පැරැණි බොනපාට්ගේ උපක්‍රම හා අලුත් පළාත් සභා ඡන්ද උපක්‍රමය

පළාත් සභා මැතිවරණ තැබිය යුතු කාලය දැන් හොඳටම පසුවී තිබේ. පසුගිය කාලය පුරාම එය පැවැත්වීමට එතරම් උනන්දුවක් ආණ්ඩුවට තිබෙන බවක් පෙනුණේද නැත. එහෙත් පළාත් සභා පැවැත්වීම පිළිබඳව වැඩියෙන්ම උනන්දු වන බව පෙනුණේ ආණ්ඩුවේ බැසිල් පාර්ශ්වයයි. ආණ්ඩුව ඇතුළේ සිද්ධි සිද්ධ වෙන දිහා බැලුවා ම මණ්ඩලේ කචල් එක බරපතළ බව පැහැදිලි ය. එකිනෙකා වැඩ කරන්නේ, එකිනෙකාගේ න්‍යාය පත්‍රවලට අනුව බව පැහැදිලි ය. ආණ්ඩුවක් විදියට එක මතයක, පොදු ඉලක්කයක නැති බව එළිපිටම වැටහෙන්නේ ය. බැසිල්ගේ කණ්ඩායමත් හතරවටින් වැඩ පටන්ගෙන ඇත. ඒ, ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස කරළියට ඒමේ අභ්‍යන්තර සූදානමයි. තමන්ගේ ගෝලබාලයෝ ටික වැඩ පටන් අරගෙන ඇත්තේ, ඒ වෙනුවෙන් ය. පළමුව කර ගත යුත්තේ, අභ්‍යන්තරයේ එයට ඇති බාධා ඉවත් කර ගැනීම ය. පක්ෂයේ බලය තියෙන්නේ, ඔහු අතේ ය. ගෝඨාභය පක්ෂයේ කිසිදු නිලයක නොමැත්තේ ය. මහින්දගෙන් පසු හිස්වන තැන ගැන කුරුමානම අල්ලන්නේ ඒ සැලැස්මට අනුව ය.
ආර්ථික ප්‍රශ්න යටපත් කිරීමට ජාත්‍යෝන්මාදවාදය යොදාගැනීමට සිතූ නැපෝලියන් ප්‍රසියාවට එරෙහිව යුද ප්‍රකාශ කළේය. එහෙත් ප්‍රසියානු හමුදාව හමුවේ නැපෝලියන් ද, ඔහුගේ හමුදා ප්‍රධානීන්ද, ඇතුළු 83,000ක හමුදා සෙබළුන්ට සෙඩාන් නගරයේදී යටත් වීමට සිදුවිය. මෙහිදී ආක්‍රමණිකයාට එරෙහිව ප්‍රංශ ජනතාව අවි අතට ගෙන සටන් වැදුණු අතර ඒ ඔස්සේ ජනතා බලය වර්ධනය විය. මේ කාලය තුළ බොනපාට්වාදීන් හා ප්‍රසියානු නායකයන් විවිධ ගිවිසුම් ඇතිකරගන්නා ලදී. බොනපාට්වාදීන්ගේ ව්‍යාජ දේශප්‍රේමය සැබෑලෙසම එළිදරව්වූයේ මෙහිදීය. ඔවුන්ගේ එක් තීන්දුවක් වූයේ පැරීසියේ සන්නද්ධ ජනතාව නිරායුධ කිරීමයි. එසේ ජනතාව නිරායුධ කිරීමට යැවුණු හමුදා එහි පැවති ජන බලය හමුවේ එම නියෝග ක්‍රියාත්මක කිරීම අතහැරදැමූහ.

ඒ සඳහා සැලසුම් සකසද්දී තමන්ගේ ගෝලබාලයන් බලවත් කළ යුතුය. ඔවුන් සතුටු කළ යුතුය. ඒකට පළත් සභා හොඳ ඉල්ලමක්ය. එහෙත් පරහක් තිබේ. ඒ අලුත් ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තවම එහි කටයුතු අවසන් වී නොමැති වීමය. ඒ අනුව මුලින් ප්‍රකාශ වූයේ පැරැණි ක්‍රමයටම පළාත් සභා මැතිවරණය පවත්වන බවකි.

එහෙත් හිතුවාට වඩා වේගයෙන් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහළ බසිමින් පවතී. ආණ්ඩුවේ සහායෙන් සිදුවන කැලෑ කැපීම, පස් කැපීම, ඉඩම් කොල්ලය ඇතුළු පරිසර විනාශයන්ට එරෙහිව රට පුරා විරෝධතාය. ආණ්ඩුවේ ලොකු ලොක්කන් වෙනුවෙන් දරදිය අදින ජාවාරම්කරුවන්ට උපරිම සන්තෝසම්ය. කොරෝනා වසංගතයද වසන්තයක් වූයේ ඒ අයටමය. සියලු තීන්දු තීරණ ගැනෙන්නේ ඔවුන්ට ඕනෑ විදියටය. බලයට ඒමට පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ කඳුළු යොදාගත්තද, ඔවුන්ට යුක්තිය ඉටු කිරීමට තවමත් ආණ්ඩුව අපොහොසත්ය. ඒ නිසා කතෝලික බලවේගය පසුවන්නේ ආණ්ඩුව සම්බන්ධ නොසතුටෙනි. පල්ලි ඉදිරිපිට විරෝධතාය. මහ බැංකු බැඳුම්කර හොරු ගැන කියමින්, ඔවුන්ට දඬුවම් දෙන බව කියමින් බලයට ආවද ඒ වෙනුවට සිදුවූයේ බැඳුම්කර මංකොල්ලය තරම්ම මංකොල්ලයක් සීනි හරහා සිදුකිරීමය. වියතුන්ගේ පාලනයක් පිළිබඳ සිහින දුටු ජනතාවට අද දකින්නට ඇත්තේ ජොනීලාගේ, ලංසාලාගේ, රත්තරංලාගේ, ජයසුන්දරලාගේ පාලනයකි. අපරාධවලින් තොර රටක් ගැන කිව්වද, එකම නීතියක් ගැන කතා කළද ඒවා සුරංගනා කතා බවට පත් වී තිබේ. සමාජයෙන් අසන්නට ලැබෙන්නේ වෙන කවරදාටත් වඩා මත්ද්‍රව්‍ය ජාවාරම් සමාජයේ පැතිර යන බවකි. අවුරුදු කිට්ටුවෙමින් තිබෙන ජනතාවට දැන් එලොව පොල් පෙනෙන ගාණට බඩු මිල ඉහළ ගොස් තිබේ. “සංදර්ශන නෑ, වැඩ විතරයි” කී ජනාධිපතිවරයා දැන් පෙන්වමින් සිටින්නේ “වැඩ නෑ සංදර්ශන පමණයි” යන්නය.

ඒ නිසා දැන් ආණ්ඩුව ගැන අප්‍රසාදයෙන් කතා කරන්නේ රටේ සාමාන්‍ය ජනතාව පමණක් නොවේ. ආණ්ඩුව බලයට පත්කිරීමට බොහෝ වෙහෙස මහන්සි වූ ස්වාමීන් වහන්සේලාද ඇතුළු බොහෝ දෙනා ඒ අතර සිටිති. එබැවින් පළාත් සභා ඡන්දය පැවැත්වීමට ඕනෑකම තිබුණාට රටේ තත්ත්වය ආණ්ඩුවට කිසිසේත්ම හිතකර නැත.

මෙවැනි තත්ත්වයක් හමුවේ ඡන්දය පවත්වනවා යනු ඉල්ලන් කෑමකි. ඒ නිසා දැන් වෙනත් විකල්පයක් දෙස බැලිය යුතුය. ඡන්දය කල් දමන්නටත් බැරිය. ලෝකයටද උත්තර දිය යුතුය. පසුගිය ජීනීවා මානව හිමිකම් සැසිවාරයේදී ඉදිරිපත් වූ යෝජනාව පරාජය කරගැනීමට නොහැකි වූයේ හේතු රැසක් නිසාය. අසල්වැසි ඉන්දියාවේ සහාය පවා ගැනීමට නොහැකි විය. ඉන්දියාව පැත්තෙන් ඉදිරිපත්කර තිබූ එක් කාරණයක් වූයේ පළාත් සභා ඡන්දය නොපැවැත්වීමයි.

ඒ නිසා දැන් ඡන්දය දිනාගත හැකි ක්‍රමයකට ඡන්දය පැවැත්විය යුතුය. ඒ සඳහා සරිලන ඡන්ද ක්‍රමයකට ඡන්දය පැවැත්විය යුතුය. ඒකට ගණිත විජ්ජාවක් අවශ්‍යය. ඒ ගණිත විජ්ජාව අනුව ඡන්දය තිබ්බොත් පැරදුණත් දිනුම්ය.

ඒ අනුව දැනගන්නට ලැබෙන තොරතුරු අනුව සකස් කරන්නට යන මැතිවරණ ක්‍රමය මෙසේය. සීමා නිර්ණයක් අලුතින් සිදුකර මැතිවරණ කොට්ඨාස වෙන් කිරීමට දිගුකලක් ගතවන නිසා පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසම මැතිවරණ කොට්ඨාසය ලෙස සලකා මැතිවරණ ක්‍රමය සකස් කිරීමය. එහිදී කොට්ඨාස ක්‍රමයට 70%කුත් ඉතිරි 30% සමානුපාතික ක්‍රමයටත් ලෙස ගැනීමය. අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී එක් කොට්ඨාසයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් 03ක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසයි. දිනන පක්ෂයට දිස්ත්‍රික්කයෙන් බෝනස් මන්ත්‍රී ධුර දෙකක් හිමි වෙයි. කොට්ඨාසයට අපේක්ෂකයන් 03ක් එක් පක්ෂයකින් ඉදිරිපත් කිරීමේ යෝජනාව තුළ ඇත්තේ එකිනෙකා අතර තරගයක් ඇතිකොට කෙසේ හෝ ආණ්ඩුව කෙරෙහි කලකිරී සිටින ඡන්ද ප්‍රමාණය යළි ආණ්ඩුවේ ගොඩටම එකතු කර ගැනීම බව පැහැදිලිය.

පාලකයන් ඡන්ද තබන්නේ තමන්ට දිනන්නට පුළුවන් යයි සිතන්නේ නම් පමණය. මෙය අලුත් කතාවක් නොවේ. පරණම පරණ උපක්‍රමයකි. ලංකාවෙන් පමණක් නොව ලෝකයෙන්ද ඒ සඳහා උදාහරණ සොයාගත හැකිය. ලෝකයටම බොනපාට්වාදය නම් දේශපාලන මතවාදය දායක කළ ප්‍රංශයේ තුන්වන නැපෝලියන් අධිරාජ්‍යයාගේ පාලන සමයේද මෙවැනි දේ සිදුවී ඇත. 1851දී බලයට පත්වූ ඔහු ජනමතවිචාරණයක් මගින් තමාගේ බලය අසීමාන්තිකව වැඩිකරගත්තේය. පාර්ලිමේන්තුවද විසුරුවා හැර ප්‍රංශයේ එකම පාලකයා බවට පත්විය. බලය තව තවත් ව්‍යාප්ත කිරීම සඳහා ජාත්‍යෝන්මාදවාදය යොදාගනු ලැබූ අතර දේශසීමා විශාල කර ගැනිණි. කතෝලික දහමට විශාල අනුග්‍රහයක්ද ලබාදීම ඔහුගේ පාලනයේ විශේෂත්වයකි. පැරිස් නගරය අලංකාරවත්ව ගොඩනැගීමද ඔහුගේ කාලයේ සිදුවිය. මේ සියල්ල මතුපිටින් පවතිද්දී අත්තනෝමතිකත්වය හා කෲරත්වය දිගටම ක්‍රියාත්මක විය.

1870 ජනවාරි 10 දා නැපෝලියන් බොනපාට්ගේ මස්සිනා වන පියරේ බොනපාට් විසින් රිපබ්ලිකන් මාධ්‍යවේදී වික්ටර් නොයර් ඝාතනය කරනු ලැබිණි. මීට එරෙහිව විශාල ජනතා විරෝධයක් බොනපාට් පාලනයට එරෙහිව ගොඩනැගුණු අතර ලක්ෂයක පමණ ජනතාව විරෝධතා පෙළපාළි පැවැත්වූහ.

මේ තත්ත්වය හමුවේ බොනපාට් තම සුපුරුදු උපක්‍රමය වූ ජනමතවිචාරණයක් එම වසරේම මැයි මාසයේ පවත්වන ලදී. එහිදී ලක්ෂ 75ක ජන්ද ප්‍රමාණයක් ඔහුට පක්ෂවද, ලක්ෂ 15ක ඡන්ද ප්‍රමාණයක් විරුද්ධවද ලැබී තිබිණි. විශේෂත්වය වූයේ නාගරික ප්‍රදේශවල බොනපාට් පරාජය වී ග්‍රාමීය ප්‍රදේශවල ඉහළින්ම ජයග්‍රහණය කිරීමය. මෙම ජයග්‍රහණය යොදාගෙන වාමාංශිකයන් මර්දනය කිරීමට පියවර ගැනුණු අතර බොහෝ දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලදී.

තව දුරටත් ආර්ථික ප්‍රශ්න යටපත් කිරීමට ජාත්‍යෝන්මාදවාදය යොදාගැනීමට සිතූ නැපෝලියන් ප්‍රසියාවට එරෙහිව යුද ප්‍රකාශ කළේය. එහෙත් ප්‍රසියානු හමුදාව හමුවේ නැපෝලියන් ද, ඔහුගේ හමුදා ප්‍රධානීන්ද, ඇතුළු 83,000ක හමුදා සෙබළුන්ට සෙඩාන් නගරයේදී යටත් වීමට සිදුවිය. මෙහිදී ආක්‍රමණිකයාට එරෙහිව ප්‍රංශ ජනතාව අවි අතට ගෙන සටන් වැදුණු අතර ඒ ඔස්සේ ජනතා බලය වර්ධනය විය. මේ කාලය තුළ බොනපාට්වාදීන් හා ප්‍රසියානු නායකයන් විවිධ ගිවිසුම් ඇතිකරගන්නා ලදී. බොනපාට්වාදීන්ගේ ව්‍යාජ දේශප්‍රේමය සැබෑලෙසම එළිදරව්වූයේ මෙහිදීය. ඔවුන්ගේ එක් තීන්දුවක් වූයේ පැරීසියේ සන්නද්ධ ජනතාව නිරායුධ කිරීමයි. එසේ ජනතාව නිරායුධ කිරීමට යැවුණු හමුදා එහි පැවති ජන බලය හමුවේ එම නියෝග ක්‍රියාත්මක කිරීම අතහැරදැමූහ. මේ තත්ත්වය හමුවේ පාලක කොටස් හා ධනපතීන්ට පැරිස් නගරය හැර යාමට සිදුවු අතර 1871 මාර්තු 18දා පැරිසියේ ජනතා පාලනයක් පිහිටවන ලදී. ඉතිහාසයේ පළමු සමාජවාදී පාලනය ලෙස සැලකෙන පැරිස් කොමියුනය උපත ලැබුවේ එසේය. මුළු ලොවටම සැබෑ ජනතා පාලනයක මහඟු ආදර්ශයන් රැසක් සැපයූ ඒ පැරිස් කොමියුනය දින 72කට පසු ප්‍රංශ ධනපති පාලකයන් හා විදෙස් හමුදා එක්ව ලෙයින් සහ යකඩින් මර්දනය කරන ලදී. එකී පැරිස් කොමියුනයට වසර 150ක් පිරුණේ මේ වසරේ පසුගිය මාර්තු 18දාටය.

ඒ නිසා පාලකයන් බලය පවත්වාගැනීමට කළහැකි සෑම උපක්‍රමයක්ම දරන්නේය. පිරිහෙන ආණ්ඩුව තිරිහන් කරන්නටද යොදාගන්නේ මැතිවරණම විය හැකිය. එහෙත් ඒ ඔවුන්ට වාසිසහගත ක්‍රමවලටය. ඒ නිසා මේවා අලුත් උපක්‍රම නොවන්නේය. පළාත් සභා ජන්දය පැවැත්වීමට ඡන්ද ක්‍රමය වෙනස් කරන්නට යන්නේ එම න්‍යායට අනුවය. කෙසේ නමුත් බොරුව හැමදාම කළ නොහැකි බව ඉතිහාසය වරක් දෙවරක් නොව බොහෝ වතාවක් ඔප්පු කර අවසානය●

ජගදාක්‍ෂි

 

 

 

 

Leave A Reply

Your email address will not be published.