම්මාදම් වෙන්න ඕන ඇයි ? අන්න ඒ ප්‍රශ්නයේ පැතිරුණ විෂය තමයි නාට්ටිය. ! ඒ කියන්නේ කලින් දවසක කැමරාව වෙනුවෙන් හදපු සැණකෙලිකාරක ස්ටූඩියෝවක රූ ගත කරලා, තිර පිටපතක් මත අපි නැටවෙනවා වෙනුවට ජීවමාන නළු-නිළියන් සහ ප්‍රේක්ෂක අපි ම හරහාම සමාජ ප්‍රශ්න විනිවිදින්න ගේන අලුත්ම මානව රැඩිකල් විලාසිතාව තමයි මට අනුව ඇන්ටික් කඩයක මරණයක්.
කාරණා මෙහෙම වෙද්දී මේ නාට්ටියේ තවත් වැදගත් දෙයක් තමයි 90 දශකයේ දී වේදිකා නාට්‍ය බැබලවූ වර්තමානයේ මහාචාර්යවරයකු වන සෞම්‍ය ලියනගේ නමැති මහාචාර්ය තුමා හදගම විසින් නැවත වේදිකාවට ගෙන ඒම. අන්න ඌව නැවත දකින්න සැලැස්සවීමට නම් හදගමට පිං. හදගම ඇතුළු නාට්‍ය කණ්ඩායමට මගේ හදපිරි ආදරණීය මල් මිටකුත් ඔන්න ඉතිං මේ සමග ම ඇති. ( මෙහි අන්තර්ගතය විචාරය කිරීම හිතා මතාම මග හැරිය බව කරුණාවෙන් සළකන්න )
-සුජිත් රත්නායක (fb) පිටුවෙන් 

Leave A Reply

Your email address will not be published.