සම්පත් බැංකුව කින්දගල්ල වැවට යළි ජීවය දෙයි

සම්පත් බැංකුවේ තවත් සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘වැවට ජීවයක්’ ජාතික ව්‍යාපෘතිය යටතේ යළි ජීවය ලැබූ බිබිල කින්දගල්ල වැව පසුගිය දා ජනතා අයිතියට පත් කරනු ලැබීය.

වීරත්වයෙන් හෙබි ප්‍රෞඪ වූ ඉතිහාසයකට හිමිකම් කියන ඌව වෙල්ලස්ස එදා මෙන්ම අද ද ගොවි ජනතාවගේ දහදියෙන් සරු වූ පින්බිමකි. දැයට බත සපයමින් නිරෝගී පරපුරක් වෙනුවෙන් නිහඬ මෙහෙවරක යෙදෙන ඔවුන් සිය මෙහෙවර ඉටු කරන්නේ, වැව් දියෙන් ලැබෙන ජලයෙන් සිය කෙත් වතු සාරවත් කරමිනි.

එහෙත්, බිබිල කොකුන්නෑව ගමෙහි ගොවි ජනතාවට වසර ගණනක් පුරා හරිහැටි සරු අස්වැන්නක් රටට ජාතියට ලබා දෙන්නට නොහැකි වූයේ තමන්ගේ කෙතට දියවර සපයන කින්දගල්ල වැව අභාවයට යමින් පැවැති හෙයිනි. රටට බත සපයමින් මෙතෙක් දිරියෙන් ඉදිරියට ගිය ගොවි ජනතාවට  සිදු වූයේ කින්දගල්ල වැව දෙස බලා සුසුම් හෙළන්නට පමණි. වැසි දිය ඇද හැලෙද් දී, ඒ දිය පුරවා ගන්නට තරම්වත් සවියක් නොමැති කින්දගල්ල වැව තව තවත් අභාවයට යද්දී, ගොවි ජනතාවගේ පමණක් නොව ඔවුන්ගේ දූ දරුවන්ගේ අනාගතයත් දියුණුව කරා ගෙන යන්නට සම්පත් බැංකුව ඉදිරිපත් වූයේ සිය ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ කින්දගල්ල වැව ප්‍රතිසංස්කරණය සඳහා කටයුතු කරමිනි.

ඒ 2020 අගෝස්තු මස 20 වෙනි දිනයි. සම්පත් බැංකුව බිබිල කින්දගල්ල වැවෙහි ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු ආරම්භ කරනු ලැබුවේ එදින ය. පසුගිය මාර්තු 10 වන දින කොකුන්නෑව ගමට සෞභාග්‍යය රැගෙන ආ මෙම උත්කර්ෂවත් අවස්ථාව වෙනුවෙන් සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා ඇතුළු සම්පත් බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය හා නිලධාරීහු ද, රාජ්‍ය ආයතන නියෝජනය කරමින් මොනරාගල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්තුමා, බිබිල ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු එම ආයතනවල නිලධාරීහු ද, ගම්වාසීහු ද එක්ව සිටියහ●

පුෂ්ප එපිටකඩුව
Leave A Reply

Your email address will not be published.