විෂ තෙල් ප්‍රහාරයන්ට ලක් වූ ශ්‍රී ලංකාවේ හෘදය සාක්ෂිය

අප්‍රේල් මාසය එළැඹෙන විට ම සීනි අපරාධය පසුපස පොල්තෙල් සාපරාධය පැමිණ ඇත. අප්‍රේල් මාසය මෙරට ජන ජීවිතයට වැදගත් වන්නේ සිංහල-දෙමළ අලුත් අවුරුදු නිසාවෙන් ය. පොල්තෙල්, සීනි යන දෙකම අවුරුදු සමඟ එකට ම සම්බන්ධ ය. 73 වසරක ධනපති පක්ෂ දේශපාලනයේ දුර ඈත කැරැට්ටුව පසෙක තබා ළඟ ම චරිත සහතික දෙකක් බැලූ විට සිදු වී ඇත්තේ, අපරාධයන් ය. දැන් ඇසෙන්නේ, පෙනෙන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය, මිනිය සේදීම ය, සුදුහුණු ගෑම ය, මිනිය සැඟවීමට තැත් කිරීම ය. ෆේස් බුක් අඳෝනාවන් ය. එකක් පසුපස එකක් නොව හෘදය සාක්ෂියක් නොමැති රටේ දේශපාලනය සමාජය මත පතිත කරන්නේ හෙණ පොකුරු ය. ආසන්නතම හෙණය ඇප්ලොටොක්සින් විෂ රසායන අඩංගු පොල්තෙල් ජාවාරම ය. පොල්තෙල් විෂ සහිත බව පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ය. විෂ සහිත පොල්තෙල් කතාවක් නොමැතිව ඒවා පිටතට හැරියේ රේගුව ය. රේගුව එසේ කරන්නේ ජනාධිපති යටතේ වන ප්‍රමිති කාර්යාංශයේ උපදෙස් අනුව ය. බැලූබැල්මට මෙම ක්‍රියා පසුපස සිටින්නේ, රජයේ නිලධර තන්ත්‍රයයි. නමුත්, චූදිතයන් ඔවුන් පමණක් ද?

විෂ යැයි පවසන පොල්තෙල් ගෙනාවේ දේශපාලකයන්ගේ ගජමිතුරන්ය. එහි විෂ නැතැයි පැවසුවේ, දේශපාලන අධිකාරිය යටතේ වන රාජ්‍ය අංශයක් ය. මේවා විපක්ෂයේ මඩ යැයි පවසන්නේ, ආණ්ඩුවේ ඉදිරිපෙළ සහ පසුපෙළ ය. සියල්ල පෙළගැස්වූ කල සිතන්නට හැකි අයට වැටහෙන්නේ රජයේ නිලධර තන්ත්‍රය දේශපාලනීයකරණය වී ඇති බව ය. දැන් දෙස්දෙවොල් තැබිය යුත්තේ, නිලධාරීන්ට එරෙහිව ද? පාලකයන්ට එරෙහිව ද? ළඟ පෙනෙන සත්‍යය නම් නිලධර තන්ත්‍රය දේශපාලනීයකරණය වී පිරිහී තිබෙන තරම ය. අතීතය සහ අනාගතය දෙස දුර දකින්නට හැකි නම්, පෙනෙන සත්‍යය මෙයින් එහා ය.

රටක ජනතාවට විෂ කැවීම යනු සරල සෙල්ලමක් හෝ විහිළුවක් හෝ නොවේ. එය මිනීමැරීමකි. පොල්තෙල් වැනි කිසිදු භේදයකින් තොරව සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන දෙයක් විෂ වීම යනු සමූලඝාතනයකට තැත් කිරීමකි. සීනි වංචාව සමාජ අපරාධයකි. විෂ පොල්තෙල් වංචාව සමාජ ඝාතන අපරාධයකි. එහෙත් කිසිදු හිරිකිතයකින් තොරව මෙම අපරාධවලින් නිදොස් කරන්නට, සුදුහුණු ගාන්නට වෙහෙසෙන්නෝ ද බහුල ය.

රටක ජනතාවට විෂ කැවීම යනු සරල සෙල්ලමක් හෝ විහිළුවක් හෝ නොවේ. එය මිනීමැරීමකි. පොල්තෙල් වැනි කිසිදු භේදයකින් තොරව සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන දෙයක් විෂ වීම යනු සමූලඝාතනයකට තැත් කිරීමකි. සීනි වංචාව සමාජ අපරාධයකි. විෂ පොල්තෙල් වංචාව සමාජ ඝාතන අපරාධයකි. එහෙත් කිසිදු හිරිකිතයකින් තොරව මෙම අපරාධවලින් නිදොස් කරන්නට, සුදුහුණු ගාන්නට වෙහෙසෙන්නෝ ද බහුල ය. ඒ දේශපාලකයන් පමණක් නොවේ. පාක්ෂිකයන් තුළ ද එවන් ප්‍රයත්න දක්නට ලැබේ.

73 වසරක දේශපාලන ක්‍රමය සමාජය ගෙනා තැන එතැන ය. මේ “සාදු ! සාදු !!” කියමින් තමන්ගේ එකා, පාලකයා කියමින් ඔසවාගෙන යන සමාජ ක්‍රමය ධනවාදී එකකි. එහි ඒකායන අරමුණ ලාභය පමණ ය. ලාභය උදෙසා මමත්වය පෙරටුකොට හඹා යාම සදාචාරයක් බවට පත් කළ ක්‍රමයක, විෂ කවා හෝ ලාභ ලැබීම වරදක් නොවී තිබේ. එනිසා විෂ පොල්තෙල් ගෙන්නුවාට දඬුවමක් ද නැත. ආණ්ඩුව කියන්නේ, එසේ වී තිබේ නම්, ඒවා ප්‍රතිඅපනයනය කරවන බව ය. අපි සමාජ අපරාධ ආනයනය හා අපනයනය කරන, එමෙන් ම ඒ සමඟ ම හෘදය සාක්ෂිය ද විකුණන සමාජයක්ව තිබේ. මේ ලාභ වෙනුවෙන් ඕනෑ ම ඝාතනයක් කරන සමාජ ක්‍රමය දිනෙන් දින ඉල්ලා සිටින්නෝ ද හෘදය සාක්ෂියක් නැති පාලකයෝ ය. හෘදය සාක්ෂියක් නැති ව්‍යාපාරිකයෝ ය. හෘදය සාක්ෂියක් නැති නිලධාරීහු ය. හෘදය සාක්ෂියක් නැති වියත්තු ය. හෘදය සාක්ෂියක් නැති පූජකයෝ ය. පවතින දේශපාලන ක්‍රමය විසින් සමාජය විෂ කරනු ලැබ තිබෙන්නේ එලෙස ය. එබැවින්, මෙම කෲර හෘදය සාක්ෂිය වන්දනාමාන කරන මෙම පසුගාමී සමාජ ක්‍රමය අත්තිවාරමෙන් ම වෙනස් කළ යුතු ය.

මෙවර අප්‍රේල් මාසය තවත් වැදගත් වන්නේ එවැනි වෙනසක් වෙනුවෙන් අරගල කළ, ජීවිත පරිත්‍යාග කළ පරපුරක පනස් වන සැමරුම් දිනය 05 වැනිදාට යෙදෙන නිසා ය. ඒ 1971 අරගලයයි. මේ ක්‍රෑර විෂ සහිත සමාජය හෘදය සාක්ෂියක් සහිත සාධාරණ, යුක්තිගරුක මිනිස් සමාජයක් කරා ගෙන යා හැක්කේ ඔවුන්ගේ අරමුණු සැබෑ කිරීමෙන් පමණක් බව වටහා ගත යුතු ය●

 

 

Leave A Reply

Your email address will not be published.