ප්‍රේමයේ අවමංගල්‍ය දෙකකට පැන් වඩල මතක වස්ත්‍ර පූජාකරල හෙට ඉඳන් ආයෙත් ?

අපි යුද්දෙට ආවඩපු සමාජයක්. තාමත් යුද ජයග්‍රහණ ගැන උදම් අනන සමාජයක්. පුංචි දරුවන්ට සෙල්ලම් කරන්න සෙල්ලම් තුවක්කු ගෙනත් දෙන වැඩිහිටියො ඉන්න සමාජයක්.
කරුවිට සිද්ධියෙදි ආදරය කරල බෙල්ල නැතුව සූට්කේසයක කොළඹ ආපු ගෑනු දරුව ගැන අනුරාධා නිල්මිණි සහෝදරිය ඉතාම සංවේදී සටහනක් ඇ⁣ගේ මූණුපොතේ තබල තිබුණ
ඊට පස්සෙ ඒ ගැන ලියවුණු වැදගත්ම මූණුපොත් සටහන මම දැක්කෙ රවී සිරිවර්ධනගෙ. රවී සිරිවර්ධනගෙ සටහන ගැන මං මොකුත් ලිව්වෙ නෑ. ඒත් අනුරාධගෙ සටහනට වේදනාවක් දැනෙනවා කියල විතරක් මං ලිව්වා. ඒක සමාජයක් ලෙස අපි වපුරපු දේවල් ගැන පපුවෙන්ම ආපු වේදනාවක්.
කුරුවිට තරුණියට අවුරුදු තිහයි. ඇය වැඩිහිටි තරුණියක්. ඇගේ බෙල්ල නැති ශරීරය බෑග් එකක දාගෙන කොළඹ ඇගේ පොලිස් පෙම්වතාට අවුරුදු පනස් දෙකයි. අවුරුදු තිහක තරුණියක් අවුරුදු පනස් දෙකක’තරුණයෙක්’ එක්ක(විවාහකයෙක්) එක්ක පැටලෙන එක සමාජ සමීකරණයට අනුව අවුලක් වෙන්න පුළුවන් වුණත් අාදර සමීකරණ ඇතුළෙ එහෙම දේවල් අස්වාභාවිකයි කියල නිගමනය කරන්න අපිට අයිතියක් නෑ. ඇය වැඩිහිටි තරුණියක්. තමන් ආදරය කළ යුතු කෙනා තෝරා ගැනීමට ඇයට අයිතියක් තියෙනව. ඒ, ආදරය එන්නෙ සමාජය කපල තියන පාරවල් වලින් විතරක්ම නොවන නිසයි.
අපි පසුකර ආවෙ තිස් අවුරුදු යුද්ධයක් තිබුණු කාල පරිච්ඡේදයක්. ඇය යුද්ධය මැද ඉපදිලා යුද උත්කර්ෂය මැද ලොකු මහත් වෙච්චි දරුවෙක්. ඔහු යුද්ධට කලින් ඉපදිලා, බෙලි කපපු, වෙඩි තියපු, බෝබ්බ පුපුරපු යුද්දෙ මැද ‘රණවිරු ‘ උත්ක⁣ර්ෂය මැද ජීවිතය ගෙවූ රණවිරු අධිමාත්‍රාව එන්නත් වූවෙක්. මුහුණුපොතේ පළවෙන ඔහුගෙ පින්තූර දිහා බලපුවාම ඒක පැහැදිලියි.
සමහරවිට ඇය ඔහුට කැමති වුණු හේතු වෙන්න ඇත්තෙත් ඔහුගෙ මස් පිම්බුණු කඩවසම්කම, දෑතින් පිස්ටල් දෙකක් දරාගෙන ඉන්න ඡායාරූප, යුනිෆෝම් ඇඳි දේහධාරී පෙණුම වෙන්නත් ඇති.(ඒක අනුමානයක් පමණි) මොකද මේක ඒකමානී වීරයෙක් නිර්මාණය කරමින් තවමත් යුද උත්කර්ෂය පවත්වාගෙන යන රටක්. සර්ල, ජෙනරාල්ල ලොකු වුණු රටක, ඒ යුද්දෙ ඇතුළෙම ඉපදුණු කෙල්ලෙක්ගෙ හිත ඇතුළෙ යුනිෆෝම් එකෙන් ෆෝම් වෙච්චි දේහදාරියෙක් තමන්ගෙ ආදරවන්තය වෙන එක කොහෙත්ම අස්වාභාවික නෑ
ඒ කොහොම වුණත් ආදරය අරක්ගන්නෙ ම්නිස්සුන්ගෙ හැඟීම් අඩවියේ, ඒ ආදරය ඇතුළෙ මතුවෙච්චි මොකක් හරි ආරවුලක් දුරදිග ගිහින් තමයි මේ ඛේදවාචකය සිදු වෙන්න ඇත්ත. ආදරේ පෞද්ගලිකයි. හුඟාක් වෙලාවට ඒක ඊර්ෂ්‍යාපරවශයි. ඒක වැඩිය කැමති බෙදාගන්න නෙමෙයි බදාගන්න. ඒක අල්ලගන්න කැමැති වුණාට අතහරින්න කැමති නෑ. මේ ඛේදවාචකය සිදුවෙන්නත් මේ කියපු මොකක් හරි හේතුවක් බලපාන්න ඇති. ඒක දුරදිග යන්න ඇති. ඒ මොක වුණත් ඒ දෙන්නම දැන් ජීවතුන් අතර නැති නිසා ඒකෙ හේතු යුක්ති විමසන්න අපි කාටවත් දැන් බෑ. එහෙම විමසල වැඩකුත් නෑ.
මගේ මතකය නිවැරදි නම් අශෝක හදගම එයාගෙ දුන්හිද අද්දර ටෙලි නාට්‍යයේ එක තැනක කියනව සමනලයින්ට වෙඩි තියන්න එපා කියල. කලාකරුවො හිංසාවට කැමති නෑ. ආදරයට වෙඩි තියන්න කලාකරුවන්ට බෑ. ඒත් සොල්දාදුවන්ට පුළුවන්. ගොලු හදවතේ සුගත් තමන්ව දාල ගියා කියල දම්මිට වෙඩි තිබ්බෙ නෑ. එයා කළේ ඒ මතක දරාගෙන වැලපුණ එක. ආදරය වෙනුවෙන් ඔවුන් හුවමාරු කරගත්ත වෙරළු ගෙඩියෙ මතකය හිරිවැට්ටුවෙ ඔවුන් දෙන්නව විතරක් නෙමෙයි අපිවත් හිරි වැට්ටුව. ‘ඔබට යන්නම ඕනෑනම් ඔබ යන්න ඉතින් නික්මී මේ කාමරයේ පුරා රැඳුණු සුවඳත් අරගෙන’ කියල දිවුල්ගනේ කියද්දි, ප්‍රේමවන්තයො විරහව දරාගත්ත. ‘ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙළණු සකී, ආල වඬන යන තේරුම බෝසත්කම සකී’ කියල සුනිල් එදිරිසිංහ ගයනකොට ආදරය බිඳුණු සිත් තමන්ගෙ දුක තවාගත්ත. ඒව බදා ගැනීම වෙනුවට අතහැර දැමීමත් ආදරයේම ස්වරෑපයක් කියල කියල දුන්න. ඒ කලාව ආදරෙත් එක්ක ගනුදෙනු කරන විදිහ.
මේ මිලිටරි මනසක් ආදරෙත් එක්ක ගන්දෙනු කරන විදිහ.
කවුද වැරදි. ළමයි ඉන්න බැඳපු මිනිහෙකුට ආදරය කළ කුරුවිට තරුණියද? තමන්ගෙ දරුවෙක් වගේ වයසක ඉන්න කෙල්ලෙකුට ආදරය කළ මොනරාගල ’52 තරුණයද?
නෑ ආදර සමීකරණය හරිම සංකීර්ණ සමීකරණයක්. ආදරය එන්නෙම නොහිතන පාරවල්වලින්. ඒක තමයි ආදරයේ ස්වභාවය.
ආදරය කියන්නෙ හැඟීම් සමුදායක්. වරද තියෙන්නෙ යුද්ධයේ, යුද්ධයට හැඟීම් එක්ක ගනුදෙනුවක් නෑ. ඒක වැඩ කරන්නෙ ඕඩර්වලට. ඕඩර් කඩකරන තැනදි ඒක දඩුවම් දෙන්න මැලි වෙන්නෙ නෑ. ඒකට වරදකාරිත්වයට දඩුවම් පැමිණවීමෙද වෙඩි තැබීම්, බෙල්ල කැපීම් මේ ඕන දෙයක් වලංගුයි.
ඒත් ආදරේ, ඒක ඕඩර් පිළිපදින්නෙ නෑ. හිතුවක්කාරයි. සංචලයි වගේම ඒක චංචලයි. ඒක තමයි ආදයේ ස්වභාවය.
වරද තියෙන්නෙ මේ දෙන්නගෙම නෙමෙයි. මට අනුව මේ දෙන්නම අසරණයි. එකෙක් අසරණභාවයෙන් මිදෙන්න රණ්ඩු අල්ලන්න ඇති. අනෙක ඒකෙන් ගැලවෙන්න මරන්න ඇති. නැත්නම් ඒ ⁣රණ්ඩුවෙදි මැරෙන්න ඇති. වරද තියෙන්නෙ ආදරයේ හිතුවක්කාරී ගති ස්වභාවය නොතේරෙන හිතුවක්කාරී මිලිටරි මානසිකත්වය තවමත් නඩත්තු කරන, ඒවට පිරිත් නූල් ගැටගහන සමාජයේ.
ප්‍රේමයේ අවමංගල්‍ය දෙකකට පැන් වඩල මතක වස්ත්‍ර පූජාකරල හෙට ඉඳන් ආයෙත් යුද මානසිකත්වයට පිරිත් පැන් ඉසින්න. නැත්තම් මැරිච්ච වුන්ට ජෝක් කරන්න, බණින්න. එතකම් කුණු කන්දල් ගිලින මාධ්‍ය කපුටො තරගෙට මැරුණු කෙල්ලගෙ ඔළුව හොයන්න.
-ප්‍රියන්ත ලියනගේ (fb)

අනුරාධා නිල්මිණීගේ සටහන,
අත් ,පත් කරගන්නට සිතූ මොහොතේ ම අත් හරින්නට සිදුවීම..

ඔයා නොදන්නා හුගාක් අය දැන් ඔයා ගැන දන්නවා .ඊයෙ වෙනකම් ඔයාට ආදරය කරපු අය දැන් ඔයාට වෛර කරනවා.
ඊටත් වඩා ,ලස්සන ම දේ ඔයා ,කවදාවත් නොදැන හිටපු ,ඔයාගෙ ම විස්තර දැන් මුලු ලෝකය ම දන්නවා .
ඉතින් ,එයාල කතා කරනවා .ලියනවා.තීරණ ගන්නවා.චෝදනා කරනවා .දඬුවම් නියම කරනවා.
නමුත් ,ඔයා නිහඬ යි.ඒක හොදයි .එතකොට ඒ අයට ලේසියි .ඇත්ත නිහඬ වනතාක් බොරුවට ලොකු දුරක් පියාඹන්න පුලුවනි.ඒක තමයි ලෝකෙ හැටි.
ආදරය කියන්නෙ මේකටද කියල ,කෝටියක් දෙනා අහන ප්‍රශ්න වලට ,උත්තර දෙන්න කලබල වෙන්න ඕනෙ නෑ.මොකද , ඔව්..!! ආදරය එහෙම තමයි .
ආදරය කියන්නෙම විශ්වාසය ..!! ඔයාට මේ විදිහට ඉක්මණ් ගමන් යන්න වෙන්නෙත් ,ආදරයේ ලොකුම පදාසයක් අයිති කරගෙන තිබුණ ,ඒ විශ්වාසය නිසා.
ඉතින් ,පරිස්සමින් ගිහින් එන්න..ආදරෙයි..❤.
-අනුරාධා නිල්මිණී

Leave A Reply

Your email address will not be published.