ක්‍රියාන්විතයට සෑම රටක්ම සහාය දිය යුතු බව ඇමෙරිකාව කියයි

ඉරානය සහ යේමනය අතර මුහුදු කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර ආරක්ෂක සන්ධානයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි. ඇමෙරිකාවේ මරීන් බලකායේ ජෙනරල් ජෝසෆ් ඩන්ෆර්ඩ් පැවසුවේ, අත්‍යවශ්‍ය වෙළෙඳ මුහුදු මාර්ග සහිත එම කලාපයේ “නාවික ගමනා ගමන නිදහස තහවුරු කිරීමට” තමන්ට අවශ්‍ය බවය.

සිය සැලසුමට සහය දීමට “දේශපාලනික වශයෙන් කැමැත්තක් දක්වන” රටවල් රැසක් සමග ඇමෙරිකාව සාකච්ඡා කළ බව එක්සත් ජනපද වාර්තා පවසන අතර යෝජිත වැඩපිළිවෙළ යටතේ ඇමෙරිකාව භාණ්ඩ ප්‍රවාහන නෞකාවල “අණදීම් සහ පාලනය” සිදු කරන බවත් අදාළ නෞකා අතර ජංගම මුර සංචාර සඳහා බෝට්ටු සැපයීම අනෙක් රටවලින් අපේක්ෂා කරන බවත් එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

එක්සත් ජනපද ප්‍රකාශක ජෙනරල් ඩන්ෆර්ඩ් “සහය දෙන සෑම රටකටම ඇති විශේෂ හැකියාවන් හඳුනාගැනීම සඳහා එම රටවල ආරක්ෂක අංශ සමග ඇමෙරිකාව ඍජුව කටයුතු කරන බවත් එම ක්‍රියාන්විතයට සෑම රටක්ම සහය දිය යුතු බවත් ” ප්‍රකාශ කළේය.

හෝමූස් සමුද්‍ර සන්ධිය සහ බාබ් අල්-මන්ඩාබ් යන මුහුදු කලාප අත්‍යවශ්‍ය මුහුදු කලාප ලෙස සැලකේ. මුහුදේ සිට ගල්ෆ් කලාපයට සහ රතු මුහුදට ඇතුළු වන නෞකාවල ප්‍රවේශ මාර්ගය ඒ හරහා වැටී තිබේ. ඩන්ෆර්ඩ් පැවසුවේ, සහය දෙන රටවල් සංඛ්‍යාව අනුව මෙම ක්‍රියාන්විතයේ පරිමාණය තීරණය වන බවය.

දිනපතා ඉන්ධන බැරල් මිලියන 4ක් පමණ බාබ් අල්-මන්ඩාබ් හරහා ලෝකයේ සෙසු රටවල් වෙත ප්‍රවාහනය කෙරේ. ජූනි මාසයේදී හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඉන්ධන නෞකා දෙකකට බෝම්බ ප්‍රහාර එල්ල කළ බවට ඇමෙරිකාව ඉරානයට චෝදනා කළේය. එහෙත්, එම චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කළේය.

Leave A Reply

Your email address will not be published.

four × five =