වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ට ඇප

වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති වෛද්‍ය මොහමඩ් සාෆි ඇප මත නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඒ අනුව ඔහු රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 04 ක් මත නිදහස් කර තිබේ.

අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා එල්ලවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද තෙවැනි දිනටත් කැඳවීය. 

අද පස්වරුවේ වෛද්‍යවරයා අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඔහු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ වසන්ත බණ්ඩාර නවරත්න මහතා පෙනී සිටියේය. අධි නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ වෛද්‍ය සාෆිට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම නීතිපතිවරයා ද සැකකරු අපරාධයක් සිදුකර ඇති බවට සාක්ෂි නොමැති බව අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර ඇති බවයි. එක එක පිස්සන් එළියේදී සිදු කරන කතා මෙම නඩු කටයුත්ත සඳහා අදාල කරගෙන අමාරුවේ නොවැටෙන්නැයි ඔහු මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙම නඩුව සමාජයේ ආන්දෝලනාත්මක තත්වයක් ඇති කිරීමට හේතු වී ඇති බැවින් භික්ෂූන් වහන්සේලා ඇතුළු ඇතැම් පිරිස් අධිකරණයෙන් පිටතට පැමිණ සිදුකරන ඇතැම් ප්‍රකාශ නඩු කටයුත්තට මෙන්ම සංහිඳියාවට ද බාධාවක් වී ඇති බවයි.

නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් ලියනගේ මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කළේ වන්ද්‍යාකරණ සැත්කම් සිදුව ඇතිද යන්න තහවුරු කර ගැනීම සඳහා සිදු කිරීමට නියමිතව තිබූ එස්.එච්.ජී. පරීක්ෂණ අධිකරණය විසින් තාවකාලිකව අත්හිටුවීම පරීක්ෂණ සඳහා බාධාවක් වී ඇති බවයි.

අදාල පරීක්ෂණ සිදු කිරීමේදී ඇතිවන සංකූලතා සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට කාසල් හා ද සොයිසා රෝහල්වල අධ්‍යක්ෂකවරුන්ට නියෝග කරන්නැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටි අතර ඒ සඳහා අධිකරණයේ අවසර ලැබිණි. එසේම පසුගිය 27 වැනිදා අධිකරණයෙන් පිටතදී ඇතැම් පුද්ගලයන් මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශ ඇතුළත් වීඩියෝ පටවල පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන්නැයි සිදුකළ ඉල්ලීමට ද අවසර ලැබිණි.

විත්තියේ නීතිඥවරයා සාෆි වෛද්‍යවරයාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විරෝධය නොදැක්වූ අතර ඒ අනුව වෛද්‍යවරයා ඇපමත නිදහස් ‍කිරීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.

LNW

Leave A Reply

Your email address will not be published.

nineteen − thirteen =