ආණ්ඩුවේ අසමත්කම කුණු ප්‍රශ්නයෙන්ම පේනවා – ජවිපෙ කියයි

සායනික අපද්‍රව්‍ය තොගයක් ලංකාවට ආනයනය කිරීම ගැන පහුගිය ආණ්ඩුවට චෝදනා කර ඇග බේරා ගැනීමට මේ ආණ්ඩුවට හැකියාවක් නැති බවත් මේ පිළිබඳ පරිසර ඇමතිවරයා සෘජුවම වගකිව යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. නිවසින් කුණු බෑග් එකක් එළියට විසි කළත් නීතිය ක්‍රියාත්මක කරද්දී කුණු කන්ටේනර් ගණන් ගෙන්වන්නන්ට නීතිය ක්‍රියාත්මක කළ නොහැකි වී ඇත්තේ ආණ්ඩුවේ අසමත්කම නිසා බවත් ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සඳහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මන්ත්‍රිවරයා මේසේද පැවසීය.

”මේ වනවිට කුණු කන්ටේනර් තොගයක් පිළිබඳව රටේ මහත් ආන්දෝලනයක් මතුවෙලා තිබෙනවා. සායනික අපද්‍රව්‍ය ප‍්‍රමාණයක් කටුනායක අංගනයේ තිබී හසුවීමත් එම අපද්‍රව්‍ය කාලයක් තිස්සේ පරිසරයට නිරාවරණය වීම නිසාත් විශාල ගැටලුවක් මතුවෙලා තිබෙනවා. පරිසර ප‍්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. මෙවැනි වර්ගයේ කුණු ලංකාවට ගෙන ඒමට ඉවහල් වුණු කි‍්‍රයාවලියක් තිබෙනවා. 2012 මාර්තු 30වැනිදා අපේ රටේ මුදල් පනත සංශෝධනය වුණා. ඇතැම් භාණ්ඩ ආනයනය කිරීමේදී රේගු ආඥා පනත, විනිමය පනත සහ ආනයන අපනයන පනත බල නොපැවැත්වෙන පරිදි ඒ මොහොතේදී මුදල් පනත සංශෝධනයට ලක් වුණා. මුදල් පනත සංශෝධනය වීමෙන් පසුව 2013 ජූලි මස 07වැනිදා ඒ සම්බන්ධ ගැසට් පත‍්‍රය නිකුත් වුණා. ඒ මගින් ආනයන අපනයනවලදී බලපාන විශේෂ කේන්ද්‍රස්ථාන කිහිපයක් නම් කොට තිබෙනවා. ඒ වගේම මෙම ස්ථාන දෙපාර්තමේන්තු නියෝග මගින්ද තහවුරු කරනු ලැබ තියෙනවා. ඒ අනුව කොළඹ සහ හම්බන්තොට වරාය නිදහස් වරායන් ලෙස නම්කොට තිබෙන අතර කොග්ගල, කටුනායක නිදහස් අපනයන සැකසුම් කලාප බන්ධිත කලාප ලෙස නම්කොට තිබෙනවා. ඒ වගේම මත්තල ගුවන්තොටුපොළත් මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයත් විශේෂ බන්ධිත කලාප ලෙස නම්කොට තිබෙනවා.

මෙම කලාපවලදී ආනයනය භාණ්ඩ බදුවලින් නිදහස් වෙනවා. ඒ අනුව තමයි මෙම අපද්‍රව්‍ය සහිත කන්ටේනර් ලංකාවට ගෙන එන්නේ. කන්ටේනර් 220කට අධික ප‍්‍රමාණයක් හමුවී තිබියදී ගෙන්නපු අය හොයාගන්න බැහැ කියලා මුලින් ප‍්‍රකාශ වුණා. මෙම ගනුදෙනුවට සම්බන්ධ හේලීස් ෆී‍්‍ර සෝන් පුද්ගලික සමාගම නිවේදනයක් මගින් ප‍්‍රතික්‍ෂේප කොට තිබුණත් මෙම භාණ්ඩ ගෙන්වූයේ එම ආයතනය බව පැහැදිලිව ඔප්පු වෙලා තිබෙනවා. ලන්ඩන් සිට ගෙන්වන ලද මෙම අපද්‍රව්‍ය අඩි 20×40 බහාලුම්වල ගෙනවිත් තිබෙන බවවත් ඒ අතර භාවිත කරන ලද මෙට්ට අඩංගු බවත් රේගු විස්තරවල සඳහන් වෙනවා. ඒ වගේම ආයෝජන මණ්ඩලයේ නිවේදනය මගින්ද “හේලීස්” ෆී‍්‍ර සෝන් පුද්ගලික සමාගමට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බවද සඳහන් කොට තිබෙනවා.

මෙම කුණු තොගය ගෙන්වන්නේ 2017දීයි. නමුත් රේගුවට, පරිසර අධිකාරියට මේවා අත්අඩංගුව ගන්න බැරිවෙනවා. මීට සති දෙකකට ඉහතදී තමයි මේවා සොයාගෙන තිබෙන්නේ. ඒක බරපතළ ප‍්‍රශ්නයක්. මේ ආකාරයට අපේ රටට ඕනෑම කුණු ගොඩක් ගේන්න පුළුවන්. අපේ රටේ ආණ්ඩු මගින් පනත් ගැසට් හදලා සම්මත කරලා දීලා තිබෙනවා. සිංගප්පූරු ගිවිසුම මගින් මේ නීතිමය තත්වය තවත් තහවුරු වෙනවා. එම ගිවිසුමේ පැහැදිලිව සඳහන් වෙනවා අපද්‍රව්‍ය ගේන්න පුළුවන් කියලා. අපේ රට කුණු හබ් එකක් කරන්නයි මේ හදන්නේ. රටකින් රටකට කුණු ආනයනය අපනයනය කිරීම ලේසි කරුණක් නෙවෙයි. එම රටවල් දෙක අතර සම්මුතියක් තිබිය යුතුයි. මීට අවුරුදු 27කට පෙර ශී‍්‍ර ලංකාව අත්සන් කරපු බාසල් සම්මුතිය නම් සම්මුතියක් තිබෙනවා. එයින් ලංකාවට කුණු ගේන එක තහනම් කළා. ඒ වගේම ප‍්‍රතිි අපනයනයත් තහනම්. කුණු ගේන්න නීති හදන ආණ්ඩුව බාසල් සම්මුතිය වැනි රටට හිතකර සම්මුතියක් නීතියක් කරන්න කිසිවක් කරන්නේ නැහැ. ඒ නිසා තමයි අද අපේ රටටට කුණු ගේන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඒක ලොකු අනතුරක්. ඒනිසා අපි ආණ්ඩුවට කියනවා, ගෙනත් තිබෙන කුණු කසළ තොගය ප‍්‍රතිඅපනයනය නොකර විනාශ කර දාන්න කටයුතු කරන්න කියලා. එය ජනතාවටත් පරිසරයටත් හානි නොවන ආකාරයෙන් සිදු කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු වෙනවා.”

Leave A Reply

Your email address will not be published.

four − one =