අනවසර දුම්වැටි තොගයක් අත් අඩංගුවට

රුපියල් නව කෝටි අට ලක්ෂ දහසය දහසක් ( 90,816,000 ) ක් පමණ වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් ගොඩනැගිලි ඉදිකිරීම සදහා භාවිතා කරන පලංචි කණු ලෙස ප්‍රකාශ කරමින් , කොළඹ වරායට බහාලුමක් තුළ එවා තිබියදී ග්‍රෑන්ඩ්පාස් ග්‍රේ ලයින් 02 අංගනයේ රේගු පරීක්ෂණ නිලධාරීන් විසින් 03/05 දින අත් අඩංගුවට ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය පැවසීය .

කොළඹ ප්‍රධාන පෙළේ ගොඩනැගිලි ඉදිකිරීම් සදහා යකඩ සහ පලංචි ආනයනය කරන ව්‍යාපාරිකයෙකු විසින් මෙම දුම්වැටි අඩංගු පලංචි කණු තොගය චීනයේ වෙන්ෂෝ වරායේ සිට අඩි 20 ක් දිගැති බහාලුමක් තුළ 02/28 දින කොළඹ වරායට ගෙන්වා තිබුණි .

03/05 මෙම බහාලුම විවෘත කර පරීක්ෂා කර බැලූ රේගු නිලධාරීන්ට මෙම පලංචි කණු වල නිමාවේ තිබූ අසාමාන්‍යතා මෙම දුම්වැටි තොගය සොයා ගැනීමට හේතු වී තිබුණි .

මෙම බහාලුම තුළ අඩි 10 ක් දිග අඩි 4 × 4 ප්‍රමාණයේ , දෙපසින් ලෝහ තහඩු යොදා වසා දමා තිබූ පලංචි කණු 344 ක් තුළ මෙම දුම්වැටි කාටූන් 22 බැගින් සගවා තිබුණි .

ඒ අනුව චීනයේ නිෂ්පාදිත දුම්වැටි වර්ග 06 කට අයත් , දුම්වැටි 1513,600 ක් (පහලොස් ලක්ෂ දහතුන් දහස් හය සියයක් ) අඩංගු, දුම්වැටි කාටූන් 7,568 ක් මෙම පලංචි කණු තුළ සගවා තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි .

මෙම දුම්වැටි සහිත පලංචි කණු මෙරටට ආනයනය කළ ආනයනයකරු සහ එම ආයතනයේ වාප්පු ලිපිකරු රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති .

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් මත කොළඹ , ග්‍රෑන්ඩ්පාස් , ග්‍රේ ලයින් 02 අංගනයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජගත් පුෂ්පකුමාරගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ලක්ෂ්මන් අලහකෝන් , රේගු අධිකාරී ආර්.එච්.ආර්.ඩබ්ලිව්.කමලසිරි, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන සහන් තිසේරා සහ ශෂික කුමාරසිංහ යන අය සිදු කරති.

Leave A Reply

Your email address will not be published.