ඉතින් අපි සිටුවරුද …?

ලාංකීය සමාජ පරිධියේ ඉස්ලාමිකයන් තරම් දැඩි විචාරයට, පීඩාවට පත් වෙනත් ජනවර්ගයක් නොමැති තරම්ය. අප එලෙස කියනුයේ, එදා මෙදාතුර මුස්ලිම් ජනයාට එරෙහි මතවාද සැඟව හොල්මන් කළ ද, වඩා ප්‍රබලව ඉස්මතු වූයේ සහරාන්ගේ මරාගෙන මැරුණු බෝම්බය තුළිනි.

සැමදාම මුස්ලිම්වරුන් සමාජය තුළ නිහඩව විසූ පිරිසකි. විශාල කර්මාන්ත අයිතිකරුවන් මෙන්ම පේව්මන්ට් වෙළෙන්දෝ, සංචාරක වෙළෙන්දෝ සිය සුපුරුදු කාර්යභාරයේ නිරත වූවා මිස තමා අවට වන වෙනස්කම් කිසි දිනක තේරුම් නොගත්හ. සාමාන්‍ය මුස්ලිම් ජනයා ආර්ථීක ගොහොරුවේ ලගිමින්, ඉන් එහාට ඔවුන්ගේ මුනිවත එලෙසින්ම පවත්වාගෙන ගිය වග සඳහන් කළ යුතු වේ. කවුරු කෙලෙස කීව ද, මුස්ලිම්වරුන් ජීවත් වන නගරවල සිකුරාදා දිනයන්හි වීදි බසින අනාථයන් (මුකාබර්, මිස්කින්වරු) දහස් ගණනකි. ඔවුහු පල්ලිය අසල දෑත් විදහා ඔඛෙන් ඉල්ලන්නේ ජීවත් වීමට සුළු මුදලකි. ඉතින් අප සිටුවරුන් ද?

වසර තිහ හතළිහක කාලයක සිට තම ජීවිතය වටා කැරැකෙමින් එදිනෙදා මුහුණ දෙන ගැටලූ කෙරෙන් පමණක් විසැඳුම් සෙවූ මෙම ජනී ජනයා ආගමික කටයුතු කෙරේ ද දැඩි උනන්දුවක් දැක්වූහ. කාන්තාව නිවසට වී වැඩි කාලයක් දරු පවුල් හා දිවි ගෙව්වා මිස ජන කොටස් තුළ දිවි ගෙවන කාන්තාවන් මුහුණ දෙන සියලූ ම ප්‍රශ්න මොවුනට ද එක සේ බලපාන්නේය.

මුස්ලිම් කාන්තාව හා සමාජය

මුස්ලිම් ගැහැනු දරුවන් වැඩි දුර ඉගෙනීමට රුචිකත්වයක් දක්වන අතර, ඉතා සුළු පිරිසක් ඉහළ අධ්‍යාපනයේ නිරත වන්නෝය. පවුල් පසුබිම්වල ආකල්ප ඇසුරේ, බොහෝ ගැහැනු දරුවන් අඩු වයසේ දී ම විවාහ ජීවිතවලට තල්ලූ කර දැමීම සුලබ දසුනකි. ගැහැනු දරුවන් පවුලට බරක් යැයි සිතුව ද, එම පවුලේ ආර්ථීක බර උසුලන්නෝ ද ඔවුහු වෙති. තොටිල්ල පදවන අත රට ආණ්ඩු කළ හැකි යැයි කතාවක් තිබුණ ද, මුස්ලිම් කාන්තාවන් බොහොමයකට දේශපාලනය කිරීමේ කිසිදු වුවමනාවක් නැත. මෙහි දී ගැටවරයන්ට ඉහළ අධ්‍යාපනයක් ලබා ගැනීමේ කිසිදු පිපාසයක් නොමැත්තේය. එබැවින්, ලාංකීය මුස්ලිම් ජන සමාජය එක ම තැන ගල් වී සිටිති.

කරුණු මෙසේ වුවත්, බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු වසර හැත්තෑවක්, හැත්තෑඑකක් අප රට පැවැති හා පැවැතෙන දේශපාලන, සමාජ, ආර්ථීක බලවේග මුස්ලිම් ජන සමාජයට බලපාන්නේ කෙසේ ද? අඩු-වැඩි වශයෙන් ප්‍රධාන දේශපාලන ධාරාවට අයත් වන සෑම මුස්ලිම්වරයකු ද, අලූත උපන් දරුවකු ද රටේ ණය බරට අතගැසිය යුතුය. බදු බරින් ද ඔවුන් කරවටක් ගිලී ගොසිනිි. එක් පැත්තකින් සම අවස්ථා අහිමි වීම, නීතියේ සාධාරණත්වය, රැකියා ඇතුළු බොහෝ වරප්‍රසාද ඔවුනට ද අහිමිය. නමුත්, මෙහි සංවිධානය විය යුත්තේ, පොදු එකඟතාවලටය. එහෙත්, වරප්‍රසාද ලබන දේශපාලූවන්ට කිසිදු අන්තවාදයක්, ජාතිවාදයක් නොමැති බව සිදු වෙමින් පවතින ව්‍යසනවල දී වඩාත් තහවුරු වේ. එබැවින්, කල් යල් බලන දේශපාලූවන් සුළු ජනයා කෙරේ දක්වන හතුරු ආකල්ප ඔටුනු මත තබා සිය රජ පුටුව සුරක‍ෂා කිරීමට දරන වෑයම දැන්වත් අපි තේරුම්ගත යුතු නේ ද? විවිධ වරදාන ලබමින් සිටින ආගමික නායකයන්ට අනුව රටේ සෞඛ්‍ය ප්‍රශ්න, රටේ බදු බර, ණය බර වැඩි වුණේ මුසල්මානුවන් නිසාය. එපමණක් නොව රටේ ආදායම උදුරා ගනු ලබන්නේ ද මුසල්මානුවන්ය. පාසල් ප්‍රශ්න, රටේ සම්පත් විකිණීම, ජනගහනය, ආහාර ගැටලූ, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, ආගමික විශ්වාස සියල්ලේම මූල මණ්ඩලය මෙරට වෙසෙන මුසල්මානුවන්ය. මෙම මතවාදය රට පුරා විසුරුවා හැර ඉන් ලබන මානසික තෘප්තිය වෙනම කතාවකි.

සමාජාවබෝධය හා ජාතිවාදය

සමාන අයිතීන් නොමැතිකම තුළ වුව ද, මොවුන්ගේ (මුස්ලිම්වරුන්ගේ) දේශපාලන අවබෝධයේ තරම නම්, සතුටුදායක නොවේ. නැගෙනහිර මෙන් ම මුස්ලිම් ජන පදනමක් ඇති ස්ථානවල ජාතිකත්වය මෙන්ම ආගමික බව ලකුණු කරමින්, විවිධ දේශපාලන පක්ෂ පිහිටුවාගෙන ඇත. මෙහි දී උඩරට දමිළ, උතුරු ජනයා මෙන්ම සිංහල ජාතිකත්වය බෞද්ධ ආගම ඉස්මතු කරගෙන පක්ෂ පිහිටුවා ඇත. එවැන්නක් බිහි වුණේ මෙරට දේශපාලන පක්ෂ බිහි වූ ක්‍රමවේදයට සමගාමීවය. ලාංකීය ධනේශ්වර දේශපාලන ව්‍යුහයේ ඉහළ නායකත්වයට සියලූ වරප්‍රසාද ලැබුණ ද, පහළ සාමාජිකත්වයේ ඉරණම ඛේදජනක යැයි නොකියන්නේ මන්දබුද්ධිකයන් පමණි.

ජාතිවාදය මෙන්ම අන්තවාදය කරා මෙරට මුස්ලිම් ජනයා ගොදුරු වීමේ ප්‍රවණතාවක් මේ අතර ඇති වීම වැළැක්විය නොහැකිය. සෙසු සමාජය හා සමඟි වීම, සංවාදශීලී වීම, සංහිඳියාව වෙනුවෙන් වැඩ කරන අවංක වුවමනාව රජය මඟහැර ඇත. මහ ජාතිය සිය හීනමානය ප්‍රදර්ශනය කිරීමේ දී ආගමික නායකයන් මුල්කරගෙන විවිධ ව්‍යාපෘති ඇති කළ ද, විශාල පිරිසක් ඒවා කෙරේ දක්වන්නේ නිහැ`ඩියාවකි. එය පරිණතය. ලාංකීය ජනයාගේ ප්‍රඥාවන්තභාවය මෙහිලා ස්තුතිපූර්වකව සිහිපත් කළ යුතුය.

1958 වසරවල මෙරට දේශපාලනයේ භික‍ෂුන් වහන්සේලා සිංහල පෙරටු කොට ගෙන ගිය ව්‍යාපාර නැවත මෙනෙහි කළ යුතුය. ඔවුන්ගේ ආධිපත්‍යය රටේ ප්‍රගතියට යොමු කරනවා වෙනුවට දේශපාලනය තුළ වූ මහා අර්බුදය කෙළවර වූයේ කෙසේ ද? අද එය නැවත පාඩමක් කොට අප අධ්‍යයනය කළ යුතු නොවේ ද? ඒ කිසිවකින් රටේ සිදු වන අයහපත් දේ, විදේශ ගිවිසුම් ගැන ජාතිවාදීහු මැදිහත් නොවෙති.

සමාජ වගකීම

මුස්ලිම් ජන සමාජයට ඉතින් වගකීම්වලින් නිදහස් විය නොහැකිය. පසුගිය පාර්ලිමේන්තුවේ දී මුස්ලිම් නායකයන් එකපොදියට සිය ධුරවලින් ඉල්ලා අස් වීමෙන් පසු මෙරට මුස්ලිම් ජනයාට සිදු වන්නේ එක්කෝ අන්තවාදය තුළට පල්ලම් බැසීමටය. මීට පෙර දමිළ දේශපාලන නායකයන් ද මෙම අන්තරාවට මුහුණ දීමෙන් උතුරේ සිදු වූ යුද්ධය පිළිබඳව අමුතුවෙන් මතක් කළ යුතු නැත. අප රටේ කි්‍රයාත්මක වන ජනාධිපති ක්‍රමවේදය රටේ ජාතිවාදී, අන්තවාදී පිරිස් ඇති කළ එකක් බව පසක් කරගත යුතුය. මේ තුළින් සුළු ජාතිකත්වයන් අත්විඳි ව්‍යසනයන් නොදැනෙන්නේ ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනව බලලෝභීන්ටය. එබැවින්, විස්ස සංශෝධනය තවමත් කළ හැකි දෙයකි. මුස්ලිම් දේශපාලකයෝ මෙන්ම විද්වත්හු ද ජනාධිපති ක්‍රමය වෙනස් විය යුතු බව පිළිගනිති. ඒ විධායක ජනාධිපති ක්‍රමය මඟින් වාර්ගික මෙන්ම විවිධාකාර අර්බුදවලට පාර කැපෙන බැවිනි.

ළඟ එන මැතිවරණයේ දී ලාංකීය මුස්ලිම් ඡන්දදායිකාවන්ගේ හැසිරීම තීරණාත්මක සාධකයකි. නිද්‍රාවේ හුන් ජනයා අඩු ම වශයෙන් අවදි වීම පවා ප්‍රගතිශීලී ලක‍ෂණයකි. පැනනැඟී ඇති ජාතීන් අතර වෛරය, ගැටුම සංසිඳුවීමට වසර හැත්තෑවක් අප පාලනය කළ පක්ෂවලට හැකි වේවි ද? විවිධ ජන කොටස් වෙසෙන අප රටේ සිදු වන ව්‍යසනවල දී අනාගතය දෙස දූරදර්ශීව බැලීමට මුස්ලිම්වරුන් යළි යළිත් හැරී බැලිය යුතුය. වරද ඇත්තේ ද අප අතරය. මෙම මඩ වළේ, පල් නොවී දෙපයින් නැඟීසිටිය යුත්තේ, ලාංකීය අනාගතය මෙන් ම අපගේ අනාගතය වෙනුවෙනි. පවතින දේශපාලන පසුබිමට කිසිදු ගැටුමක් නිරාකරණය කර ගත නොහැකිය.

විකල්පයක් වෙත

මේ ක්‍රමවේදය හැර වෙනත් සමාජ ක්‍රම නොතිබේ ද? ඉතින්, පිළිතුර නම්, තිබේය යන්නය.

සෑම කල්හිම රට දුෂ්කරතාවකට මුහුණ දෙද්දී, ජනයා වෙනුවෙන් අභීතව නැඟීසිට නිවැරැදි තීන්දු තීරණ ලබා දුන් අය ඔබට මතක ද? ඛෙදුම්වාදයේ වුවමනාවට උතුරු, නැෙඟනහිර පළාත් එක් කිරීමට ඉඩ නොදී ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඒවා පළාත් දෙකක් ලෙස තබා ගැනීම වෙනුවෙන් පෙනී සිටි පිරිසක් නොසිටියේ ද?

රටේ ගොවි, කම්කරු, ගුරු, ශිෂ්‍ය, ධීවර අරගලවල දී සාධාරණත්වය, යුක්තිය වෙනුවෙන් පෙනී සිට එම අයිතීන් ජනයාට අත්කර දීමේ සහ වාර්ගික ගැටුම්වල දී අසාධාරණයන්ට එරෙහි වීමේ දී තමන්ට කෙතරම් අවාසියක් සිදු වුවත්, ඒවා නොතකා ඇප-කැප වූ පක‍ෂයක් වූයේ නම්, ඒ ජනතා විමුක්ති පෙරමුණයි. සෑම සමාජ ගැටලූවක දී ම ජනතා විමුක්ති පෙරමුණ මහජනයාගේ පැත්තේ සිටිමින්, කටයුතු කළ බව පැහැදිලිය. රටක සංවර්ධනය ළඟා කර ගත හැක්කේ රට තුළ වෙසෙන ජනයාගේ අයිතීන් තහවුරු කරමින්, අනාගත සැලසුම් සහිතව ඉදිරි පියවර ගැනීම තුළය. මේ මොහොතේ අප ජනතාව සමඟ එකතු වෙමින්, සැබෑ සහෝදරත්වය තහවුරු කරමින්, අප රට මේ ව්‍යසනයෙන් බේරාගත යුතුය. ඉදිරි මැතිවරණයක දී විකල්ප, ප්‍රගතිශීලී, විද්වත් දේශපාලන පුළුල් පෙරමුණක දී අනිවාර්යයෙන් ම මුස්ලිම් ජන සමාජය සිය අනාගතය වෙනුවෙන් එකතු විය යුතුය.

ඒ. එස්. බෙගම්

Leave A Reply

Your email address will not be published.

five × two =