නුවන් කුලසේකර මාධ්‍ය හමුවක් තබා ක්‍රිකට්වලින් සමුගනියි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් අනුව කලක් ලොව අංක 1 එක්දින පන්දු යවන්නා ලෙස පෙරමුණ ගෙන සිටි ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙකු වූ නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ බව පවසයි. ඔහු ඒ බව අනාවරණය කළේ, සිය සමුගැනීම නිවේදනය කිරීම සඳහා බදාදා (ජූලි 24) කොළඹ, කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

ගම්පහ, බණ්ඩාරනායක විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තැබූ නුවන් කුලසේකර, පසුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු යවන්නෙකු ලෙස වසර 14ක් පමණ ක්‍රීඩා කළේය.

ඔහු පාසල් දිවියෙන් පසුව කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට එක්ව ක්‍රීඩා කළ අතර ඉන්දියාවේ චෙන්නායි සුපර් කිංග්ස්, එංගලන්තයේ සසෙක්ස් ආදී කණ්ඩායම් ද නියෝජනය කරමින් දක්ෂතා දැක්වූවෙකි.

2003 වසරේ නොවැම්බර් 18 වන දා එංගලන්තය සමග පැවති එක්දින තරගයට ක්‍රීඩා කරමින් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියේය. ඔහු තමන් සහභාගි වූ එම පළමු තරගයේදී ම පන්දු වාර 9ක් යවමින් ලකුණු 19ක් පමණක් ලබා දී කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් විය. 2009 වසර වන විට නුවන් කුලසේකර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැඳී සිටියේය.

ඔහු සිය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වූයේ 2005 වසරේදී නවසීලන්තයට එරෙහිවය. 2014 වසරේදී සිය අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වූ නුවන් ටෙස්ට් තරග 21 කට ක්‍රීඩා කර තිබේ. 2008 වසරේදී සිය පළමු පන්දු වාර 20 තරගයට සහභාගි වූ ඔහු 2017 වසර වන තෙක් එම තරග 58කට ක්‍රීඩා කර තිබිණි.

Leave A Reply

Your email address will not be published.

fourteen + eight =