කොළඹ අහස යට ඔක්සිජන් මට්ටම පහළට

අගනුවර ගුවන් කලාපයේ ඔක්සිජන් මට්ටමේ අඩුවීමක් නීරීක්ෂණය වී ඇති බව විද්‍යාත්මක පර්යේෂණයක් හෙළිකරගෙන තිබේ.

කොළඹ මහනගර සභාවේ නිලධාරියෙකු මේ පිළිබඳව පැහැදිලි කරමින් ප්‍රකාශ කළේ එහි බලපෑම ක්ෂණිකව නොදැනෙන නමුත් නුදුරු අනාගතයේ දී කොළඹ නගරය තුළ ජීවත්වන පිරිසට දැනෙන්නට ඉඩ තිබෙන බවයි.

අද කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වූ හමුවක් අතරතුර මෙම තොරතුරු අනාවරණය විය.

කොළඹ නගරය ඉන්දියන් සාගරයට ඍජුවම මායිමව පවතින නිසා සාගර කලාපය හරහා හමා එන සුළං ප්‍රවාහ පවතින අවස්ථා නිතර පවතින නිසා දැනට මෙම තත්වය යම් පාලනයක පැවතුණත් දීර්ඝ කාලීනව මේ සඳහා පියවර ගතවිය යුතු බව පෙන්වා දී තිබේ.

මේ යටතේ කොළඹ මහා නගර සභාවත්, පරිසර අමාත්‍යංශයත් මේ සඳහා විවිධ පියවර කඩිනමින් ගන්නා බව නගරාධිපතිනිය සහ පරිසර අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

කොවිඩ් 19 තත්වයට පෙර 2019 වර්ෂයේ අග භාගයේ ශ්‍රී ලංකාවේ කොළඹ ඇතුළු නගර ගණනාවක වායු දුෂණ අගය වැඩි වෙමින් හෙවත් වායුගෝලයේ ගුණාත්මක භාවය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබිණි. කෙසේ වෙතත් 2020 වසරේ කොවිඩ් 19 අර්බුදයත් සමඟ ලොව පුරා මිනිස් ක්‍රියාකාරකම් සීමා වීම නිසා පරිසර දුෂණය අවම අගයකට පැමිණි අතර ශ්‍රී ලංකාවට ද එහි සුබවාදී ප්‍රතිඵල ලැබිණි.

මීට පෙර ලෝක උරුම මහනුවර නගරයේ වායු දුෂණ තත්වය ද බරපතල තත්වයකට යමින් පවතින බව කියැවිණි. කොළඹ නගරයට වඩා හාත්පසින් වෙනස් සංවෘත කඳු වළල්ලක් මගින් ආවරණය වී ඇති මහනුවර, වායු දුෂණය හේතුවෙන් සිදුවන බලපෑම පාලනය කිරීම වඩා අභියෝගාත්මක වනු ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ වනාන්තර විනාශ කිරීම ඉහළ යමින් පවතින බවට ද පසුගිය කාලයේ පාර්ශව රැසකින් චෝදනා එල්ල විණි

Leave A Reply

Your email address will not be published.