ඔයාට මං ඉන්නවා

මං මේ වචන ටික කියන්න පුරුදු වුණේ මං කොහේ හරි බලපු ටෙලිනාට්‍යයකින් ද, චිත්‍රපටියකින් ද, මං කියවපු කෙටිකතාවකින් ද, එහෙම නැත් නම්, නවකතාවකින් ද කියලා හරියටම කියන්න දන්නේ නෑ. ඒත් මං ආදරය කරන කිහිප දෙනකුට, “‍මං ඔයාට ඉන්නවා”‍ කියන්න පුරුදු වෙලා ඉන්නවා. අඩුම තරමේ මට ටක්කෙටම කියන්නවත් බෑ මං කවදා ඉඳන් ද මේ වචන පාවිච්චි කරන්න පටන් ගත්තේ කියලා. ඒත් දැන් කොහොම හරි ගැහැනු, පිරිමි භේදයකින් තොරව “‍මං ඔයාට ඉන්නවා”‍ කියන්න මං පුරුදු වෙලා ඉන්නවා.

“මං ඔයාට ආදරෙයි”‍ කියලා තව කෙනකුට කියද්දී, ඔයාගේ හදවතට යම් බරක් දැනෙන්නේ නැද්ද? මට නම් ඒක සෑහෙන්න  දැනෙනවා. ඒ  වචන තුනේම තියෙන්නේ අල්ලා ගැනීමක්, අයිති කර ගැනීමක් කියලයි මට නම් හිතෙන්නේ. වේලාවකට හරි අපහසුවක් ඒ වචන කියන එකත්. ඒත් “මං ඔයාට ඉන්නවා”‍ කියන කොට නම් යම් විදිහක පහසුවක්, සැහැල්ලු‍වක් මට දැනෙනවා. ඒ වචනවල යම්කිසි නිදහසක් ගැබ් වෙලා තියනවා කියලයි මට වැටහෙන්නේ.

මේ සංකීර්ණ දිවිපැවැත්ම තුළ අනෙකා ගැන විතරක් නෙමෙයි, අපි හුස්ම ගන්නව ද කියන එකත් අපට අමතක වෙලයි තියෙන්නේ. ඒ නිසා අපට ආදරය කියන දේ මඟහැරෙන්න පටන් අරන්. අනෙකා ගැන හොයන්න, එයා හොඳින් ද කියලා විමසන්න අපිට අමතක වෙන්න පටන්ගෙන. නූතන තාක්ෂණයේ දියුණුව නිසා ආදරයත් දැන් ටෙක්නිකල් වී ඇති හන්දා ඒකට ‘ආදරය’ කියලා කියන්න පුළුවන් ද කියන ප්‍රශ්නයත් අප අතරට ඇවිත් තිබෙනවා.

අනිත් දේ තමයි, ඒ වචනවල තියෙන හයිය. ඕනෑම අමාරුම තැනක දී, මුහුණ දෙන්නට සිද්ධ වෙන ඕනෑම කරදරයක දී අනික් කෙනාව අල්ලගෙන ඉන්න පුළුවන්කමක් ඒ වචනවලට තියෙනවා. තමන් වුණත්, ඒ වගේ කරදරකාර අවස්ථාවකට මුහුණ දෙද්දී වුණත් අනිත් කෙනාව අත නොහැර අල්ලා ගෙන ඉන්න පුළුවන් බව ඒ වචන කියන කොට මට හැඟෙනවා. අන්න එකයි හැමෝටම මං, “මං ඔයාට ඉන්නවා”‍ කියන්න මැළි නොවෙන්නේ.

මේ සංකීර්ණ දිවිපැවැත්ම තුළ අනෙකා ගැන විතරක් නෙමෙයි, අපි හුස්ම ගන්නව ද කියන එකත් අපට අමතක වෙලයි තියෙන්නේ. ඒ නිසා අපට ආදරය කියන දේ මඟහැරෙන්න පටන් අරන්. අනෙකා ගැන හොයන්න, එයා හොඳින් ද කියලා විමසන්න අපිට අමතක වෙන්න පටන්ගෙන. නූතන තාක්ෂණයේ දියුණුව නිසා ආදරයත් දැන් ටෙක්නිකල් වී ඇති හන්දා ඒකට ‘ආදරය’ කියලා කියන්න පුළුවන් ද කියන ප්‍රශ්නයත් අප අතරට ඇවිත් තිබෙනවා. ඒක ආදරයේ වරදක් ද නැත්නම්, මේ දියුණුවේ වරදක් ද කියලා තෝරලා බේරලා උත්තරයක් දෙන්න මං හදිස්සි වෙන්නේ නෑ. ආදරය කියන්නේ  මනුෂ්‍යත්වය වගේම කිසිදා විනාශ නොවෙන හැඟීමකට. ඒක දැඩි ලෙස මං විශ්වාස කරනවා.

අන්න ඒ සුන් නොවෙන හැඟු‍ම “මං ඔයාට ඉන්නවා”‍ කියන වචන තුළ තියෙන බව මට දැනෙනවා. කොටින්ම “‍මං ඔයාට ආදරෙයි”‍ කියනවටත් වඩා ආදරයක් ඒ වචන තුළ ගැබ් වෙලා තියෙනවා. “‍මං ඔයාට ඉන්නවා”‍ කියලා කියන කොට අපි අනෙකා ගැන හොයන්න පෙළැඹෙන්නේ නිතැතින්. ඒ වචනවල අප අනෙකාට පනවන කිසිම කොන්දේසියක් නෑ. “ඔයා මගේ වෙන්න ඕනේ”‍ කියලා ඒ වචනවලින් අපි හඟවන්නේ නෑ. ආදරය තියෙන්නේ අපි අනෙකාට ඒක දෙන ප්‍රමාණය මත. අපේ මනසට වචන සහ හැඟීම් එන්නේ අනෙකාට අප ඒ දෙන ආදරයේ ප්‍රමාණය මතයි. “මං ඔයාට ඉන්නවා”‍ කියලා වචන තුන හැදිලා තියෙන්නේ අන්න එහෙමයි කියලයි මට හිතෙන්නේ.

ඉතින් මං ඔයාට යෝජනා  කරනවා අනෙකාට “මං ඔයාට ආදරෙයි”‍ කියන වචන තුන වෙනුවට, “මං ඔයාට ඉන්නවා”‍ කියන්න පුරුදු වෙන්න කියලා. ඔයාට වගේම අනෙකාටත් ඒ වචනවලින් හොඳක් සිද්ධ වෙවි. එතකොට ඔයාට වගේම අනෙකාටත් එවිට ආදරය කියන දෙය වැටහෙයි.

විශ්වාස කරන්න; ආදරය කියන දේ මේ හැමතැනම තියෙනවා. අපි ඒක දිහා නිවැරැදි විදිහට බලන්නයි, තේරුම් ගන්නයි විතරයි ඕනේ. අන්න එදාට අපිට ආදරය   හමුවේවි.

 

■ අයන්ත යුනේෂ් ප්‍රනාන්දු

Leave A Reply

Your email address will not be published.