සෑමදේම අහිමි වූවත්, එසේ අහිමි වී ඇති බව පෙනෙන්නට තිබුණත්, අප කළ යුත්තේ අප කරමින් සිටින වැඩවලට නිහඬව ආපසු යාමයි. නැවත මුල සිට පටන් ගැනීමයි. -අන්තෝනියෝ ග්‍රාම්ස්චි

අන්තෝනියෝ ග්‍රාම්ස්චි යනු ඉතාලි ජාතික මාක්ස්වාදී න්‍යායචාර්යවරයෙකි. 1920 වන විට දී ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරය හොබවන ලදී. ඉතාලි පැසිස්ට්වාදී නායක බෙනිටෝ මුසෝලිනි එකල ඉතාලියේ උත්සන්න වෙමින් තිබූ කම්කරු සටන් සියල්ල මර්දනය කළ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ග්‍රාම්ස්චි සිරභාරයට ගන්නා ලදී. ග්‍රාම්ස්චිගේ නඩුව විනිශ්චය කළ පැසිස්ට්වාදී විනිසුරුවරයා ප්‍රකාශ කළේ අඩුම තරමේ වසර විස්සක්වත් ග්‍රාම්ස්චිගේ මොළයේ ක්‍රියාකාරිත්වය නැවැත්විය යුතු බවටයි. එතරම් තම බුද්ධිය හරහා ඔහු ඉතාලියානු සමාජයට කළ බලපෑම වැඩි විය. අවසානයේදී ග්‍රාම්ස්චි සිරගත කිරීමට අධිකරණය  තීරණය කරන ලද අතර, ක්‍රමක්‍රමයෙන් ඔහුව ජීවත්ව සිටිය දීම සිරගෙදර තුළ මිය යන්නට එම පාලනය ඉඩහරින ලදී. 1937 අප්‍රේල් මාසයේ දී ග්‍රාම්ස්චි සිරගෙදරින් නිදහස් වන නමුත්, අවසනාවන්ත ආකාරයට එම මාසයේම විසිහත් වන දා ඔහු මෙලොවින් සමු ගත්තේ ය.

ඔහුට මුල දී ම මුසෝලිනිගේ සිරගෙදරින් නිදහස්ව, ඉතාමත් සැපපහසු ජීවිතයකට පා තබන්නට පහසු හැකියාවක් තිබිණි. ඒ තම ප්‍රතිපත්ති සහ සහෝදරයන් පාවා දෙමින් මුසෝලිනීගේ දේශපාලන මතයට මාරු වීමෙන් ය. නමුත්, ග්‍රාම්ස්චි එවැනි ද්‍රෝහියකු නොවී ය. ඔහු සිරගෙදර තුළ ගත කළ කාලය දේශපාලනය, සංස්කෘතිය හා මතවාදය පිළිබඳ ප්‍රශ්නයන් සවිස්තරාත්මක ලෙස හැදෑරීමටත්, ඒ පිළිබඳව එතෙක් මාක්ස්-ලෙනින්වාදී සම්ප්‍රදායයේ නොතිබුණු නවතම ප්‍රවාදයන් සහ නිගමනයන් ඉදිරිපත් කිරීමටත් යොදා ගන්නා ලදී. සිරභාරයේ පසුවන සමයේ දී ඔහු සටහන් පොත් 30ක පමණ පිටු 3,000කට අධික සංඛ්‍යාවක සිය අදහස් ලිවී ය.

වර්තමානයේ දී ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය  තරුණයාව විවිධ අහිතකර හුරුපුරුදුවලට සහ වින්තන ක්‍රමවලට පොළඹවා ගැනීමෙන් ඔහුගෙන් මේ සමාජයට ලබා දිය හැකි ශක්ති ප්‍රමාණය අවම කොට තිබේ. එසේ ම ඔවුනගේ ස්වාධීන චින්තනය මොට කිරීමට කටයුතු කරමින් සිටී. මේ සියලු‍ දෑ සිදු වන්නේ මාධ්‍ය අයිතිකරුවන්ගේ, තම පටු අරමුණු ඉෂ්ට  කර ගැනීම සඳහා දතකන දේශපාලකයන්ගේ සහ විවිධ බහුජාතික සමාගම්වල අනුදැනුම යටතේ ය. නමුත්, තමුන් මේ පිරිසගේ ඉත්තකු වී ඇති බව තරුණයා නොදනී.

සිරගෙදර තුළ සිටිය දීත්, තම ප්‍රතිපත්තිවල නිමග්නව සිටිමින්, විප්ලවය වෙනුවෙන් තම බුද්ධිමය දායකත්වය ලබා දිණි. සෑම දේම අහිමි වුවත්, එසේ අහිමි වී ඇති බවට පෙනෙන්නට තිබුණත්, ග්‍රාම්ස්චි තම සටන අත් නොහැරියේ ය. එනිසාම අදත් ග්‍රාම්ස්චි ගැන කතා කරයි.

ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාව නියෝජනය කරන අප, රටට සහ මෙරට සමාජයට සුබදායී අනාගතයක් වෙනුවෙන් වැඩකටයුතු කරන පිරිසක් විය යුතු යැයි විශ්වාස කරමු. පෞද්ගලික  ජීවිතය තුළ දී විවිධ වූ මතවාද සහ අදහස් අප සැමටම වෙන් වෙන්ව තිබුණත්, මේ සාමුහික ප්‍රයත්නය තුළ දී අපි සියල්ලන් ම දේශපාලන  ප්‍රතිපත්ති මාලාවක් යටතේ වැඩ කළ යුතු වෙමු. ජාතිවාදී සහ ආගම්වාදී නොවන, පටු දේශපාලනික අරමුණු නොසැඟවුණු, මානුෂවාදී දියුණු ප්‍රවේශයකින් ගොඩනැඟුණු ප්‍රතිපත්තින් විය යුතු ය. කුමන බාධක, කම්කටොලු‍ පැමිණිය ද, එම ප්‍රතිපත්ති අත්නොහැර සිටීම අපේ වගකීමකි.

අප විසින් ගරු කරනු ලබන දේශපාලන ප්‍රතිපත්ති සීමිත තරුණ පිරිසකට පමණක් විතැන් විය යුතු ද? කිසිසේත්ම නැත. අප කළ යුතු වන්නේ බාහිර සමාජයේ ජීවත්වන අපගේ සහෝදර සහෝදරියන්ටත් මේ පණිවිඩය ගෙන යාමයි. ඒ වෙනුවෙන් රෑ, දිවා නොබලා, නොපිරිහෙළා වැඩ කිරීමයි. එම කටයුත්තට බාධකයක් වන යමක් ඇත් නම්, සාමුහිකව මුහුණ දී, එම අභියෝගය ජය ගැනීමයි. අපේ අධ්‍යාපන ආයතන මෙන්ම අප මත පටවා ඇති ක්‍රමය ද ඊට ඉඩ නොදෙයි. නමුත්, අප ඒවා පරාජය කළ යුතුම ය.

අද දවසේ තරුණයාව දැඩි ලෙස විවිධ පටු අරමුණු මූලික කර ගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින්, රවට්ටා ගනිමින් සිටියි. අපේ වර්තමාන පරම්පරාවට එහි බරපතළභාවය සහ ම්ලේච්ඡත්වය හොඳින්ම වැටහුණේ 2019 අප්‍රේල් මස 21 වන දින සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරයත් සමඟ ය. දශක ගණනාවක් තිස්සේ මෙවැනි වූ විපත් නිසා මිය යන්නන්ගෙන්, තුවාළ ලබන්නන්ගෙන් වැඩිදෙනා රටේ තරුණ තරුණියන් ය. එහෙත්, සිදු වන දේ පිළිබඳව කිසිවක් නොදැන තරුණයා අන්තවාදී මළපුඩුවලට හසු වෙමින් සිටි. 2009න් පසු ශ්‍රී ලංකාවට  සාමය ලැබුණු බව කොතෙක් කීව ද, එය එසේ නොවන බව ඇතැම් සීතල යුද්ධවලින් අපට වැටහේ. මේ ව්‍යාජ සාමය අපගේ තරුණ පරම්පරාවේ සුබ අනාගතය පිළිබඳව පැහැදිලිව ගැටලු‍වක් නිර්මාණය කරමින් පවතී.

අනාගත විපත් වළක්වාලීම සඳහා අප සිදු කළ යුත්තේ, ආගම්වාදී වීමේ, ජාතිවාදී වීමේ පාලක වුවමනා පරපුරක් ලෙස පරාජය කිරීමයි. ඊට එරෙහිව මනුෂ්‍යත්වය තම ජීවන දහම බවට පත් කරගෙන ඒ ඔස්සේ ක්‍රියා කිරීම වැදගත් බව අපේ පරම්පරාව තේරුම් ගත යුතුව තිබේ.

වර්තමානයේ දී තරුණ ප්‍රජාව අතර පරිසර සාක්ෂරතාවය සහ මාධ්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීම ද අතිශය වැදගත් අවශ්‍යතාවක් වී තිබේ.  ස්වභාවධර්මයට සංවේදී, ඒ ගැන ප්‍රමාණවත් දැනුමක් තිබෙන, පරිසර සංරක්ෂණය වෙනුවෙන් ඇප-කැප වී කටයුතු කරන තරුණ ප්‍රජාවකගේ අවශ්‍යතාව මේ මොහොත වන විට තදබල වශයෙන් සමාජයට දැනෙමින් තිබේ. කාලයක් තිස්සේ මෙරට විශාල වන සංහාරයක් සිදු වෙමින් පවතින අතර, එයට විරුද්ධව තරුණ ප්‍රජාව එතරම්ම හඬ නඟනු අපට දක්නට නොලැබේ. මේ නිහඬතාවෙන් සිදු වන්නේ වන සංහාරයට තවත් එක් ආකාරයකින් අනුබල දීමක් පමණි. පරිසර ඌෂ්ණත්වය ඉහළ යාම, කාලගුණ රටාවන් වෙනස් වීම, වනජීවින්ගේ හැසිරීම් රටාවන් වෙනස් වීම සහ ඔවුන් වඳ වී යාම මේ වන සංහාරයේ විනාශකාරී ප්‍රතිඵල වේ. මේ හේතුවෙන්  තමන් පය ගසා සිටින පොළොවට දිවිහිමියෙන් ප්‍රේම කරන සැබෑ තරුණයෙක් බිහි කිරීම උදෙසා අප විසින් ස්වභාවධර්මය රැකගැනීමේ පණිවිඩය තරුණයාට මනා ලෙස සන්නිවේදනය කිරීමට ඇප-කැප වී වැඩ කටයුතු කළ යුතු වේ.

වර්තමානයේ දී ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය  තරුණයාව විවිධ අහිතකර හුරුපුරුදුවලට සහ වින්තන ක්‍රමවලට පොළඹවා ගැනීමෙන් ඔහුගෙන් මේ සමාජයට ලබා දිය හැකි ශක්ති ප්‍රමාණය අවම කොට තිබේ. එසේ ම ඔවුනගේ ස්වාධීන චින්තනය මොට කිරීමට කටයුතු කරමින් සිටී. මේ සියලු‍ දෑ සිදු වන්නේ මාධ්‍ය අයිතිකරුවන්ගේ, තම පටු අරමුණු ඉෂ්ට  කර ගැනීම සඳහා දතකන දේශපාලකයන්ගේ සහ විවිධ බහුජාතික සමාගම්වල අනුදැනුම යටතේ ය. නමුත්, තමුන් මේ පිරිසගේ ඉත්තකු වී ඇති බව තරුණයා නොදනී. ඔහුට මේ ගැටලු‍කාරී ප්‍රහේලිකාව විසඳා ගත හැක්කේ, මාධ්‍ය සාක්ෂරතාව යම් ප්‍රමාණයකට හෝ තිබුණොත් පමණි. මේ හේතුවෙන් යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන වගකීම් දරන තරුණ කණ්ඩායමක් වශයෙන් අප විසින් මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ පණිවිඩය ද  බාහිර තරුණ සමාජයට ගෙන යාමට කටයුතු කරනු ලැබීම මේ තීරණාත්මක මොහොතේ දී අතිශයින් වැදගත් වෙයි.

මේ ලියූ කරුණු කාරණා මහ පොළොවේ දී ක්‍රියාත්මක කිරීම අතිශයින්ම අභියෝගාත්මක වනු ඇත. විවිධ බාධක, කම්කටොලු නන් දෙසින් අපට පැමිණිය හැකි ය. නමුත්,  ඒ අසීරු මොහොතේත් අප සිදු කළ යුතු වන්නේ අපේ යහපත් පොදු ප්‍රතිපත්තිවල එල්බ සිටිමින් වැඩකටයුතු කිරීම ය. අපගේ වැඩපිළිවෙළ යම් තැනකදී අසාර්ථක වුවත්, පසුනොබැස, නැවත මුල සිටම පටන් ගැනීම ය. බැරිවෙලාවත් අප එසේ සිදු නොකළහොතින් අනාගතය භාර ගැනීමට හිඳින ඊ ළඟ පරම්පරාව අපට කිසිදා සමාව නොදෙනු ඇත.

වරක් ප්‍රසිද්ධ සභාවක තමාට කරන්නට ලැබුණු කතාවක් අවසානයේ දී ඇමෙරිකානු හොලිවුඩ් නළුවකු වන ‍මෙලෙස ප්‍රකාශ කළේ ය:

“Ever tried, ever failed, no matter, try again, fail again, fail better, The world is yours, Treat everyone kindly and light up the night’˜

“කවදා හෝ උත්සාහ කර අසමත් වුවද ගැටලුවක් නැත. නැවත උත්සාහ කරන්න, අසමත් වන්න, වඩා හොඳින් අසමත් වන්න. ලෝකය ඔබේය, සියල්ලන්ට කරුණාවෙන් සළකන්න, අඳුරට ආලෝකය වන්න (රාත්‍රියේ පහනක් වන්න).”

අයන්ත යුනේෂ් ප්‍රනාන්දු
Leave A Reply

Your email address will not be published.