හෙට මාර්තු 7 – කළු ඉරිදා

2019 අප්‍රේල් 21වන පාස්කු දින එල්ල වූ ම්ලේචඡ, ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූවන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා කතෝලික සභාව මෙම මස මාර්තු 7 වනදා “කළු ඉරිදා” ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මෙම ප‍්‍රහාරයන් පිටුපස සිටින සැබෑ වැරදිකරුවන් හඳුනා ගැනීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව අපොහොසත් වූ බවයි කතෝලික නායකයින් පවසන්නේ.මේ වන විටත් නිකුත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව ගැන තමන් සෑහීමට පත්නොවන බව ඔවුහු පවසති.

සාධාරණය ඉටු නොකිරීමට එරෙහි විරෝධතාවක්

මිගමුව, පිටිපනම හි ශාන්ත මරියා දේවස්ථානයේ රංජිත් ටෙරී ප්‍රනාන්දු පියතුමා මාධ්‍ය වෙත පවසා සිටියේ බිෂොප්තුමන්ලා සහ පියතුමන්ලා ‘කළු ඉරිදා’ දිනය ප්‍රකාශයට පත් කර ඇති බවයි. “කළු ඉරිදා දිනය ප්‍රකාශයට පත් කරන්නේ ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූ සහ ප්‍රහාරයන්ට ගොදුරු වූවන්ට සාධාරණය ඉටු නොකිරීමට එරෙහි විරෝධතාවක් ලෙස” යි ප්‍රනාන්දු පියතුමා පැවසීය.

2019 දී පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරුවන් පල්ලි තුනක් සහ හෝටල් තුනක් ඉලක්ක කර සිදුකළ ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 279 දෙනෙකු ඝාතනය කළ බව පැවසීය. ප්‍රහාරයෙන් දින දෙකකට පසු ඉස්ලාමීය රාජ්‍යය වගකීම භාර ගත් නමුත් ජනාධිපති විමර්ශන කොමිසම කියා සිටියේ කණ්ඩායම සහ ප්‍රාදේශීය ප්‍රහාරකයින් අතර ඍජු සම්බන්ධයක් සොයාගෙන නොමැති බවයි.

සාක්ෂිකරුවන් 440 දෙනෙකුගෙන් ප්‍රශ්න කරමින් කොමිසම කියා සිටියේ බෝම්බ ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ බුද්ධි අංශ ප්‍රධානීන්ට එරෙහිව අපරාධ නඩු පැවරීමට නීතිපතිවරයා සලකා බැලිය යුතු බවයි.

මාර්තු 7 වන දින උද්ඝෝෂණය සඳහා ඉරිදා සේවාවන් සඳහා සියළුම කතෝලිකයන්ට කළු ඇඳුමින් සැරසී සිටින ලෙස ආරාධනා කර තිබේ.

“සාධාරණය ඉටු නොවන අසම්පූර්ණ වාර්තාවක්”

“කළු ඉරිදා ආරම්භ වන මෙම ක්‍රියාවලිය තවත් බොහෝ ක්‍රියාකාරකම් වලට තුඩු දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම වාර්තාව වින්දිතයින්ට සාධාරණය ඉටු නොවන අසම්පූර්ණ වාර්තාවක් ලෙස අපි දකිමු”යි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුහිමියන් පැවසීය. අගරදගුරුහිමියන් විසින් විශේෂ ජනාධිපති වාර්තාවේ පිටපතක් ඉල්ලා තිබූ අතර පසුව එහී පිටපතක් උන්වහන්සේ වෙත ලබා දී තිබිණි. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර විසින් මාර්තු පළමුවැනිදා පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ දී උන්වහන්සේ වෙත එම වාර්තාවේ පිටපතක් පිළිගන්වනු ලැබීය.

ඊට පෙර පෙබරවාරි 22 දින බදුල්ල, රොක්හිල් හි පිහිටි රදගුරු මැදුරේදී මාධ්‍ය හමුවක් පවත්වමින් “කතෝලික ජනතාවගේ සැකය දුරුකිරිමට පාස්කු වාර්තාව අගරදගුරු හිමි වෙත ලැබිය යුතු”යි කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති බදුල්ල පදවියේ රදගුරු වින්සන්ට් ජේ. ප්‍රනාන්දු හිමිපාණන් පැවසීය. එහිදී රදගුරුතුමන් සඳහන් කළේ, “දැන් පීලි පැනපු තත්වයක් අපි දකින්නේ. කමිටු 2ක් පත්කරලා දැන් කරගෙන යන ඒ වැඩපිළිවෙල ගැන අපිට ලොකු සැකයක් තියෙනවා” යනුවෙනි.

“අවසාන පියවර වන්නේ එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීම”

“2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පුද්ගලයන් 268 දෙනෙක් මරණයට පත්වුණා. කොච්චිකඩේ දේවස්ථානයේ 56 දෙනෙකුත් කටුවාපිටිය දේවස්ථානයේ 115 දෙනෙකුත් ජීවිතක්ෂයට පත්වුණා. හෝටල්වල සිටි අයත් මරණයට පත්වුණා. තුවාල ලැබූ හා ආබාධිත වූ 500 දෙනෙක් සිටිනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ පරීක්ෂණයකින් පසුව සාධාරණය ඉෂ්ඨවෙයි කියලා. දවස් 214 ක් තුළ සැකකරුවන් හා සාක්ෂිකරුවන් කැඳවලා මහ විශාල වාර්තාවක් සකස් කරගත්තා. ඒ පිටුවලින් වෙළුම් 6ක් සකස් කරගත්තා. ඊට අමතරව ඇමණුම් 215 ක් තියෙනවා.”

“ඒ ජනාධිපති කොමිෂන් වාර්තාව ජනාධිපතිතුමාට පිළිගැන්වූවා. ඉන්පසු කළ යුත්තේ කුමක්ද? බෙහෙවින්ම පීඩාවට පත්වු කතෝලික ජනතාවට ඒ වාර්තාව දැක බලාගැනීමට එය පිළිගන්වන්න ඕන. පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් කෙසේ හෝ මෙය නීතිපතිට, ඉන්පසු අවසාන පියවර වන්නේ එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමයි. එතකොටවත් සාධාරණය ඉෂ්ඨ වෙයි කියලා අප සිතනවා.”

“අපේ ජනතාව පත්කරගත් ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සාධාරණය ඉෂ්ඨවෙයි කියලා. විශේෂයෙන්ම අපේ සැකය දුරුකිරීම සඳහා විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීම සඳහාත් විශේෂයෙන්ම කාදිනල්තුමා අතට මේ වාර්තාව පත්කරන්න ඕන. මේ වාර්තාව ඔස්සේ වින්දිතයන්ට සාධාරණය ඉටුවෙයි කියන බලාපොරොත්තුව ඇතිව ජනාධිපතිතුමාගෙන් ඕනෑකමින් ඉල්ලා සිටිනවා ඒ සුදුසු පියවර කඩිනමින් ගන්න කියලා” යි යනුවෙන් රදගුරු සම්මේලනයේ සභාපති බදුල්ල පදවියේ රදගුරු වින්සන්ට් ජේ. ප්‍රනාන්දු හිමිපාණන් පැවසීය.

පාස්කු ඉරුදින ප්‍රාහරය සම්බන්ධයෙන් පත්කළ කොමිසම් වාර්තාවේ නිර්දේශ අධ්‍යනය සඳහා කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු කටුවාපිටිය ජනතාව දැඩි විරෝධයක් දක්වනු ලැබීය. ඔවුන් ඉල්ලා සිටියේ දිගින් දිගටම කමිටු පත්කරමින් එහි නිර්දේශ හා වාර්තාවේ අඩංගු කරුණු සමාජයෙන් හැංගීමට කටයුතු නොකරන ලෙසයි. සාමාන්‍ය පෙළ හෝ සමත් නැති පිරිසකට තීන්දු තීරණ ගැනීමට එම කමිටුව විසින් ඉඩකඩ සැලසීම අගරදගුරු හිමිපාණන්ගේ දැඩි විරෝධයට ලක්විය.

ඊට පිළිතුරු ලෙස කමිටුවේ කාර්ය භාරය සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම කමිටුවට පත්කළ අමාත්‍ය මණ්ඩලය තෝරාගනු ලැබුවේ ඔවුන්ගේ දේශපාලන පරිණත භාවය, පළපුරුද්ද සහ විවිධ ක්ෂේත්‍ර වල ඇති අත්දැකීම් හේතුවෙන් බවයි.

කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපතිවරයාට භාර දීමෙන් අනතුරුව එය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු සාමාජිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කිරීම තවත් කල් මැරීමක් බවට පවසමින් පසුගිය පෙබරවාරි 20වන දා කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පවත්වනු ලැබිණි.

“කොන්ද පණ ඇති නායකත්වයක් බලාපොරොත්තුවෙනව”

එම ස්ථානයට පැමිණි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපති කොමිසම බුද්ධිමත් පිරිසකගෙන් සමන්විත කමිටුවක් හෙයින් ඔවුන් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයාට ජනාධිපතිගේ උපදෙස් අවශ්‍ය නොවන බවයි.

එහිදී කාදිනල් හිමිපාණන් තවදුරටත් අවධාරණය කළේ කොන්ද පණ ඇති නායකත්වයක් මේ සම්බන්ධයෙන් බලාපොරොත්තුවන බවත් ඒ සම්බන්ධයෙන් සාධාරණය ඉටු නොවුනහොත් ජාත්‍යන්තරයේ සහය ලබා ගන්න බවයි.

එදින පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලා කටුවාපිටිය මීසම් වාසි ජනතාව ගරු පියතුමන්ලා සමඟ පාරට බැස තිබීම විශේෂයකි. යුක්තිය ලැබෙන තුරු රැල්ල කැරැල්ලක් කිරීමට කාලය එලැඹ ඇති බව පවසමින් වසර දෙකකට ආසන්න කාලයක් ඉටු නොවුනු යුක්තිය ඉල්ලා පියතුමන්ලා පෙරටු කරගනිමින් ජනතාව මෙලෙස පාරට විත් යුක්තිය ඉල්ලමින් සාමකාමී විරෝධයක නිරත වූ බව ඊට සහභාගී වුවෝ පැවසූහ.

මෙම අවස්ථාවට කටුවපිටිය ජනතාව පෙරටුව අගරදගුරු පදවි සහයක රදගුරු J. D. ඇන්තනී හිමිපාණන්, කටුවාපිටිය මීසම් සේවක ගරු මංජුල නිරෝෂන් පියතුමන් ඇතුළු මීගමුවේ මීසම් කිහිපයක්ම නියෝජනය කරමින් ගරු පූජාප්‍රසාදීන් වහන්සේලා රැසක් සහභාගී වී සිටියහ.

“කැබිනට් අනුකමිටුව යුක්තිය ඉටුකරලීමට කල්මැරීමක්”

එම අවස්ථාවට පැමිණි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එම ජනතාවට, තමන් ජනතාව සමඟ නිරන්තරයෙන්ම සිටින බවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා අධ්‍යනයට පත්කළ කැබිනට් අනුකමිටුවට සිය ප්‍රසාදයක් නොමැති බවත් එහි අරමුණ තවත් යුක්තිය ඉටුකරලීමට කල්මැරීමක් බවත් කියා සිටියේය.

මේ සියලු තත්වයන් හේතුවෙන් වින්ධිතයන්ට සාධාරණයක් ඉටුනොවිමේ වේදනාව මැද 2021 මාර්තු 07 වැනිදා “කළු ඉරිදා” දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

“2019 වසරේ අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරිදා දින සිදු වූ සංවිධානාත්මක ඝාතනයේ මහ මොළකරුවන් මෙතෙක් හෙළිදරව් වී නොමැති හෙයින් හා එම ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියලුම ජීවිත වෙනුවෙන්ද ඒ හේතුවෙන් විපතට පත් සියලුදෙනා වෙනුවෙන්ද යුක්තිය ඉටු නොවීමට විරෝධය දැක්වීමක් ලෙස මාර්තු 07 වැනිදා ‘කළු ඉරිදා’ දිනයක් ලෙස නම්කර ඇත” යි මේ පිළිබඳව අදහස් දක්වන්නෝ සඳහන් කරති.

“ශ්‍රී ලංකාවේ සියලුම කතෝලික සහෝදර ජනතාවගෙන් මෙදින කළු පැහැති ඇඳුමින් දිව්‍ය පූජාවට සහභාගි වී පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ඔබේ හඬත් එකතුකරමින් මෙම විරෝධයට එකතු වීමට ආරාධනා කරන අතර විශේෂාකාරයෙන් ඒ වෙනුවෙන් යාච්ඤා කරන මෙන් ඉල්ලා සිටිමු. එකම පවුලක් මෙන් අප සැවොම ‘ලේ කඳුල වෙනුවෙන් යුක්තිය’ ඉල්ලා කෑ ගසන නිහඬ මොරගැසීමට සූදානම් වෙමු” යි ඔවුහු පවසති.

ජාතික ජන බලවේගය ‘කළු ඉරිදා’ වට සහය 

මෙම ‘කළු ඉරිදා’ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන ජාතික ජන බලවේගය “2019 අප්‍රියෙල් 21 දිනය ලාංකේය අපට කිසිදා අමතක කළ නොහැක. ක්‍රිස්තු භක්තිකයන් ක්‍රිස්තූත්ථානය සමරන එම උතුම් දිනයේදී එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය හේතුවෙන් අහිංසකයෝ තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක් මිය ගියහ. තවත් පන්සියයකට අධික පිරිසක් තුවාල ලැබූ අතර ඇතැමෙක් සදාකාලික ආබාධිතයෝ වූහ. මේ නින්දිත ප්‍රහාරය කිතුනු ලබ්ධිකයන් තුළ මෙන්ම සමස්ත දේශය තුළ මතු කළ කඳුළේ බර සුළුපටු නොවේ.” යි පවසයි.

“මෙය එවකට පැවති ආණ්ඩුවේ හා රාජ්‍ය බලධාරින්ගේ නොසැලකිල්ල නොවන්නට වළක්වා ගත හැකිව තිබූ බව දැන් කිසිවෙකුටත් රහසක් නොවේ. වින්දිතයන් වෙනුවෙන් යුක්තිය පසිඳළනු පිණිස එවකට පැවති ආණ්ඩුවද, එම ප්‍රහාරයේ වේදනාවට ගොඩවී සිංහාසනයට පැමිණි වත්මන් ආණ්ඩුවද ඒ පිළිබඳව කළ එකම කාර්යය වූයේ පාස්කු කොමිසමය.”

“පාස්කු කොමිසමේ අවසන් වාර්තාව දැන් නිකුත් වී ඇත. එහෙත් කොමිසම් සභා හා කොමිසම් සභා වාර්තා යටගැසීම තුළ එහි වරදකරුවන් හා මහා මොළකරුවන්ද දේශපාලන බලය වෙනුවෙන් අන්තවාදය පාවිච්චි කළවුන්ද සැඟව නොපෙනී යන ඓතිහාසික සන්දර්භයක් තුළ මෙම අවස්ථාවේදී ද වින්දිතයන්ට සාධාරණයක් ඉටු නොවන බව පොදු අදහස බවට පත්ව ඇත. එමෙන්ම පාස්කු කොමිසම් වාර්තාවද තවත් ප්‍රහේළිකා මතු කරනු විනා ප්‍රහේලිකාව විසඳා නැති බවද ඒ පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගෙන් නැගෙන මැසිවිල්ලයි.”

“යුක්තිය වෙනුවෙන් හඬ නැගීම පොදු මානවීය අයිතියකි. උක්ත සන්දර්භය තුළ අදාළ ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ශ්‍රී ලාංකේය කතෝලික සභාව 2021 මාර්තු 07වැනි දින කළු ඉරිදාවක් කර යුක්තිය ඉල්ලා සිටී. ජාතික ජන බලවේගය ලෙස ඊට අපගේ පූර්ණ සහයෝගය පළ කරන අතර තවත් ප්‍රමාද නොකර මේ පිටුපස සැඟව සිටින මහ මොළකරු/මොළකරුවන් හා වැරදිකරුවන් හෙළිදරව් කර, ලේ කඳුළට නෛතිකව යුක්තිය ඉටු කරන ලෙස ආණ්ඩුවට හා අදාළ නීති අංශවලට බලකර සිටිමු” යි එම නිවේදනයේ සඳහන් වේ.

“‘කළු ඉරිදා’ නම් කිරීම ඉතාමත් සාධාරණ ක්‍රියාවක්”

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාධාරණයක් ඉෂ්ට නොවූ හෙයින් කතෝලික ජනතාව ‘කළු ඉරිදා’ නම් කිරීම ඉතාමත් සාධාරණ ක්‍රියාවක් බවත් ඒ සඳහා මහ සංඝරත්නයේ සහයෝගය ද නිරතුරුව ම ලබාදෙන බවත් අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ පැවසීය.

මේ සම්බන්ධයෙන් අස්ගිරි මහ විහාරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ කියා සිටියේ, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම උදෙසා පත්කළ කොමිසමේ වාර්තාව කිසිසේත් ම සාධාරණ නොවන හෙයින් එය පිළිගැනීමට නොහැකි බවයි.

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ඉදිරිපත් කළ වාර්තාව ඉතාම අසම්පූර්ණ හා ඉතාමත් අසාර්ථක එකක්. විමර්ශනය කළ යුතු කරුණු කාරණා පැත්තක. මෙම වාර්තාවෙන් මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය සැලසුම් කළ හෝ ක්‍රියාත්මක කළ අය හට කිසිදු හෝ බරපතළ චෝදනා එල්ල කරන්නේ නැහැ”

“පාස්කු ප්‍රහාරය නිසා දැඩි වින්දිතයන් බවට පත්වූයේ අපගේ සහෝදර කතෝලික ජනතාවයි. එම කතෝලික ජනතාවට මේ දක්වා කිසිදු සහනයක් ලබානොදීම හා ප්‍රහාරයන්ට සම්බන්ධ වූවන් හට දඬුවම් ලබානොදීමට එරෙහිව හා විරෝධය පා ‘කළු ඉරිදා’ නම් කිරීම ඉතාමත් සාධාරණ ක්‍රියාවක්. මහ සංඝරත්නය දකිනවා.එම විරෝධතාව අනුමත කරනවා. ඊට සහයෝගය ද ලබා දෙනවා. මෙම අමානුෂික ත්‍රස්ත ක්‍රියාව සිදුකළ පුද්ගලයන් හා ඊට වගකිවයුතු සියලු පුද්ගලයන් සහ ඊට සහාය දුන් සියලු පුද්ගලයන් සොයා බලා ඔවුන් හට නිසි දඬුවම් ලබාදෙන ලෙස අපි රජයෙන් මේ මොහොතේ තරයේ ඉල්ලා සිටිනවා,” යැයි ද නාහිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

කෙසේ වෙතත් එළැබෙන මාර්තු 7 වන ඉරිදා දක්වන විරෝධය ආණ්ඩුව විසින් නොසලා හැරියහොත් ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් පිරෙන මීළඟ අප්‍රේල් 21වන දින දැඩි ක්‍රියාමාර්ගයන් ගැනීමට සිදුවන බව ආගමික නායකයෝ පවසති.

 

Leave A Reply

Your email address will not be published.