අනුන් වෙනුවෙන් කැපවෙන මිනිස්සු දුර්ලභයි

මිනිස් ආත්මයක් ලැබීම දුර්ලභයි. මිනිහෙක් වෙලා ඉපදුණ හැමෝම මනුෂ්‍යයොත් නෙවෙයි. මානුෂීය ගුණාංග නැත්නම් නිකන්ම නිකම් මිනිහෙක් විතරයි. ඉතින්, මිනිස්සු විදිහට ඉපදුණ අපි සමාජීය සත්ත්ව කොට්ඨාසයක්. ඒ කියන්නේ, තනියෙන් ජීවත්වෙන්න බැරි කොටසක්. තව කෙනකු නැතුව තනියම ජීවත් වෙන්න පුළුවන් පුංචිම පුංචි කාලයක් විතරයි. ආපහු මොහොතෙකින් තනිකම, පාළුව මකා ගන්න මොකක් හරි බැඳීමක් හොයනවා. මනුස්සයෙක් නැත්නම් සතෙක් එක්ක හරි කතා කරන්න හිතෙන තරම් අපි සමාජීයයි. ඒත්, ජීවිතේ නොයෙක් හැලහැප්පීම්, කඩාවැටීම්, ඉරිතැළීම් සිද්ධ වෙන්නෙත් බැඳීම්  හින්දමයි. ඒ හිත් රිදීම් නැති කරන්න ජීවිතේට ළං වෙන්නේ බැඳීමක් මයි.  අන්න ඒකයි කියන්නේ, බැඳිම් මහා පුදුමාකාරයි  කියලා.

සමාජීය  සත්ත්ව කොට්ඨාසයක් විදිහට ඉපදුණ අපි එකිනෙකාට උදවු කර ගන්න ඕනි. හැඟීම් ගනුදෙනු කරන්න ඕනි. නැති බැරි වෙලාවකට පිහිට වෙන්න ඕනි. අපි මිනිස්සුන්ට උදවු කරනවා. මහා ගොඩක් උදවු කරනවා. ඔබටත් ඒ වගේ උදවු ඕනි තරම් ලැබිලා ඇති. හැබැයි, අනුන්ගේ වැඩක් තමන්ගේම දෙයක් කියලා හිතලා අනුන්ට උදව්වක් කරන්න හැමෝටම බැහැ. එහෙම මිනිස්සු අතේ ඇඟිලි ගාණටත් වැඩිය අඩුයි. කොච්චර කාර්යබහුල කාලසටහනක වුණත්  අනෙකා වෙනුවෙන් පුංචි ම පුංචි කාලයක් වෙන් කරන මිනිස්සු ඇත්තටම පුදුමයි. තමන්ගේ ආදරණීයයන් මඟ නොහරින මිනිස්සු ඇත්තටම දුර්ලභයි. ජීවිත කාලෙටම එක්කෙනෙක් හරි මුණගැහිලා ඇති ඒ වගේ. වචනෙකින්වත් ස්තුතියක් බලාපොරොත්තු නොවී තමන්ගේ වැඩ ඔක්කොම අතපසු කරගෙන අනුන් වෙනුවෙන් කැප වුණු උදවිය .

වචනෙකින්වත් හිත රිද්දන්න එපා. ඒ මිනිස්සු නෙමෙයි, මිනිස් වෙස් ගත් දෙවිවරු. හිතේ පුංචිමවත් කහටක් නැතුව ආශීර්වාද කරන්නෙත්, සුබ පතන්නෙත් එහෙම මිනිස්සු විතරයි. එකම එක වචනයක් වැරදිලා කරපු උදවු සේරම අමතක කරන මිනිස්සු ඉන්න සමාජයක අනුන් වෙනුවෙන් කැපවෙන මිනිස්සු හරිම අඩුයි. සමාජීය සත්ත්ව කොට්ඨාසයක් විදිහට අපිටත් පුළුවන් නම්, එහෙම කැප වෙන්න, ඒ සතුට කිසිම දේකින් ලබා ගන්න බැරි වෙයි. තමන්ගේ නොවුණට කමක් නැහැ අනුන්ට උදවු කරන්න. පුංචිම පුංචි ස්තුතියක් වත් ආපිට බලාපොරොත්තු නොවී උදවු කරන්න. කැප වෙන්න. ඒ කෙනාගෙන් ම නැතත්, වෙන කෙනකුගෙන් හරි දවසක ඒ දේවල් නිසැකවම ලැබෙනවා. හැලහැප්පීම් මැද ගෙවෙන ජීවිත කතාවේ මට මුණගැහුණ එහෙව් දුර්ලභ මිනිස්සුන්ට උපහාරයක් වේවා !

චමෝදි පෙරේරා
Leave A Reply

Your email address will not be published.