කොදෙව් – ශ්‍රී ලංකා එක්දින තරඟාවලිය ගැන

එක්දින තරඟාවලිය ගැන කතා කරනවා නම්, කොදෙව්වන් මෙතෙක් ඔවුන් චිරප්‍රසිද්ධ වී සිටි තරඟ රටාවෙන් බැහැර වෙමින් වඩාත් සුපරීක්ෂාකාරී ආරම්භයකට අවතීර්ණ වී ඇති බැව් පැහැදිලි ව දක්නට ඇති අතර Evin Lewis , IPL වෙතින් ප්‍රතිකේෂ්ප වීම කොදෙව්වන් ලද ජයග්‍රහණයක් ලෙස ද දක්නට ඇත. නමුත් Lewis මෙයට වඩා තරමක් වේගවත් විය යුතු බව මගේ පෞද්ගලික අදහසයි. කොදෙව් නැංගුරම වන Shai Hope ඉනිම පුරා පිතිකරණයේ යෙදෙන විට Lewis තරමක් ප්‍රවේගකාරී විය යුතුව ඇත. නැතිනම් දෙවැනි තරඟයේදී මෙන්ම අනවශ්‍ය පීඩනයක් ඇතිවීම අනිවාර්ය වේ. මෙම තරඟාවලියේදි Lewis ගෙ මුඛ්‍ය අරමුණ කණ්ඩායම තුල ස්තාවර වීම වු බැවින් ඉදිරි තරඟ වලදි ඒ පිලිබඳව ඔහු බොහෝවිට වැඩි අවදානයක් දීමට ඉඩ ඇත. එවිට සැලකිය යුතු වේගයකින් දීර්ඝ ආරම්භයක් ලබාදීමට ඔවුන් කටයුතු කරනු ඇත.

Shai Hope එක්දින තරඟාවලියේදි අති සාර්ථක වුන නමුත් ඔහුව ටෙස්ට් තරඟ සඳහා නැවත කැඳවීමට හදිසි විය යුතු නොවේ. එය Hope මත අනවශ්‍ය පීඩනයක් ඇති කරවිය හැකි බැවින් හා, කඩුළු රකින්නා සහ ආරම්භක පිතිකරුවා යන කාර්‍ය්භාරයන් දෙකම සමඟ ඔහුගෙන් දීර්ඝ ඉනිම ද බලාපොරොත්තු වන බැවින් ඔහුට යම් විවේකයක් ද ලබා දියයුතුව ඇති බව මගේ හැඟීමයි . Darren Bravo නැවත ලකුණු අතර ට පැමිණීම කොදෙව්වන් මෙම තරඟාවලියේ දි ලැබූ ඊලඟ වැදගත් ම ජයග්‍රහණයයි. Bravo යනු අති දීර්ඝ ඉනිම් ක්‍රීඩා කිරීමේ හැකියාව සහිත Lara මොඩලයේ ක්‍රීඩකයෙක් බැවින් ඔහු ලකුණු අතරට පැමිණීම ඉතා සුභ ලකුණකි.
Pollard ගෙ නායකත්වය දුර්වල වූ සීමිත අවස්තා කිහිපයක් අතරින් පතර දැකිය හැකි නමුත් කාලාන්තරයක් පුරාවට එනම් Richie Richardson ගෙ මුල් අවධියෙන් පසු වසර ගණනාවක් පුරාවට කොදෙව්වන් බලා සිටි තමන්ගෙ ආක්‍රමණශීලී නායකයා ඔවුනට නැවත හමුවීම අති විශිෂ්ඨ කරුණකි. වර්තමාන ක්‍රිකට් ලෝකයට ගැලපෙනුයේ ගින්දරටත් අයිස් වලින් උත්තර දෙන Holder මොඩලය නොව ගේම නම් ගේම ඉල්ලන Pollard මොඩලයයි. 2020 ඉන්දියානු සංචාරයේදී ද මෙය මා වරක් ප්‍රකාශ කර ඇත. තමන් ගෙ නායකයා වීරයකු විය යුතු වන්නේ තමන් ට මිස ප්‍රතිවාදී කණ්ඩායම නොවෙය. එමනිසා තරඟ ය ජයග්‍රහණය සඳහා තමන් ගෙ උණ්ඩුක පුච්ඡ්යෙන්ම ඉදිරිපත් වන නායකයකු අවසානයේ දි හෝ කොදෙව්වන් ට හමුවීම ද ජයග්‍රහණය කි.
ඊලඟ වැදගත් ම කරුණ වන්නේ Jason Mohammed ගෙ පන්දු යැවීමයි. පසුගිය බංගලාදේශ සංචාරයේදී ජේශ්ඨ ක්‍රීඩකයන් සියල්ලම නොමැති වීමෙන් කොදෙව් සීමිත පන්දු වාර කණ්ඩායම මෙහෙයවීමේ වඟකීම පැවරුණු Mohammed එයට පෙර ජාතික කණ්ඩායම නියෝජනය කර තිබුනේ වසර කිහිපයකට පෙරාතුව දීය. එම සංචාරයේදී පිත්තෙන් සැලකිය යුතු යමක් කිරීමට Mohammed අසමත් වුවද එම තරඟාවලියේදි කොදෙව් ප්‍රදාන දඟ පන්දු යවන්නා වූ Akheal Hussain ට ඉතා විශාල සහයෝගයක් ලබා දෙමින් සිදුකල සාර්ථක පන්දු යැවීම සියුම් නිරීක්ෂකයකුට බොහෝ දේ සිතවන සුලු විය. ඉන් පසුව එළඹුණු CG super 50 තරඟාවලියේ දි Evin Lewis , Lendle Simmons , Darren Bravo , Nicolos Pooran , Kieron Pollard යන ජාතික කණ්ඩායම නියෝජනය කරන සුපිරි පිතිකරුවන් රැසකින් සමන්විත Trinidad Red Force කණ්ඩායම නියොජනය කරමින් ක්‍රීඩා කල ඔහුට තරඟාවලියේ වැඩිම ලකුණු රැස්කල ක්‍රීඩකයා බවට පත්වීමට හැකිවිය . එපමණක් නොව Sunil Narine , Akheal Hussain, Kharry Pierre, Imran Khan වැනි කොදෙව් දේශයේ සුපතල දඟපන්දු රැසකගෙන් සමන්විත වූ එම කණ්ඩායමේ දඟපන්දු යවන්නකු ලෙස ක්‍රිඩා කරමින් අති සාර්ථක පන්දු යැවීමක නිරතවීමට ද ඔහු සමත් වන්නෙ, ජාතික කණ්ඩායම ට ඔහුව නොකැඳවා බැරි තත්ත්වයක් ඇති කරමිනි. පිතිකරුවකු ලෙස සාර්ථක වීමට එතරම් අවස්තා වක් නොලැබුනද එහිදී නැවත වරක් පන්දු යවන්නකු ලෙස Mohammed අති සාර්ථක වන්නේ , තරගාවලියේ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා බවට පත්වීමෙන් පමණක් නොව, කොදෙව් පන්දු කරණයේ මැදි ඕවර සඳහා අවශ්‍ය වූ ස්තාවරත්වය ද ඇති කරමිනි.

Jason Mohammed තරඟ වදින්නේ පසුගිය කාලයේ Roastan Chase ක්‍රීඩා කල ස්තානය සඳහා ය. Roastan Chase එක්දින කණ්ඩායම ට කැඳවන්නේ 2019 ලෝක කුසලානයෙන් පසුව වන අතර ඔහු ව එහිදී කණ්ඩායමේ දඟ පන්දු යවන්නා ලෙසට මෙන්ම අංක 3 ක්‍රීඩකයා ලෙසද අත් හදා බලන අතරම ඒ සඳහා ප්‍රමාණවත් අවස්තා ප්‍රමාණයක් ඔහුට නොලැබෙන්නේ කොරෝනා තත්ත්වය හේතුවෙන් තරඟාවලි කිහිපයක් ම නොපැවැත්වීම ද හේතුවෙනි. ලද අවස්තා කිහිපයකදි තමන් ව තෝරා ගැනීම සාධාරණීකරණය කිරීමට ප්‍රමාණවත් දක්ශතා ඔහු දැක්වූ බවද සිහිපත් කල යුතුය . කෙසේ වෙතත් Chase යනු Holder ප්‍රමුඛ Barbados පාර්ශ්වයේ ක්‍රීඩකයකු වන අතර Mohammed , Pollard ප්‍රමුඛ Trinidad පාර්ශ්වයේ ක්‍රීඩකයෙකි. එමෙන්ම Shai Hope හා Darren Bravo යන දෙපළ ම කණ්ඩායම තුල ස්තාවර වීම තුලින් මොවුන් දෙපළ ටම කණ්ඩායමේ එකවර අවස්තාවක් කිසිවිටක නොලැබේ. ඒ අනුව මෑත කාලින දක්ශතා අනුව Jason Mohammed ඉදිරියෙන් සිටින බැවින් Chase ට තම ස්තානය අහිමි වන බව පැහැදිලි වේ. නමුත් පිතිකරුවකු ලෙස Chase වඩා අනර්ඝ ඉනිම කිහිපයක් test තරඟවලදි ක්‍රීඩා කර ඇති බැවින් Chase වඩා ප්‍රබල පිතිකරුවකු බව අමතක කල යුතු නොවේ.

ඊළඟට අප කොදෙව් දේශයෙන් බිහිවීමට නියමිත ඊලඟ අසහාය පිතිකරු ලෙස හැඳින්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීමෙන් මෙවර තරඟාවලිය අහිමි වූ Shimron Hetmyer ගැන ද කතා කලයුතුව ඇත. විවිධ පෞද්ගලික හේතුන් මත Hetmyer එතරම් හොඳින් වර්තමානයේ ක්‍රීඩා නොකළද, ඔහු එසේ පහසුවෙන් බැහැර කල හැකි ක්‍රීඩකයකු නොවන බව ඔහු මෙන්ම කොදෙව් පාලක මණ්ඩලය ද ඉතා හොඳින් දනියි. මෙම ඉවත් කිරීම තමන් ගේ අනාගත බලාපොරොත්තු ව රැකගැනීම සඳහා අතිශය සද්භාවයෙන් ම සිදු කරන ලද ක්‍රියාවක් බව ඉතා පැහැදිලි ය. එමනිසා යම් මොහොතක නැවත ඔහුටද කැඳවීම ලැබෙනු ඇත. T20I සඳහා පමණක් ක්‍රීඩා කරන බව කියන Lendle Simmons ද ඉදිරියේදී එක්දින තරඟ සඳහා කැමැත්ත පල කිරීමට ඉඩ ඇත. එවැනි බලාපොරොත්තව ක් නොමැති නම් ඔහු Super 50 තරඟාවලිය ට ක්‍රීඩා කිරීමට හේතුවක් නැත. මේ අනුව සැලකූ වීට කොදෙව්වන් ගෙ පිතිකරණ නාමාවලිය සඳහා සැලකිය යුතු තරඟයක් නිර්මාණය වෙමින් පවතින අතර එය සෑම අතින් ම ඔවුනට හිතකර තත්වයකි.

Jason Holder තමන් ගෙ කඩුල්ලට වැඩි වටිනාකම ක් ලබා දීමට උත්සාහ කරන ආකාරය මෙන්ම Fabian Allan ක්‍රම ක්‍රමයෙන් තමන්ගෙ ස්තානය තහවුරු කර ගනිමින් සිටින බවද දක්නට තිබුණි. මා කලින් ද ප්‍රකාශ කර ඇති පරිදි Andre Russell පන්නයේ බිහිසුණු ප්‍රහාරකයකු Fabian Allan වෙතින් නිර්මාණය වෙමින් පවතින බවද පෙනෙන්නට ඇත . නමුත් මේ සියල්ල ශ්‍රී ලංකා පන්දු යවන්නන් ට එරෙහිව කොදෙව් තණතිලි වල සිදුවන බැවින් මේවා පිලිබඳව අති විශාල වශයෙන් දැන්ම කොදෙව්වන් උද්දාමයට පත් නොවිය යුතු බව මගේ හැඟීමයි .
පිතිකරණය එලෙස ස්තාවර වෙමින් පැවතියද කොදෙව් පන්දු කරනයේ සැලකිය යුතු වර්ධනයක් සිදුවී ඇත්දැයි තවමත් සැක සහිතය. Hussain , Mohammed හා Allan මැදි පන්දු වාර සාර්ථක ව යොමු කරනු ලැබූවේ ඇත්තටම ඔවුන්ගේ දක්ශතාවය මත ද නැත්නම් ශ්‍රී ලාංකික පිතිකරුවන් ගෙ දුර්වලතාවය මත ද යන්න ඒතරම් පැහැදිලි නැත. Holder ඇතැම් තරඟ වලදී හොඳින් පන්දු යැවීම සිදුකලද ඔහු තවමත් සීමිත පන්දු වාර තරඟ වලදී විශ්වාසය තැබිය හැකි පන්දු යවන්නකු බවට පත්වී නැත. ඔහු කණ්ඩායමේ ඉහල අංකයක පන්දුවට පහරදෙමින් (අංක 3,4,5 වැනි) පිතිකරණයෙන් වැඩි දායකත්වයක් නොදෙන්නෙ නම් ඔහුගේ ස්තානය ස්තිර නැති බව තේරුම් ගත යුතුය . T20 මෙන් නොව එක්දින තරඟ යනු විශේෂඥයන් ගේ තරඟයකි. අර්ධ පන්දු යවන්නන් හා අර්ධ පිතිකරුවන් ට එහි ඇත්තේ අඩු අවස්තාවකි. Allan තේරුම් ගනිමින් සිටින්නේ එයයි. Brathwaitte , Sammy ප්‍රතිකේෂ්ප වීමට මෙන්ම Bravo මෙන්ම Russell ද එක්දින තරඟ වලින් ඉවත් වීමට හේතුවද එය වේ. මෙය Roastan Chase ද වහ වහා ඉගෙන ගත යුතු කරුණකි .

Jason Mohammed ට අමතරව Akheal Hussain ගෙ සාර්ථක පන්දු යැවීම් වලට අමතරව පන්දු යවන්නන් ගෙ පැත්තෙන් කොදෙව්වන් ට සිදුවූ ලොකුම වාසිය Alzarri Joseph දැන් දැන් නිවැරදි රිද්මය හඳුනාගනිමින් සිටීමයි. කොදෙව්වන් ක්‍රිකට් පිටියේ සාර්ථක වීමට නම් Joseph ලොව භීතියට පත් කරන ඊලඟ පන්දු යවන්නා විය යුතුව ඇති බව අප ප්‍රකාශ කරන්නට යෙදුනේ මීට වසර දෙකකට පමණ පෙරාතුව වේ. නමුත් මේ වනවිට කොදෙව්වන් ට වේගවත් වේග පන්දු බල ඇණියක අවශ්‍යතාවය ඇති වෙමින් පවතියි . ඒ සඳහා නායකත්වය දීමට Joseph සූදානම් බව පෙන්නුම් කරමින් පැවතීම සතුටු විය හැකි තත්වයකි. යම් පහර දීමකට ලක් වුවද Anderson Philip ද අනාගතය සඳහා ඉස්තරම් ආයෝජනයක් බව පෙන්නුම් කිරීමට සමත් විය. Chemar Holder ද ඒ සඳහා උරගා බැලිය හැකි ක්‍රීඩකයෙකි. එල්ලයක් නැති Oshane Thomas, අවසන් පන්දු වාර වලදි අති අසාර්ථක Sheldon Cottrell සහ මන්දගාමී Keemo Paul මෙන්ම Romario Sheperd , Raymon Reifer වැනි පන්දු යවන්නන් වෙනුවට මෙම තුන් කට්ටුව දිගින් දිගටම අත් හදා බැලීම වඩා ඵලදායි වනු ඇතැයි සිතමි. ඒ අනුව කොදෙව් එක්දින සංචිතය
Evin Lewis
Shai Hope
Darren Bravo
Shimron Hetmyer
Nicolos Pooran
Kieron Pollard
Jason Mohammed
Roastan Chase
Lendle Simmons
Jason Holder
Fabian Allan
Akheal Hussain
Alzarri Joseph
Chemar Holder
Anderson Phillip
විය යුතු බව මගේ හැඟීමයි. ශ්‍රී ලංකා කණ්ඩායම පිලිබඳව ඊලඟ ලිපියෙන් කතා කරමු.

– චරිත දිසානායක (Cricket with Charitha)

Leave A Reply

Your email address will not be published.