මාවනැල්ලේ මරණ දෙකක් දින 90කට – 53කට පසු කොවිඩ් බවට තීරණය වේ

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පසුගිය 28දා නිකුත් කරනු ලැබූ කොරෝනා මරණ දත්ත වාර්තාවේ මීට දින 90කට හා දින 53කට පෙර සිදු වූ මරණ දෙකක් පිළිබඳව සඳහන් කර තිබේ.
ඒ ඉකුත් දෙසැම්බර් 29දා සිදු වූ මරණයක් හා ඉකුත් පෙබරවාරි 04 වැනිදා මාවනැල්ල මූලික රෝහලේ සිදූ වූ මරණ දෙකකි. ඉන් එක් පුද්ගලයකු කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි අයකු වන අතර, අනෙක් පුද්ගලයා මාවනැල්ලේ පදිංචිව සිටි අයෙකි.
එහි මෙසේ සඳහන් වෙයි :
“කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී පෙබරවාරි මස 04 වැනි දින මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදිත තත්ත්වය සහ නිධන්ගත වකුගඩු රෝගී තත්ත්වයයි.
“මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2020 දෙසැම්බර් මස 29 දින මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙනුයේ කොවිඩ් ආසාදනය සහ උග්‍ර දියවැඩියා තත්ත්වයයි.”
ඉකුත් පෙබරවාරි 04 වැනිදා කොරෝනා මරණ 07ක් වාර්තා වී තිබිණි. නමුත්, එයට ඉහත පෙබරවාරි 04 වැනිදා ලෙස සඳහන් කරන ලද මරණය ඇතුළත් වී තිබුණේ නැත.
කොරෝනා මරණ සම්බන්ධයෙන් දෙසැම්බර් 29 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වූයේ එක් මරණයක් පමණි. මීට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ නාලක කළු‍වැව මහතා පසුගිය දා එම තනතුරින් ඉල්ලා අස් වූ අතර, ඒ වෙනුවට වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කර ඇත.
කොරෝනා ආසාදිතව ශ්‍රී ලංකාවේ මිය ගිය මුළු සංඛ්‍යාව අද වන විට 561ක් වන අතර ඉන් 349 දෙනකු පිරිමි පුද්ගලයන් වේ. මරණ 212ක් කාන්තාවන් වේ. මින් සැලැකිය යුතු සංඛ්‍යාවක් රෝහලට පිට සිදු වූ මරණ ලෙස වාර්තා වී තිබිණි එමෙන්ම වැඩි පිරිසක් වයස 61ත් 75ත් අතර අය වේ.

Leave A Reply

Your email address will not be published.

1 × 3 =