ආණ්ඩුවේ හිස්තැන ප්‍රශ්න කරන කළු ඉරිදාව

කතෝලික සභාව මෙම (07) ඉරිදා ‘කළු ඉරිදාවක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ. එයට හේතුව වන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තැනැත්තන් හෙළි නොකිරීම ය. එයට විරෝධය දක්වමින්, ඉරිදා දේව මෙහෙයන් සඳහා කළු ඇඳුම් ඇඳීමට කතෝලික සභාව විසින් සිය ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබේ. කතෝලික ප්‍රජාවට ‘කළු’ පැහැය යනු දුක සංකේතවත් කරන්නකි.

පාස්කු ප්‍රහාරය සිදු වූයේ 2019 අප්‍රේල් මස 21දා ය. පල්ලි තුනකට, සංචාරක හෝටල් කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 300කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය අතර, තවත් පිරිසක් ආබාධිත තත්ත්වයට පත් වූහ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ මත පළ වූ නිසා මෙම ප්‍රහාරය මෙහෙයැවූයේ කවුරුන් ද? මෙහි සත්‍ය අරමුණ කුමක් ද යන්න සොයාබැලීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරනු ලැබුවේ 2019 සැප්තැම්බර් මාසයේ දී ය.

ඒ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනි. කොමිසමක් පත් කරනුයේ, මාස තුනක කාලයකින් එහි වාර්තාව ලබා දීමට ය. නමුත් මාස තුනක කාලය තුළ වාර්තාව ලබා දිය නොහැකි නම්, ඒ බව ජනාධිපතිවරයාට කොමිසම දැනුම් දුන් පසු තවත් මාස තුනක කාලයක් බැගින් කාලය දිගු කිරීමේ බලය ජනාධිපති කොමිෂන් සභා පනතින් ජනාධිපතිවරයාට ලැබී ඇත.
පාස්කු කොමිසමේ කාලය ද මේ ආකාරයට අවස්ථා කිහිපයක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දීර්ඝ කරනු ලැබුවේ, කොමිසමේ ඉල්ලීම පරිදි ය. මෙලෙස වසරකුත් මාස කිහිපයකට පසු කොමිසමේ වාර්තාව නිකුත් කරනු ලැබී ය. නමුත්, එහි අගතියට පත් කතෝලික ප්‍රජාව මෙන්ම වත්මන් ජනාධිපතිවරයා පත් කිරීමට මූලික වූ පිරිස බලාපොරොත්තු වූ කිසිවක් හෙළිදරවු නොවී ය.

එම පිරිස බලාපොරොත්තු වූයේ, පාස්කු ප්‍රහාරය පිටුපස සිටින පිරිස හෙළිදරවු කොට ඔවුන්ට දඬුවම් දීමට නිර්දේශ කරනු ඇතැයි කියා ය. නමුත්, මෙයින් අපරාධ නඩු පවරන ලෙස යෝජනා කර ඇත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවක ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන හා නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යන පිරිසට ය. ඊට අමතරව එවක අගමැති රනිල් වික්‍රමසිංහ ආරක්ෂාව සම්බන්ධ සාමුහික වගකීම පැහැර හැරීම හා ආගමික කණ්ඩායම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම යන කාරණා යටතේ නම් කොට තිබේ.

අලුත්ගම ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය තහනම් කොට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අයි.සී.සී.පී.ආර්. පනත යටතේ නඩු පැවරිය හැකි ද යන්න සොයාබලන ලෙසත්, ත්‍රිවිධ රත්නය මැණික් ගල් තුනක් කීම හා බුදුන් වහන්සේ මිනීමස් කෑ බව කී අබ්දුල් රාසික්ට එරෙහිව නඩු පැවරිය හැකි ද යන්න සොයාබලන ලෙස ද කොමිසම නිර්දේශ කර ඇත.

අබ්දුල් රාසික් යනු සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රධානියා ය. සහරාන් හෂීම් මෙන් ම කටුවාපිටිය පල්ලියට බෝම්බ ප්‍රහාර එල්ල කළ මෙහොමදු හස්දුන් යන අයගේ මූලාරම්භය සිලෝන් තව්හිද් ජමාත් ය. ඔවුන් බෙදී වෙන් වුව ද මෙම පාර්ශ්ව දෙක එකට සිටියේ ය. නමුත්, ඔහුගේ මේ කාරණා සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවට කොමිසම නිර්දේශ කර නැත.

ප්‍රහාරයේ මහමොළකරු කවුරුන් ද? සැබෑ අරමුණ කුමක් ද යන්න සෙයාගෙන හෝ එය සොයා ගන්නා මාර්ගයක් ගැන පැහැදිලි කර නොමැති වීම ගැන කාදිනල් හිමියෝ ද ගැටලුවක් මතු කර තිබේ. මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ ද පාස්කු කොමිසමේ වාර්තාවට විරෝධය පළ කොට ඇත. ‘පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහනයක් ලැබී නැතැ’යි කියමින් කතෝලික සභාව ප්‍රකාශයට පත් කර ඇති ‘කළු ඉරිදාවට’ සහාය දෙන බව ද ප්‍රකාශ කළහ.

‘කළු ඉරිදා’ව සම්බන්ධයෙන් කාදිනල් හිමියන් ප්‍රකාශයක් කිරීමට පෙර සිට ම කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල දේවස්ථාන භාර පියතුමන්ලා විසින් ‘කළු ඉරිදාවක්’ ප්‍රකාශයට පත් කර ඇති බැවින්, 07දා කළු පැහැති වස්ත්‍රවලින් සැරැසී පූජාවට පැමිණෙන ලෙස බැතිමතුන් වෙත දැනුම් දී තිබේ.
“පසුගිය ආණ්ඩුව කළ අය මේ ආණ්ඩුවට බෝලය පාස් කරනවා. මේ ආණ්ඩුව පසුගිය ආණ්ඩුවට බෝලය පාස් කරනවා. පසුගිය ආණ්ඩුව මේ ප්‍රහාරයේ වගකීම භාර ගත යුතුයි. පසුගිය
ආණ්ඩුවට බෝලේ පාස්කරලා මේ ආණ්ඩුවට අත පිහදා ගන්න බෑ. මෙයාලා බලයේ ඉන්නවා නම්, මේකට වගකිව යුතු අය හොයලා දඬුවම් දෙන්න ඕනේ. නැතිනම් බලයේ ඉඳලා වැඩක් නෑ.” මාධ්‍ය හමුවේ දී මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ මේ ආණ්ඩුවට ප්‍රකාශ කළහ.

“ජනාධිපති කොමිෂන් සභාව සිය කටයුතුවල යෙදෙන අතරතුර රටේ ආරක්ෂාව භාර අදාළ ආයතන වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන ඒකකය හා රාජ්‍ය බුද්ධි සේවය යන ආයතන මෙම සාපරාධී මිනිස් ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ ගැඹුරින් සිදු කළා දැයි යන්න ගැන විශාල සැකයක් තිබෙනවා. කෙසේ හෝ පාස්කු ප්‍රහාරයේ සැබෑ මහ මොළකරුවන් කොටු කර ගැනීමට මෙම ඉහත සඳහන් රාජ්‍ය අංශ කටයුතු කරන බවක් පෙනෙන්නට නැති බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි.

“ඒ නිසා අපි දැන් ඉතා ඕනෑකමින් බලධාරීන්ගෙන් අසන්නේ, මේ ප්‍රහාරවලට මුල් වූ මහ මොළකරුවන්, ඒවාට අනුබල දුන් අය, මුදල් දායකත්වය දුන් අය වගේ ම ඒවා සම්බන්ධයෙන් පවත්වන්නට යෙදුණු විවිධ විමර්ශන දුර්වල කිරීමට සහ කඩාකප්පල් කිරීමට අත ගැසූ අය ගැන පරීක්ෂණ පවත්වා මෙකී සියලු අය නීතිය හමුවට ගෙන ඒමට ප්‍රහාරය සිදු වී වසර දෙකක් ගත වුවත්, තවමත් නොහැකි වී ඇත්තේ ඇයි ද යන්න අපට පැහැදිලි කර දෙන ලෙසයි.” කාදිනල් හිමියෝ තව දුරටත් කීවේ එවැන්නකි.

කාදිනල් හිමියෝ මාධ්‍ය හමුව මෙහෙයැවූයේ කලකිරුණු ස්වභාවයකිනි. එසේම වාර්තාව ඉකුත් 01දා භාර දුන්න ද, වාර්තාව ගැන ප්‍රකාශයක් කළ හැක්කේ, එය සියුම්ව අධ්‍යයනය කිරීමෙන් පමණක් බව ද උන් වහන්සේ පෙන්වා දුන්හ. එම මාධ්‍ය හමුවට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට හා කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයන්ගෙන් තුවාළ ලැබූවන් මෙන් ම මිය ගිය අයගේ ඥාතීන් ඇතුළු කිහිප දෙනකු ද කැඳවා තිබිණි.

ඔවුන් සැමගේ පොදු අදහස වූයේ තමන්ට නිසි සාධාරණයක් ඉටු නොවූ බවය. පාස්කු කොමිසමේ වාර්තාව ජනාධිපති කාර්යාලයෙන් කාදිනල් හිමියන්ට ලබා දෙන්නේ වාර්තාව තමන්ට නොලැබුණු බවට කාදිනල් හිමියෝ ප්‍රකාශ කළ පසුව ය.

“තමන්ගේ ආගමට, ජාතියට, පක්ෂයට අයිති නිසා මොන වැරැද්ද කෙරුවත් ඒ අය ආරක්ෂා කර ගන්න නොයෙක් අංශවලට බලපෑම් කර මුදල් විසි කර අදාළ ෆයිල් යට ගසා කරන දීන ක්‍රියා නිසා අපරාධ පිටුපස සිටින සැබෑ කර්තෘවරුන් නිදැල්ලේ පසුවෙනවා. එවැනි අයට ද මේ මරණවල හා දුක් වේදනාවල විලාපය ගැන කවදා හෝ වග කියන්න වෙනවා. අපි එවැනි අය ගැන දැඩි ලෙස කනගාටු වෙනවා. කුමන ලොකු පුටුවේ සිටියත්, බොරු කර බේරෙන්න ලැබෙන්නේ නැහැ යැයි අප නැවත මතක් කරනවා.” යැයි කාදිනල් හිමියෝ පැවසූහ.
පාස්කු ප්‍රහාරය එල්ල වන්නේ මුල් සැලසුමට අනුව නොවන බව පාස්කු කොමිසම හමුවේ වවුෆර් මවුලවි කළ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. 2020 නිදහස් උලෙළට හා දළදා මාලිගාවට මෙන්ම ඉන් පසුව පළාත් 09 ආවරණය වන පරිදි එල්ල කිරීමට සැලැසුම් කළ ප්‍රහාරය වෙනස් වූයේ කාගේ අදිසි හස්තයකින් දැයි සෙවීමට කොමිසම උනන්දු වූ බවක් පෙනෙන්නට නැත.

ඉන්දියාවේ සිට සහරාන් හෂීම් සමඟ සම්බන්ධතා පැවැත්වූ අබූ හාන් නමැති පුද්ගලයා ප්‍රාන්ත පොලිස් බුද්ධි අංශ සාමාජිකයකුව සිට ඇති බව පෙන්වා දෙන කොමිසම ඔහු මධ්‍යම රජයේ බුද්ධි අංශ සමග සම්බන්ධතා පවත්වා නැතැයි ප්‍රකාශ කරයි. ඔහු හා ඉන්දියාවට පැන ගොස් සිටින සරා ජෙස්මින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස කොමිසම නිර්දේශ කර තිබේ.
ඉන්දියාවේ ප්‍රාන්ත පොලිසි මඟින් බුද්ධි අංශ සම්බන්ධතා පවත්වන්නේ නැත. ඉන්දීය රෝ ඔත්තු සේවය ඉන්දියාවේ මෙන් ම අසල්වැසි රාජ්‍යවල ද බුද්ධි තොරතුරු සෙවීමේ කටයුතුවල නිරතව සිටියි. එම නිසා ප්‍රාන්ත පොලිසි තමන්ට යම් තොරතුරක් ලැබුණ ද, එය සෘජුව රෝ ඔත්තු සේවා නිලධාරීන් හා සම්බන්ධ කරනවා විනා ප්‍රාන්ත පොලිසි මඟින් බුද්ධි අංශ පවත්වාගෙන යන බවක් වාර්තා වන්නේ නැත. නමුත්, කොමිසමේ වාර්තාවෙන් මෙවැනි අදහස් ප්‍රකාශ වූයේ මන්දැයි ගැටලුසහගත ය.

“මේ ප්‍රහාරය යට ගසා කාටවත් ගැලවෙන්න දෙන්න බැහැ. ඒ නිසා වසර දෙකක් නිහඬව ඉවසිලිසහගතව යුක්තිය ඉටු වේ යැයි කියා බලා සිටි අපි පළමු වතාවට ලබන ඉරිදා සාමකාමී විරෝධතා ව්‍යාපාරයකට ඇතුළු වෙනවා. අප්‍රේල් 21 වැනිදා වන විට අපට එවැනි විනිවිද පෙනෙන ක්‍රමවේදයක් හරහා යුක්තිය ඉටු නොවන බව වැටහුණහොත්, කළු ඇඳුම් ඇඳීම පමණක් නොව පාස්කු ප්‍රහාරයට වසර දෙකක් සපිරෙන ලබන අප්‍රේල් 21 වැනිදාට කළු කොඩි ඇද මේ පිළිබඳ අපේ දැඩි විරෝධතාව පෙන්නුම් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරනවා.” කාදිනල් හිමියෝ පුවත් පත් සාකච්ඡාවේ දී තව දුරටත් කීහ.

පාස්කු කොමිසමේ වාර්තාව ලෙස ප්‍රසිද්ධ කළ වාර්තාවට අමතරව තවත් වෙළුම් කිහිපයක් තිබෙන බවට වාර්තා වේ. කාදිනල් හිමියන් ද මාධ්‍ය හමුවේ දී කීවේ, තවත් වෙළුම් පහක් පමණ ඇති බවට තමන්ට ද දැනගන්නට තිබෙන බවයි.
නීතිපතිවරයාට ද පාස්කු කොමිෂන් වාර්තාවේ සියලු කොටස් ලැබී නොමැති බැවින්, එම කොටස් ලබන 15දාට පෙර නීතිපති දෙපාර්තමේන්තුවට ලැබීමට සලස්වන ලෙස දැනුම් දී තිබේ. මේ අතර බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසන්නේ, 2024දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින අයකුගේ අවශ්‍යතාව මත කොමිසමේ වාර්තාව වෙනස්ව ඇති බව ය. උන් වහන්සේ කියනා ලෙස 2024 අපේක්ෂකයා සුළු ජාතික ඡන්ද අපේක්ෂාවෙන් බොදුබල සේනා සංවිධානය තහනම් කිරීමට කොමිසම හරහා නිර්දේශ කර ඇති බවයි.
එසේ බලපෑමක් විපක්ෂයෙන් එන අපේක්ෂකයකුට කළ නොහැකි ය. එසේ නම්, ඔහු ආණ්ඩුවේ සිටින අයකු ම විය යුතු ය. එයත් අගමැති හා ජනාධිපතිට ඥාති සම්බන්ධකම් තිබෙන පුද්ගලයකු විය යුතු ය. කාදිනල් හිමියෝ ද නොකියා කියන්නේ එවැනි අදහසකි.
පාස්කු ප්‍රහාරයෙන් වැඩිම වාසිය අත් වූයේ වත්මන් පාලකයන්ට ය. ඔවුන්ට බලයට එන්නට මාර්ගය හොඳින් විවර වූයේ මෙම ප්‍රහාරය හේතුවෙනි. කාදිනල් හිමියන් ද පෙන්වා දෙන්නේ එම නිසා ඔවුන් ප්‍රහාරයේ සැබෑ කර්තෘවරුන් සොයා ඔවුන්ට දඬුවම් දිය යුතු බවකි.

කොමිසමේ සැබෑ වාර්තාව තවම ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ය. එය එළියට පැමිණි පසු තවත් රහස් රැසක් හෙළිවනු ඇත. නමුත්, එම වාර්තාව ප්‍රසිද්ධ වනු ඇතැයි සිතිය නොහැකි ය. ඒ අනුව කතෝලික සභාව මේ වන විට තීරණයක් ගෙන ඇත්තේ, ‘කළු ඉරිදාවක්’ පවත්වා ආණ්ඩුවට අනතුරු ඇඟවීමට ය. මෙම විරෝධතාවට ක්‍රිස්තියානි, බෞද්ධ හා හින්දු ආගම්වල සහාය ද කතෝලික සභාව ඉල්ලා තිබේ. අස්ගිරි පාර්ශ්වය හා මල්වතු පාර්ශ්වය විසින් මෙයට සහාය දක්වන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ. ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂද ‘කළු ඉරිදාව’ට සහය දක්වන බව ප්‍රකාශ කර තිබේ.

මෙම ඉරිදා පැවැත්වෙන කළු විරෝධතාව අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික ජනතාවගේ මෙන් ම වත්මන් ආණ්ඩුව බලයට පත් කරන්නට කටයුතු කළ බොහෝ දෙනකුගේ විරෝධය ප්‍රකාශ වනු ඇත. ඉන් නොනැවැතී අප්‍රේල් 21 දා කළු කොඩි ඔසවන ගමනට කතෝලික සභාව තල්ලු වනවා ද නැති ද යන්න රජයේ ක්‍රියාදාමය මත තීන්දු වන නොඅනුමාන ය.
-ලසන්ත වීරකුලසූරිය

Leave A Reply

Your email address will not be published.