ජාතික ජන බලවේගය හදන්නේ රට වෙනස් කිරීමේ වුවමනාවෙන්

අනුර කරුණාතිලක – ජාතික විද්වත් සංවිධානය (NIO) හි ජාතික සංවිධායක

‘ජාතික ජන බලවේගය’ කවුරුන් විසින් ගොඩනඟන, මොන විදිහේ සංවිධානයක් ද?

අපි දන්නවා මේ වෙන කොටත් මේ රටේ ඇති  විවිධ සමාජ, ආර්ථීක මෙන්ම දේශපාලන ප්‍රශ්න වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධාන බොහෝ ගණනක් තියෙනවා. පුද්ගලයොත් ඉන්නවා. ඒත් ඒ සියල්ල එක් වන එක මධ්‍යස්ථානයක් නැහැ. ඒ වගේ ම එවැනි දේ ගැන වෙන් වෙන් එකඟතාවන් තිබුණත්, සාමුහික ක්‍රියාකාරකමක් නැහැ. ඒ නිසා ම මේ සමහර ක්‍රියාමාර්ග හුදෙකලාව අමතක වෙලා යනවා. ඒ නිසාම මේ පාලකයන්ට 70 වසරක් අපිව රවටන්න පුළුවන් වුණා. මේ උත්සාහය ඒ රැවටිල්ලට එරෙහි සියලූ සංවිධාන සඳහා වන පුළුල් නියෝජනයක් හැදීමයි.

ඔවැනි සංවිධාන කලින් කලට බිහිවෙනවා. විශේෂයෙන් මැතිවරණ ඉලක්ක කරගෙන ඔවැනි සංවිධාන ඕනෑ තරම් ඇති වුණා. ඒ එක්කම නැතිවෙලා ගියා ?

ඔව්, එහෙම අභාවාචක අත්දැකීම් අපිට තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඡන්ද බලාගෙන හදන සංවිධානවල අය කිහිප දෙනෙක් පත් වෙන ආණ්ඩුවේ මොන මොනවා හරි පට්ටම්, තනතුරු අරගෙන අවසන් වෙනවා. ඊට පස්සේ ඒ සංවිධානත් අහෝසියි. මේ එහෙම එකතුවක් නෙමෙයි. මෙතැන තියෙන්නේ සංවිධාන වගේම තනි තනි පුද්ගල එකතුවක්. ඒක ගොඩනඟන්නේම ඔබ ඔය කිව්ව සමාජ අත්දැකීම් නිසාමයි. අපි කරන්න හදන්නේ ඒ අත්දැකීම්වලට වඩා වෙනස් දෙයක්.

ඔබ දැනටත් ජාතික විද්වත් සංවිධානය (NIO) නම් වූ සංවිධානයේ ජාතික සංවිධායක. zජාතික ජන බලවේගයZ නමින් ජූලි 14 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන්නේ එහිම දිගුවක් ද?

එහෙම කියන්නම බැහැ. ඒ වගේම එහෙම නැහැ කියලත් කියන්න බැහැ. මේක NIO නම් වූ අපේ විද්වත් සංවිධානයට වඩා පුළුල් ඒ වගේම නිදහස් එකක්. එතැන දී අපි, එක්වෙන සංවිධාන සහ පුද්ගලයන් තම තමන්ගේ වෙනස් ක්‍රියාත්මක වීම් මේ එකතුවෙන් වෙන්ව ස්වාධීනව කරගෙන යනවා. භෂධ කියන්නෙත් මේ එකතුවේ තවත් එක් සංවිධානයක් තමයි. අපි කවුරුවත් විශේෂ කණ්ඩායමක් නෙමෙයි. අපි හැමෝටම සම වගකීම් තියෙන්නේ. අපි වැඩ කරන්නේ සම්මුතියකට අනුව. නායකයෝ හෝ මෙහෙයවන්නෝ ‘ජාතික ජන බලවේගය’ තුළ නැහැ. දරන්නේ සාමුහික වගකීම්. අපේ අරමුණ මේ සමාජය වෙනස් කිරීමේ වුවමනාවක්, ඒ සඳහා එකඟ විය හැකි අය සහ සංවිධාන තමයි මෙතැන ඉන්නේ.

සමාජය වෙනස් කිරීම කියන්නෙ බරපතළ වගකීමක්. ඔබ හිතනවා ද සමාජය වෙනස් කිරීමට කිසියම් කණ්ඩායමකට හැකියාව තියෙනවා කියලා. ඒක දේශපාලන ක්‍රියාවලියක්. බලය සම්බන්ධ ප්‍රශ්නයක්. මේ මධ්‍යස්ථානයේ ඉලක්කය කුමක් ද?

ඔව්, ඔබ හරි. වෙනස් කිරීම ම දේශපාලන ක්‍රියාවලියක්. අපි කියන්නෙත් වෙන ක්‍රියාවලීන් අවසන් විග්‍රහයේ දී අසමත්. දේශපාලන බලය ලබා නොගෙන වෙන අය අතට බලය දෙන ඕනෑ තරම් සංවිධානමය සහ පුද්ගල බද්ධ ව්‍යාපෘති අපි දැක්කා. අපේ ඉතිහාසය පුරාම දැක්කේ ඒ දේවල් නෙමෙයි ද? අවසානයේ වුණේ රටේ ප්‍රශ්න ගැටලූ බවට පත්වෙලා, ගැටලූ අර්බුදවෙලා රටම සංකීර්ණ අගාධයකට ඇදවැටීම. අපේ අරමුණත් එහෙම නොවන දේශපාලන බලය සඳහා වන සමුහයක් ගොඩනැඟීම. ඉන් මෙපිට වෙනත් මඟක් රටට තියෙනවා කියලා අපි හිතන්නේ නැහැ.

අපේ රට ඉතිහාසයේ පෙර නොවූවිරු අර්බුදයක කරවටක් ගිලිලා. ඒ අර්බුදයෙන් ගොඩ එන්න පහසු මඟක් පෙනෙන්නේ නැහැ. බොහෝ ජන කණ්ඩායම් රාජ්‍යය පිළිබඳව අවිශ්වාසයෙන් හා සැකයෙන් ඉන් පිටමං වෙමින් ඉන්නවා…?

මේ කිසිවක් ඉබේ සිද්ධවෙන දේවල් නෙමෙයි. අපි එකිනෙකා අතර සැකය සහ අවිශ්වාසය නිකම් ම මතු වූ දේ නෙමෙයි. උදාහරණයක් විදිහට සිංහල සහ දෙමළ ජනයා අතර සැකය. දෙමළ සහ මුස්ලිම් ජනයා අතර අවිශ්වාසය. දැන් අලූතින්ම ඇතිව තියෙන සිංහල සහ මුස්ලිම් ජනයා අතර සැකය. මේ කිසිවක් ස්වාභාවිකව මතු වූ දේ නෙමෙයි. මේ සියල්ල පාලක කණ්ඩායම් විසින් සැලැසුම්සහගතව ඇති කර ආරක්ෂා කරමින් ඉන්න ක්‍රියාවලියක ප්‍රතිඵල. එය පරාජය කළ හැකි වෙන්නේ මානව බැඳීම් සුරක්ෂිත කරන ක්‍රියාවලියකින් සහ එකිනෙකාගේ අනන්‍යතාවය ආරක්ෂා කරන ක්‍රියාවලියකින් විතරයි. මම මේ කියන්නේ පවත්නා අර්බුදයේ දහස් ගණනක ප්‍රශ්න අතුරින් එකක් ගැන. එය විසඳීම මේ මොහොතට අදාළව හදිසි කටයුත්තක්. අපේ අරමුණ එවැනි හදිසි මෙන්ම දීර්ඝකාලීනව මැදිහත් විය යුතු ක්ෂේත්‍ර සඳහා නිවැ රදි ම අර්ථයෙන් දේශපාලන මැදිහත් වීම කරන්න.

එහෙම කරන්න නම්, විවිධ ජන කණ්ඩායම් ඔබේ සංවිධාන සමඟ විශ්වාසයෙන් ගොනු වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට උතුරේ දෙමළ නියෝජනය, නැෙඟනහිර මුස්ලිම් නියෝජනය ගොඩනඟන ‘ජාතික ජන බලවේගය’ නියෝජනය කරන්න ඕනේ ?

ඔව් ඒක ඇත්ත. ඒ විතරක් නෙමෙයි කඳුරට ජනයා, ශිෂ්‍යයෝ, වෙනත් සමාජභාවී කොටස්, කලාකරුවෝ, විද්වතුන් ආදී විවිධ අය දැන් මේ වටා ගොනු වෙනවා. උතුරේ දෙමළ සංවිධාන දෙකක් ‘ජාතික ජන බලවේගය’ තුළ කොටස්කරුවෝ නොවී නිරීක්ෂණ මට්ටමින් අපි සමඟ එක් වෙනවා. මුළු සංවිධාන ගණන ඔබ මා සමඟ සාකච්ඡා කරන මොහොතේ විසි ගණනක් ඉක්මවනවා. තවත් තනි තනිව සමාජ වෙනසක් වෙනුවෙන් දීර්ඝ කාලයක් පුරා වෙහෙසවුණු බොහෝ දෙනෙක් මේ වටා එකතු වෙනවා. අපි හිතන විදිහට මේ තමයි අපේ රටේ ඉතිහාසයේ ගොඩනැෙඟන පුළුල්තම ක්‍රියාකාරී බහුජන ව්‍යාපාරය. මේ තුළ අපේ රටේ ඉන්න සියලූ ජන කොටස් නියෝජනය වෙනවා. සියලූ සංස්කෘතීන් නියෝජනය වෙනවා. උතුර, නැෙඟනහිර, බටහිර, දකුණ කියලා වෙනසක් නැතුව ඔවුනොවුන්ගේ අනන්‍යතාවන් ඇතුව නියෝජනය මේ තුළ තියෙනවා.අපේ මේ එකතුව ගොඩනැගුණේ එක රැයක එක පුද්ගලයකුගේ වැඩක් විදිහට නෙමෙයි. අපි වෙන් වෙන්ව වසරක පමණ කාලයක් විවිධ කණ්ඩායම්, විධිධ පුද්ගලයන් සමඟ සාකච්ඡා කරලා තමයි මේ එකතුව හදන්නේ. ඒ නිසාම මේ හදන්නේ ශක්තිමත් එකතුවක්. ඒ නිසාමයි අවබෝධයක් ඇතුව නිරික්ෂණ මට්ටමින් සහභාගී වෙන්න කැමැති අයට අපි ඒ ඉඩ වෙන් කළේ. ඒ වගේමයි මේ ක්‍රියාවලියට එකඟ වෙන්න පුළුවන් තවත් ඕනෑම අවංක කණ්ඩායම් හා පුද්ගලයන්ට මෙතැන ඉඩ වෙන්වෙන්නෙත්.

මොකක් ද අවංක කියල ඔබ අදහස් කළේ…?

අපි දන්නව නේ අඩු වැඩි වශයෙන් අපි අතර ඉන්න බොහෝ දෙනෙක් මේ 70 වසරක දේශපාලනය සඳහා දැන හෝ නොදැන සහාය දුන්න අය බව. සමහර විට සංවිධාන විදිහට. සමහරවිට එහෙම කළේ පුද්ගලයෝ විදිහට. ඒත් මේ මොහොතේ හෝ හිතෙනවා නම්, දැන්වත් අපේ රට මීට වඩා යහපත් තැනක් කළ යුතුයි කියලා, ඒ සඳහා ඇත්තටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක වුවමනාවක් තියෙනවා නම්, අපි කියන්නේ එන්න අපි එකතු වෙලා ඒ වෙනස කරමු කියන එක. ඒත් ඒ වගේම අපි පරිස්සම් වෙනවා ඉතිහාසයක් පුරා අවලස්සන රටක් අපිට ඉතුරු කරන්න දැනුම්වත්ව ක්‍රියාකරපු අයට තමන්ගේ ඉතිහාස කැත කුණු වහගන්න, තමන්ගේ කැත අතීතය අපි හරහා අකාමකා දාගන්න. ආන්න එතැන දී අපි ඒ ගැන එක පාරකට වඩා සිය දහස් වාරයක් ඒ අය ගැන පරිස්සම් වෙනවා. මොකද, අපි දැකලා තියෙනවා බොහොමයක් යහපත් සමාජ ව්‍යාපාරවලට ඇතුළු වුණු පුද්ගලයෝ පසු කාලෙක කළ කී දේ.

ඔබේ පැහැදිලි කිරීමට අනුව අපට හැඟීයන්නේ ‘ජාතික ජන බලවේගය’ කියන්නේ එක්තරා විදිහක Pressure Group එකක් කියලයි..?

නැහැ. මේක ඊට වෙනස්. අපි පිටත සිට තෙරපුමක් ඇති කරන කණ්ඩායමක් නෙමෙයි. අපි ඊට වඩා දේශපාලනිකව ක්‍රියාකාරී කණ්ඩායමක්. අපි දන්නවා ඉතාමත් නුදුරේ ම කිසිදු දේශපාලන කණ්ඩායමකට අපව මඟහැර යන්න බැරි බව. අපි කියන්නේ සක්‍රිය දේශපාලන මැදිහත් වීමක්. අපිට ඉතාමත් සංයුක්ත අදහසක් තියෙනවා. අපි යෝජනා කරනවා, අපේ රට මෙතැනින් කොතැනට ද ගෙනියන්න ඕනේ කියලා. අපේ යෝජනා හුදු වචන විතරක් නෙමෙයි. ඒවා රටට ප්‍රයෝගික ගමන් මඟක් පෙන්වන එක්තරා විදිහක මාර්ග සිතියමක්. අපි අතර තියෙන එකඟතාව තමයි මේ මධ්‍යස්ථානය වටා එක් වන සංවිධාන සහ පුද්ගලයන්ට නිදහස ඇතුව මෙතැන දී එක්වත්, වෙන් වෙන්වත්, ස්වාධීනවත් වැඩ කරන්න ඉඩ ගැනීම. ඒ කියන්නේ මේ මධ්‍යස්ථානය වටා ගොනුවෙන ඕනෑම අයෙකුටත්, සංවිධානයකටත් මෙතෙක් රට වෙනස් කිරීමේ අරමුණ වෙනුවෙන් තමන් කළ වැඩකටයුතු තව දුරටත් කරගෙන යන්න පුළුවන්. උදාහරණයක් විදිහට ‘ජාතික ජන බලවේගය’ තුළ වැඩ කරන ජාතික විද්වත් සංවිධානය එහෙම නැත්නම් NIO එකේ අපිට ඒ වැඩ කටයුතු ඒ විදිහටම කරගෙන යන්න පුළුවන්. ඒ නිදහසම අනෙක් අයටත් තියෙනවා.

ඒ කියන්නේ, වෙන් වෙන්වත් එක්වත් රට නිවැරදි කිරීමේ පොදු අරමුණ වෙනුවෙන් වැඩ කරන්න තියෙන නිදහස…?

ඔව්, හරියටම හරි. අපි එහෙම පෙරමුණු කිහිපයකිනුත් ශක්තිමත්ව එක පෙරමුණක් ලෙස නිවැරදි අරමුණක් ඇතිව ක්‍රියා කළොත්, අපේ දරුවන්ට බලාපොරොත්තු සහගත රටක් ගොඩනඟන්න පුළුවන් බව අපිට ස්ථීරයි. ඒ නිසාමයි මේ මාසේ 14 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ‘ජාතික ජන බලවේගය’ හමුව අපි නම් කළේ ‘හෙට පිණිස මිනිස් සමූහයක අපේක්ෂාවේ එකමුතුව’ කියලා.

සිසිර යාපා

Leave A Reply

Your email address will not be published.

12 + 1 =