දේශපාලන මැදිහත්වීම නිසා සිම්බාබ්වේට ජාත්‍යන්තර ක්‍රිකට් සාමාජිකත්වය අහිමි වෙයි

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. අද (18) පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

මීට හේතුව ලෙස සඳහන් වන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාවේ 02.4(C) සහ (D) යන වගන්ති උල්ලංඝනය කිරීමයි.

අද පැවති රැස්වීමේදී තීරණය කර තිබෙන්නේ සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා දේශපාලන මැදිහත්වීම් දිගින් දිගටම සිදුවන බවයි. මේ සම්බන්ධයෙන් මීට පෙර ICC ය විසින් සිම්බාබ්වේ ක්‍රිකට් පාලනාධිකාරියට අනතුරු ඇඟවීම් සිදුකර තිබුණා.

මෙම තහනමත් සමගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හරහා එරට වෙත ලැබෙන අරමුදල් අත්හිටුවනු ඇති අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතේ සංවිධානය වන කිසිදු ඉසව්වක් සඳහා හෝ සහභාගි වීමේ අවස්ථාව ද අහිමි වී යනවා.

මීට පෙර තේරී පත් වූ සිම්බාබ්වේ ක්‍රිකට් පාලනාධිකාරියට එරට ක්‍රිකට් සම්බන්ධ වගකීම් පැවරිය යුතු බවට නියම කර ඇති අතර ඒ සඳහා මාස තුනක කාලයක් ලබා දී තිබෙනවා. මේ පිළිබඳව ලබන ඔක්තෝබර් මාසයේදී සලකා බැලීමට නියමිත අතර ඒ වනවිට සැළකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගත හොත් මෙම තහනම ඉවත් කිරීමට ICC ය පියවර ගනු ඇත.

1992 වසරේදී ටෙස්ට් තත්වය හිමි ICC පූර්ණ සාමාජිකත්වය සිම්බාබ්වේ වෙත හිමි වූ අතර එතැන් පටන් කෙටි කලක් තුළ ඉදිරියට පැමිණීමට ඔවුන් සමත් විය. කෙසේ වෙතත් එරට පවතින අස්ථාවර දේශපාලන තත්වය හේතුවෙන් ක්‍රීඩාව ද පරිහාණියට පත් වූ අතර දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් ක්‍රිකට් පිරිහීමට පත්විය.

LNW

Leave A Reply

Your email address will not be published.

18 − three =