ආදරය කරන්න එපා කියන්නට, ඔබ කවුද? මම කවුද?

ජීවිතයේ එක්තරා කාලවකවානුවක දී ආත්මයම කර ගත් ගීතයක් ඊයේ හවස මට අහම්බෙන් අහන්නට ලැබුණ නිසා හද පාරනසුලු‍ පරණ මතකයකට ආයෙමත්  ඇදගෙන වැටුණා. ඒ මතකය අයිති වන්නේ දැළි රැවුල වැවෙන, මගේ ජීවිතේ හිරිමල්ම, යෞවන අවධියට. ඒ කාලයේ දී මං උසස් පෙළ සිංහල විෂයය වෙනුවෙන් ටියුෂන් ක්ලාස් ගියේ රොටරියේ වළේ පන්තියට. එම වළේ පන්තියේ ඉගෙන ගත්ත බහුතරයකගෙම වීරයා සහ පරමාදර්ශය වුණේ, අපේ සිංහල ගුරුවරයා වුණ උපුල් ශාන්ත සන්නස්ගලයි. සන්නස්ගල  සර්ගේ බැලු‍ම් මාත්‍රයක් පවා ලැබෙන එක සමහරක් ළමයින්ට මසුරන් දහසක මල්ලක් ලැබෙනවාට වඩා සතුටක් වුණා. ඒ වගේම රොටරියේම තිබුණු ලස්සනම, පරම පිවිතුරු ආල කතන්දර ලියවුණේත් මේ වළේ පන්තියේමයි. ඉන් සමහරක් ප්‍රේම කතන්දර මගේ ආදරණීය  මිතුරු මිතුරියන් කිහිප දෙනකු විසින් දුක්ගැහැට බොහොමයක් මැද තවමත් ලියමින් සිටිනවා. නමුත්, සමහරක් ප්‍රේම කතන්දර ලියන්නට එදා කවුරුත්ම අද ඉතිරි වී නැහැ.

ඈ හැමදාම වාඩි වී උන්නේ මං වාඩි වුණු බංකුවට වඩා තරමක් පිටුපසට වෙන්නට තිබිච්ච බංකුවකයි. ඇයට තිබුණා, අව්වට දිස්නේ දෙන නලදතක්. මේ ගැහැනු දැරිවියගේ අත් හා මුහුණ ඇත් දළ පාටයි. ඈට තිබුණේ මගේ හදවත දිය වී යන තරමට අහිංසක හැඟු‍මක් ඇති කරවනසුලු‍ ප්‍රසන්න සිනහවක්. ඒ තමයි මගේ හිරිමල් යෞවන වියේ පළමුවෙනි ආදර වස්තුව ! ඇය පළමුවරට දැකීමෙන් අනතුරුව සති කිහිපයකට පස්සේ ඈ කෙරෙහි මා තුළ උපන් උමතුව තවත් දෙගුණ තෙගුණ කරන්නට හේතුභූත වූයේ, මා සහභාගී වුණු භූගෝල විද්‍යාව ටියුෂන් පන්තියට ද ඈ අලු‍ත් ශිෂ්‍යාවක ලෙස පැමිණීමයි.

නමුත්, නොබෝ දිනකින්ම මගේ පෙම්වත් අදහස ඇයට පැවසුවත්, ඈ ඊට දැක්වූයේ යහපත් ප්‍රතිචාරයක් නම් නෙමෙයි. පන්ති අවසන් වීමෙන් අනතුරුව නුගේගොඩ බස් නැවතුම්පොළේ රස්තියාදු වෙමින්, ඈත් සමඟ මා පානදුර – නුගේගොඩ බස් රථයට ගොඩවෙන්නේ දෙහිවලින් බැසීමේ අදහසිනුයි. ඇගේ ගමනාන්තය වන්නේ රත්මලානේ, ගොළු මඩම හන්දියයි. නමුත්, මෙලෙස මා 183ට ගොඩවන්නේ නිවසට පහසුවෙන් ළඟා විය හැකි 176 දෙහිවල – හෙට්ටියාවත්ත බස්රථ ඕනෑ තරම් හයිලෙවල් මාර්ගයේ ඇදී යන වේලාවක දීයි. කෙසේ නමුත්, මාස එකහමාරක් තිස්සේ අනවරතව  සිදු කෙරුණු කන්කෙඳිරි ගෑම්, වධ කිරීම්වලින් අනතුරුව මේ ගැහැනු දැරිවිය තම දුරකථන අංකය ඇගේ මිතුරියක් හරහා මට ලබා දෙන්නට කටයුතු කළා. ඒත් දුරකථනයෙනුත් ඈ මගේ දහසක් කෙටි පණිවිඩවලට ප්‍රතිචාර දැක්වූයේ පන්තියේ දී මෙන් ඕනෑවට එපාවටයි. එපමණක් නොවෙයි, ඈ නිසා මං අනන්තවත් ලදබොළඳ මෝඩ වැඩ ගොන්නක්ම කෙරුවා.

නමුත්, කාලයක් යද්දී ඇගේ මේ කල්ක්‍රියාවන් මට වහකදුරු වෙන්නට පටන් ගත්තේ ඈ තව තවත් මට නපුරු වූ නිසයි. අප වෙන් වන දිනයේ දී (මතක හැටියට 2015 දෙසැම්බර් 21 වැනිදා) සුපුරුදු පරිදි 183 බස් රථයෙන් පානදුර දෙසට යන විට මං ඇගෙන් ඇසුවා, “‍ඔයා මට ආදරය කරනව ද?” ‍කියලා. නමුත්, ඈ කිසිම පිළිතුරක් ලබා දුන්නේ නෑ. මං රත්මලානටම යන තුරු බසයෙන් නොබසින්න තීරණය කෙරුවේ ඉන් පසුවයි. පෙර දා ඇත් දළ පාටින් පෙනුණත්, දැන් ඇල්මැරී තිබුණු  මුහුණ සහ ඇගේ බාහිර හැසිරීම දුටු විට ඇය මට ආදරය නොකරන බව පැහැදිලිවම වැටහුණා. මීට පෙරත් ඒ සත්‍යය මට වැටහී තිබුණත්, එය පිළිගන්නට මගේ සිත කැමැති වුණේ නැහැ. අවසන රත්මලාන ගුවන්තොටුපළ බස් නැවතුමෙන් මං පාරට අඩිය තිබ්බේ ජීවිතේ ප්‍රථම වතාවට ආදරයෙන් පරාජය වීමේ වේදනාව සිත්පුරා විඳිමිනුයි. මං එදා වෙන තුරු කවි ලිවීම ජීවිතේ දෛනික පුරුද්දක් කර ගත් අයෙක් නොවෙයි. නමුත්, එදා රාත්‍රියේ දී මං නින්දට යන්න කලියෙන් මගේ පුපුරු ගසන වේදනාව ගැන කවි පන්තියක් ලිව්වා. ඔව්. එදා සිට මේ මොහොත දක්වාම මං ලියමින් සිටිනවා.

කෙසේ නමුත්, ඊ ළඟ සඳුදා වළේ පන්තියට ඇවිදින් හුරුපුරුදු මගේ බංකුවේ වාඩි වූ විට මට දැකගන්නට ලැබුණේ, බංකු හතරක් පහක් ඉදිරියෙන් සිට, මා හා සැමදා බස් රථයේ ගිය ඒ (අ)පෙම්වතිය අගනුවර ප්‍රසිද්ධ පාසලක පිරිමි ළමයකු සමඟ කතාබහ කරමින් සිටින ආකාරයයි. මා පුදුමයෙන් පුදුමයට පත් වූයේ ඇය මීට පෙර කිසිම පිරිමි ළමයකු සමඟ මෙලෙස ළෙන්ගතුකමින් කතාබහ කරනවා දැක නොතිබුණු නිසයි. මට ඔහුගේ ශරීර ලක්ෂණ අද වන විට නිශ්චිතව මතක නැතිමුත්, ඔහුටත් ඇයට වාගේ ම ඇත් දළ පාට සමක් තිබුණු බවට පුංචි මතකයක් පමණක් තිබෙනවා.

ඒ කෙසේ හෝ වේවා අවසානයේ වළේ පන්තියේ ආදරණීයතම යුවළක් වීමට ඔවුනට ගත වූයේ කෙටිම කෙටි කාලයකි.

ඇගේ නික්ම යාමෙන් අනතුරුව එළැඹි සංක්‍රාන්ති සමයේ දීයි මට කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාපා ලියනගේව මුණගැහෙන්නේ. කසුන් කල්හාරගේ ළයාන්විත හඬට මගේ කන් කෙතරම් ආශා කළත්, ඉන්ද්‍රචාපාගේ ඒ නොහික්මුණු, හිතුවක්කාර, රස්තියාදු ස්වරයට දැක්වූ ළෙන්ගතුකමට එය දෙවැනි වුණා. ගායනය ඉදිරිපත් කිරීමේ දී මගේ සිත හොරා ගත් චාපාගේ ශරීර භාෂාව, ඔහුගේ ආවේගශීලිත්වය සහ චාපා ගයන්නා වූ වචන මගේ ජීවය නැවත පුබුදු කෙරුවා. චාපාගේ ගීත නිතර නිතර මට හමුවෙද්දී දුකේ ඇල්ම ගැල්ම පරම සුවයක් විදිහට මං හිතන්නට පුරුදු වුණා. ගිරා සන්දේශයේ කවි කට පාඩම් කරන එක නවත්තලා, මාකේස්ගේ ‘කොලරා කාලේ ආලේ’ පොත මං කියවන්න පටන් ගත්තේ ඔය කාලේදිමයි. මේ සුළු‍ සුළු‍ වෙනස් වීම් සමඟ ම මගේ දුරකථනයට කෙටි පණිවිඩයක් නොඑවන, පන්තියේ දී මූණවත් නොබලන ඇය ගැන මම වෙනස් විදිහකට හිතන්නට පටන් ගත්තා. සම්පූර්ණයෙන්ම එවැනි කෙනකු මගේ ජීවිතය තුළ දී මට හමු නොවුණු බව හිතන්නට, එලෙස වැඩ කටයුතු කරන්නට පුරුදු පුහුණු වුණා. නමුත්, හැමදාමත් නිරායාසයෙන්ම ඈ මං ලියන කවියට අකුර වුණා. අවසානයේ දී තණ පඳුරු වැවෙන මහා කළු ගලක් බවට මගේ ආදරය පරිවර්තනය වුණා.

මේ කාලයේ දී මා වැඩිපුරම ඇහුවේ චාපාගේ ‘රෝස පෙත්තේ’‍ නම් ගීතයයි. සාමාන්‍ය පුරුද්දක් විදිහට ඒ කාලවකවානුවේ දී මං දවසට විසි, තිස් වතාවක් විතර ඒ ගීතය ඇහුවා. ඉතාමත් අමිහිරි වේදනාවන් මිහිරියට පුබුදු කරන්නා වූ ඉලෙක්ට්‍රික් ගිටාර් නාදය සහ චාපාගේ ආවේගශීලීත්වයෙන් පිරිපුන් ආත්මීය කටහඬ තව තවත් මාව ඈ තුළ දිය කෙරෙව්වා. නමුත්, එයින් පැනනැඟුණ රිදුම ඈ මට හිමි වූවා නම්, ලැබෙන්නා වූ සතුටට වඩා හුඟාක් සුවදායී වුණා. සහජාශයෙන්ම රිද්දා ගැනීමෙන් උපදින්නා වූ වේදනාවෙන් ලබා ගන්නා ආස්වාදය පරමම සුවයක් බව ඒ ගීතය මට ඉගැන්නුවා.

සතුට අත්පත් කර ගැනීම වෙනුවෙන් නිරතුරුවම වැඩ කටයුතු කළත්, එය ලබා ගැනීම වෙනුවෙන් අප මනස අපගේ පාලනයට නතු කර ගත්තත්, විටෙක වේදනාව වඩා යහපත් යැයි සිතා අප විසින්ම එය තෝරා ගනු ලබනවා. එතැන දී අප ඉතාමත්ම අත්මාර්ථකාමී වෙන්න පුළුවන්. තමන්ට තමන් රිදවා ගැනීම, තමන්ට තමන් කායිකව හිංසා කර ගැනීම, එසේ තමන්ට පීඩා කර ගනිමින් අනික් අයව වේදනාවට පත් කරලීම කෙතරම් අගතිගාමී දේවල් වුවත්, මිනිසුන් ඉන් පුදුමාකාර ආස්වාදයක් ලබා ගන්නවා. එහි කෙළවර වන්නේ සිය දිවි නසා ගැනීම. අප දන්නවා මේ ඍණාත්මක සිතුවිලි අනිවාර්යයෙන්ම පාලනය කර ගත යුතු ඒවා බව. මේ තුළ ඇලීගැලී හිඳීමෙන් ඉදිරි අනාගතයේ දී ජීවිතයට හානියක් වන වග. ඒත් මිනිසුන්ගේ ජීවිතවලට සීමා මායිම් නිර්ණය කිරීමට සර්ව බලධාරි දෙවියන් වහන්සේට පවා පුළුවන් ද? ලෝකයම දැනගත් බුදු‍රදුන්ට පුළුවන් ද? මිනිසුන්ගේ ‘සතුටේ’ සීමාව ඇත්තේ කොතැනක සලකුණු වී ද? ඇත්තටම සතුට පිළිබඳව නිශ්චිත නිර්වචනයක් සොයාගෙන ඇත්තේ කවුරුන් ද?

මට මේ මොහොතේ දී මතක් වෙනවා මහ රෑ පැය ගණනක් තිස්සේ යට ඇඳුම පිටින්ම බිම වාඩි වී තමන් ආදරය කරන යුවතියගේ රාමු කළ පින්තූරය බලාගෙන රැය පහන් කෙරූ බෝඩිමේ එක්තරා මිතුරකුව. වසර පහක් තිස්සේ ඇයටම පමණක්ම ඔහු ආදරය කෙරුවත්, ඈ තවත් තරුණයකුගේ පෙම්වතිය වී මේ අද වන විට වසර හතක්.

ඒත් ඔබට, මට පහදන්න පුළුවන් ද ඔහු ඒ කරන්නේ මෝඩ වැඩක් බව ? එලෙස තීන්දු තීරණ ගන්න අප කවුරුන් ද?

ගිය අවුරුද්දේ අර මගේ නපුරු සුරංගනාවි සහ ඇයගේ ඇත් දළ පාට පෙම්වතාගෙන් වෙන් වුණු බව මට ආරංචි වුණා. දැන් කොහෙදෝ දුර ඈත පළාතක ගුරු විද්‍යාලයක ඒ ඇල්මැරුණු සුරංගනාවි ගුරුවරියක් වන්නට පුහුණුව ලබමින් සිටිනවා.

 

අයන්ත යුනේෂ් ප්‍රනාන්දු
Leave A Reply

Your email address will not be published.