ඉන්දියාවේ වනාන්තර මිනිසා

පසුගිය වසර 40 ක කාලයක් පුරා ගස් සිටුවීමෙන් නිසරු භූමියක් වනාන්තරයක් බවට පත් කොට ඇත)
මෙය පද්ම ශ්‍රී සම්මානලාභී, ඉන්දියාවේ වන සංරක්‍ෂණ මිනිසා ලෙස විරුදාවලිය ලද ජාදවි මොලායි පයොං ගේ කතාන්දරයයි. ඔහු සිය දෑතින් නිසරු බිමක් මහා වනාන්තරයක් බවට ජීවමාන කරන ලද්දෙකි.
1979 වර්ෂය වන විට ඔහුගේ වයස අවුරුදු 16 කි. ඔහු එරට ගවයින් අළෙවි කල වෙලෙන්දෙකුගේ දරුවෙකු වූ අතර ඔහුගේ ප්‍රජාව එරට ගෝත්‍රික ප්‍රජාවක් විය. බ්‍රහ්මපුත්‍ර ගංගාවෙහි පිහිටා ඇති ලොව විශාලතම ගංගා දූපත වන මජුලි රක්‍ෂිතය එකල විශාල නියගයකට ගොදුරු විය. ගංගා කණ්ඩියන් ගංවතුරට සේදීමෙන් පසු මියගිය සර්පයින් විශාල ප්‍රමාණයක් ඔහුට දකින්නට ලැබෙන්නේ එකලය.

ඔහු ඒ පිළිබදව වැඩිහිටියන් සහ අනෙකුත් පාර්ශවයන් දැනුවත් කිරීමක් සිදුකලද ඒ සම්බන්ධයෙන් යමක් සිදුකිරීමට තමන්ට නොහැකි ඇයිදැයි තමාගෙන්ම විමසන්නට විය. නිරන්තරයෙන් සිදුවන මෙම ගංවතුර උවදුර හේතුවෙන් සර්පයින් පමණක් නොව සියළු වර්ගවල වන සතුන්ට මෙවැනි අකල් මරණයන්ට ගොදුරුවන්නට සිදුවන බව ඔහු අවබෝධ කරගත්තේය. ඔහු සිතුවේ ඊට තමන්ට කල හැකි එකම දෙය වන්නේ ගස් සිටුවීම සහ ඒවා නිසි පරිදි වැඩීමට අවශ්‍ය සහයෝගය ලබාදීම පමණක් බවයි.

ඔහුට කුඩා කාලයේදීම කෘෂි විද්‍යාඥයෙකු වන ජද්බේෂ් බාරුවා යන අය මුණ ගැසෙයි. ඔහු එහිදී ජාදව්ට රෝපනය සදහා පැල කීපයක් ලබාදෙයි. ජාදව් ඔහු පිළිබදව පසුකලෙක සිය මතකය අවදි කරයි.
“බාරුවා දවසක් මගේ අත අරගෙන කිව්වා ‘හැකිනම් ගස් සිටුවන්න, ඔවුන් දවසක අපි හැමෝම බලා ගනීවි’ කියා. ඉතින්, මා අවට කාන්තාරයක් තැනෙනු දුටු විට, ඔහු මගෙන් ඉල්ලා සිටි දේ ක්‍රියාවට නැගීමට මා තීරණය කලා. පාසැලක් උදෑසන ආරම්භ කරන විට පැළයක් හෝ බීජයක් සිටුවීමට දරුවෙකුට උගන්වන්නේ නම් එය ඉතා සුන්දර දෙයක්. එම දරුවා හෝ දැරිවිය වැඩෙන විට ඔහුට හෝ ඇයට එය රැකබලා ගැනීමට සහ ඒ සඳහා වගකීමට බැදීමට ඉගැන්විය යුතුයි. මීට වසර 30 කට පමණ පෙර අප එසේ සිදු කළේ නම්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ දේශගුණික විපර්යාසයන් මෙලෙස අපව පීඩාවට ලක්කිරීමට තරම් එඩිතර වන්නේ නැහැ.”
ඔහු පළමුව, පෙර කී වැල්ලෙහි උණ බීජ 20 ක් පමණ සිටුවීමෙන් පැල සිටුවීම ආරම්භ කරයි. වසර 40 ක් පමණ ඉක්ම ගොස් ඇති අද වන විට ඔහුගේ වනාන්තරය හෙක්ටයාර් 550 කට අධික වෙයි. ඔහු සිය ජීවිතයේ බොහෝ දෑ අතහැර දමා සියළු අවධානය වනාන්තරයට ලබා දුන්නේය. ඔහු පළමුව උණ ශාඛය සිටවූවත් පසුව ක්‍රමයෙන් වෙනත් ශාඛයන් කෙරෙහි අවධානය යොමු කරන්නට විය.

වනාන්තරය රෝපනයේදී ඔහු පාංශු සැකසීම, බීජ රෝපනය කිරීම, වාරිමාර්ග කටයුතු සදහා දේශීය ක්‍රම භාවිතා කරන්නට විය. පසෙහි සාරවත් බව වැඩි කිරීම සදහා පොහොර ලෙස ගව හා කාබනික ද්‍රව්‍ය භාවිතා කල බවත් පැළ වලට ජලය දැමීම සදහා උණ බම්බු වේදිකා මත තැබූ මැටි භාජන මගින් ජල බිංදු ලෙස ජලය නිරන්තරයෙන් වැටීමට සැලැස්සූ බවත් ඔහු කියා ඇත. ක්‍රමයෙන් ඔහු සමග කිහිප දෙනෙකු මෙම කාර්යය සදහා එකතු විය. වැඩි කලක් නොගොස්ම ඔවුන්ගේ වනාන්තරය අළි රංචු, මුවන්, කොටින් වැනි සතුන් ඇතුළු කුරුළු විශේෂ දහස් ගණනකගෙන් පිරී යන්නට විය.

2007 වසරේ අවසන් භාගයේ ඔහුගේ නිහඩ ජීවිතය යමි වෙනසකකට භාජනය විය. ජායාරූප මාධ්‍යවේදියෙකු විශාල වනාන්තරයක් ඔහු විසින් වපුරා ඇති බවට පුවත්පතකට ලිපියක් යොමුකරන ලදී. ඔහු ගැන මුළු මහත් ඉන්දියාවම හරිහැටි දැන ගත්තේ ඉන් පසුවය. හෙක්ටයාර් 550 ක (අක්කර 1300 කට වඩා වැඩි) නිසරු භූමියක් සශ්‍රීක හරිත වනාන්තරයක් බවට පත් කිරීම හේතුවෙන් ජාදව්ට 2010 වර්ෂයේ ලෝක මිහිතල දිනයේදී දිල්ලි නුවරදී ‘ද ෆොරස්ට් මෑන්’ යන නාමය පිරිනමන ලදී.

ඔහුගේ පෞද්ගලික ජීවිතය සිය විවාහයත් සමග දරුවන් පස්දෙනෙකු සමග කාර්යය බහුල වුවත් ගස් සිටුවීමේ ඔහුගේ මෙහෙවර කිසි විටෙක ඔහු අමතක කළේ නැත. වසර 35 ක කාලයක් තිස්සේ ඔහු කුඩා යාත්‍රාවක නැගී ගග තරණය කොට කාන්තාරයක් වන්නට තිබූ පෙදෙසක පැලයක් සිටුවීම අමතක නොකරයි.
දැන් ඔහුගේ වනාන්තරෙයේ විසල් ගස්වල බීජ බිම වැටී නව පැළෑටි ඉබේම හිස ඔසවා ඇත. මිනිසුන් මෙන් නොව සොබාදහම ක්‍රියා කරන්නේ මතු පරම්පරාව ගැන සිතමින් බව ඔහු ඉන් පසක් කරගෙන සිටී.
“මම පැල 20 ක් සිටුවීමෙන් ආරම්භ කළ වෑයම දැන් නිව්යෝර්ක්හි මධ්‍යම උද්‍යානයට වඩා දෙගුණයක් වන මොලායි රක්ෂිතය බව මම ආඩම්බරයෙන් ප්‍රකාශ කර සිටිමි” ඔහු ඔහුගේ අභිමානය ප්‍රකාශ කරන්නේ එලෙසය.
ඔහුගේ වනාන්තරයට මේ මොහොතේ ඇති භයානක අවධානම මූල්‍යමය වාසි තකා වනාන්තර විනාශ කරන මිනිසුන් වන අතර, ඇතැම් දුර්ලභ ශාක හා සත්වයන් ඔවුන්ගේ කෑදර ඇසට ගොදුරු වීමයි. ඔහු විශ්වාස කරන අන්දමට පෘථිවියේ ඇති සියලුම සතුන් එක සමාන ජීවි විශේෂයක් වන අතර ඉන් මිනිසුන් පමණක් ඇඳුම් අදින්නට, දැණුම සොයන්නට වෙයි. එවැනි මිනිසුන්ට නොතේරෙන දෙය නම් අරපිරිමැස්මෙන් හා සොබාදහමට ගරු කිරීම මගින් අපගේ පමණක් නොව මතු පරම්පරාවන්හිද පැවැත්ම තහවුරු වන බවයි.
ඔහුගේ පාරිසරික ක්‍රියාකාරිත්වය වෙනුවෙන් සහ සෑම දිනකම අඛණ්ඩව එක් ගසක් සිටුවීමේ උදාර කාර්යය වෙනුවෙන් ඔහුට ගෞරව දැක්වීම වෙනුවෙන් ඔහු තැනූ වනාන්තරය “මොලායි” වනාන්තරය ලෙස නම් කරන ලදී. ඔහු සිය කාර්යය කෙටියෙන් පැහැදිලි කරන්නේ මෙපරිද්දෙනි.

“1965 සිට 1970 දක්වා කාලය තුළ අප සතු සියළු දේ බ්‍රහ්මපුත්‍ර ගංගාව විසින් සෝදා හැරියා. කිලෝමීටර 10 ක පමණ සම්පූර්ණ ඛාදනයක් සිදු වූ අතර වියැලී ගොස් අප භූමිය කාන්තාරයක් බවටම පත් වූවා. මට මෙහි වනාන්තරයක් අවශ්‍ය වූ නිසා මම කුඩා බෝට්ටුවක් සකස් කොටගෙන එහි ගොස් පැළ සිටුවීමට පටන් ගත්තා. බොහෝ දෙනා මුලින් හිතුවේ මට පිස්සුයැයි කියා. “මගේ මේ කුඩා බෝට්ටුව මගේ විශාල වනාන්තරය තරම්ම පැරණි යි. මම තවමත් සෑම දිනකම එහි පැළ රැගෙන යමි. කුඩා දෙයකින්, කුඩා සිතුවිල්ලකින් විශාල යමක් කල හැකියි ”
-චින්තක සමන් හේරත් (fb)

Leave A Reply

Your email address will not be published.