අටුළුගම කතාවේ බොදු බලසේනා ප්‍රබන්ධය

පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරට දේශපාලන න්‍යාය පත්‍රය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වී ගියේය. බැඳුම්කර වංචාව, රාජපක්ෂ ආණ්ඩුවේ හොරකම් ඇතුළු සියල්ලම යටපත් කරමින් ‘සහරාන්’ මාතෘකාව මතුපිටට පැමිණියේ ය. ඉස්ලාම් අන්තවාදය පරාජය කරමින් ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් එක් පෙරමුණක් සූදානම් වෙද්දී, ඉස්ලාම් අන්තවාදය වෙනුවට සිංහල අන්තවාදය කරපින්නාගෙන තම දේශපාලන ව්‍යාපෘති කිරීමට තවත් පෙරමුණක් සූදානම් විය. ජනාධිපතිවරයාගේ සිට අතුරලියේ රතන හිමි දක්වාත්, බොදු බලසේනා, රාවණා බලය, සිංහලේ රාවය වැනි සිංහල අන්තවාදී සංවිධානත්, චන්න ජයසුමනලා සහ අස්ගිරි මහ නාහිමි, වරකාගොඩ ඥානරතන හිමියන් වැනි අන්තවාදීනුත් මීට අඩු වැඩි වශයෙන් දායක වන්නට පටන් ගත්තේ ය. ඇතැම් දේශපාලන පක්ෂ සහ දේශපාලකයන් ද මේ පසුපස සිටින බව ද පැහැදිලි විය.

මේ කණ්ඩායම් සිදු කළේ ඇත්ත ප්‍රශ්නය වෙනුවට වෙනත් ප්‍රශ්නයක් දඩමීමා කරගෙන තමන්ගේ ජාතිවාදී මතවාදයන් පෝෂණය කිරීමයි. ෂරියා විශ්වවිද්‍යාල ප්‍රශ්නයේ දී ඔවුන් හැසිරුණේ එපරිද්දෙනි. ගම්පහ සහ කුරුණෑගල ඇතුළු ප්‍රදේශවල ජාතිවාදී ප්‍රහාරයක් දියත් කළේ මොවුන්ගේ මැදිහත් වීමෙන් ය. ‘දිවයින’ පුවත් පතත් සමග එක්ව ගෙන ආ කල සාෆිගේ වඳ ප්‍රශ්නය සාක්ෂි නොමැති ප්‍රබන්ධයක් බව අනාවරණය විය. දැන් මොවුන් ගෙනැවිත් තිඛෙන අලූත්ම මාතෘකාව අටුළුගම කාන්තාවකට ෂරියා නීතියෙන් දඩුවම් දුන් කතාවයි. එහෙත්, මේ කතාවත් තවත් එවැනිම ප්‍රබන්ධයක් බවට මේ වන විට කරුණු එකින් එක හෙළි වෙමින් තිබේ.

මාධ්‍ය සාකච්ඡාව

දින කිහිපයක් පුරා වෙබ් අඩවිවල සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රවෘත්තියක් පමණක් බවට පත් වී තිබුණු මෙම සිදුවීම රට පුරා කතා වෙන මාතෘකාවක් බවට පත් වූයේ බොදු බලසේනා සංවිධානය සහ අදාළ සිදු වීමට මුහුණ දුන්නේ යැයි කියන කාන්තාව එක්ව කළ මාධ්‍ය සාකච්ඡාවක් සමඟිනි. අබ්දුල් හසන් ෆාතිමා නම් එම කාන්තාව මාධ්‍ය සාකච්ඡාවේ දී කියන්නේ මෙවැනි කතාවකි. ‘2008 මම සිංහල බෞද්ධ කෙනෙක් එක්ක විවාහ වුණා. අපේ ගෙවල් තිබුණෙ අටුළුගම. එතකොට පල්ලියෙ මිනිස්සු ඔක්කොම ඇවිල්ලා සිංහල මනුස්සයෙක් බැඳලා ඉන්නෙ කියලා එළවන්න හැදුවා. කට්ටිය ඔක්කොම ඇවිල්ලා මහත්තයට තර්ජනය කළා. ඊට පස්සෙ අපි ගියා පොලිසියට පැමිණිල්ලක් දාන්න. ඊට පස්සෙ අපි මාලබේ හිටියා. මම ප්‍රෙග්නන්ට් වුණා. ප්‍රෙග්නන්ට් වෙලා බබා හම්බවෙන්න අම්මා ගාවට යන්න ඕනෑ වුණා. ඊට පස්සෙ මම ආයෙ අටුළුගමට ගියා. ගියාම ආයෙ එහේ කට්ටිය ඔක්කොම ඇවිල්ලා ඉන්න දෙන්න බැහැ කිව්වා. බබා හම්බවෙලා ටික දවසකින් පල්ලියෙ කට්ටියත් එක්ක කතා කරලා මහත්තයා ආවා අටුළුගම අපේ ගෙදර නවතින්න. අපි එහෙම ඉන්න කොට හැමදාම පල්ලිවලින් ඇවිල්ලා එයාට කරදර කරනවා. ගෙවල් දෙන්නම්, වාහන දෙන්නම් ඔයා ආගමට එන්න කියලා. ඊට පස්සෙ පල්ලියෙ ඔක්කොම ඇවිත් මම සිංහල කෙනෙක් එක්ක විවාහ වෙලා ඉන්නව කියලා ගමෙන් එළවන්න හැදුවා. මහත්තයට තර්ජනය කළා. පොලිසියෙ හතර දෙනෙක් ගේ ඇතුළේ ඉඳිද්දි දොර කඩාගෙන ඇවිත් මගේ ඇඳුම් ඉරල තර්ජනය කළා. ගමේ අය පොලිසියෙන් ඇහුව, ඕගොල්ලො පොලිසියට ගෙනිහින් මෙයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනව ද, නැත්නම් අපි පොලිසියට ගෙනිහිල්ල නීතිය ක්‍රියාත්මක කරන්න ද කියල.’ ඊට අමතරව තමන්ගේ දරුවන් හ~ද්දී මීටර් සියයක් පමණ තමන්ව ඇදගෙන ගිය බවත් වටාපිටාවේ සිටි මිනිසුන් තමන්ට ගල්වලින් සහ ආයුධවලින් පහර දුන් බවත් ඇය කියා සිටියාය.

ඇත්ත සිදුවීම

මෙම කතාවට පාදක වන්නේ අදාළ කාන්තාවගේ අතිශයින් ම පෞද්ගලික සිදුවීම් පෙළක ප්‍රතිඵලයකි. ඇයගේ පෞද්ගලික කටයුතු මාධ්‍යයක් වශයෙන් අපට අදාළ නොවුව ද, ඇය විසින්ම මෙය වෙනත් ප්‍රශ්නයක් බව පෙන්වීමට මාධ්‍ය මඟින්ම උත්සාහ කිරීම නිසාත්, බොදු බලසේනා සංවිධානය ඇතුළු පිරිස් විසින් මෙය ජාතික ප්‍රශ්නයක් බවට පත් කිරීමට උත්සාහ කරන නිසාත් සැබෑ සිදුවීම අනාවරණය කිරීම මාධ්‍යයක් වශයෙන් අප සතු වගකීමකි.

මෙය සිදු වන්නේ මේ වසරේ මාර්තු මාසයේ 27 හෝ ඊට ආසන්න දිනයක ය. අදාළ නිවස තුළ පරිබාහිර පුද්ගලයකු සිටින බවට පොලිසියේ 119 අංකයට ලැඛෙන ඇමතුමක් අනුව පොලිසිය එම නිවසට පැමිණෙන්නේ ඇමතුමෙන් විනාඩි තිහකට පමණ පසුවය. ඒ වන විටත් නිවස ආසන්නයේ සැලැකිය යුතු පිරිසක් එක්රැස් වී සිටියහ. පොලිසිය පැමිණ නිවසට ඇතුළු වන තෙක් කිසිවකු ඊට ඇතුළු වී නැති බව ජංගම දුරකථනවලින් සිදු කළ වීඩියෝ දර්ශනවල දැකිය හැකි ය. එහෙත්, කාන්තාව පවසන්නේ දොර කඩා ගම්වාසීන් තම නිවසට ඇතුළු වූ බවයි. එහෙත්, වීඩියෝ දර්ශනවලින් දැකගත හැකි වන්නේ නිවස තුළ සිටි පුද්ගලයකු පොලිසිය විසින්ම මාංචු යොදා එළියට ගන්නා ආකාරයයි. කාන්තාවගේ ප්‍රකාශයත්, සිදුවීමත් අතර පළමු පරස්පරය ඇති වන්නේ එතැන දීය.
පසුව හෙළි වූ තොරතුරු අනුව නිවස තුළ සිටි පුද්ගලයා අතුරුගිරිය පොලිසියට අනුයුක්තව කටයුතු කරන පොලිස් නිලධාරියෙකි. ඒ වන විට ප්‍රදේශවාසීන් තුළ කාන්තාව සම්බන්ධයෙන් විරෝධයක් ඇති වී තිබුණු නිසා කාන්තාව සහ දරුවන් දෙදෙනා ද පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ. කාන්තාවත්, ඇතැම් මාධ්‍යත්, බොදු බලසේනා සංවිධානයත් කියන ‘ෂරියා නීතියෙන් දඩුවම් කිරීමේ සිදුවීම’ සංක්ෂිප්තව එසේය.

පැමිණිලි සහ පරීක්ෂණ

මේ සම්බන්ධයෙන් අදාළ කාන්තාව ද පැමිණිල්ලක් කරන අතර මුල් පැමිණිල්ලට අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලිසිය විසින් නිදහස් කර යවනු ලබයි. ඉන් පසුව කාන්තාවගේ පැමිණිල්ලට අනුව අප්‍රේල් මස 06 වන සෙනසුරාදා උදෑසන 10ට පැමිණිලිකාර පාර්ශ්වයත්, විත්තිය වෙනුවෙන් අටුළුගම පල්ලියේ නියෝජිතයන් පිරිසකුත් බණ්ඩාරගම පොලිසියට කැඳවන අතර, එහි දී තමන්ගේ නිවසට හානි වී ඇති බැවින්, ඒ සඳහා රුපියල් ලක්ෂයක වන්දියක් ලබා දෙන්නේ නම්, මෙය සමථයකට පත් වීමට කැමැති බව පැමිණිලිකාර පාර්ශ්වයෙන් පවසා තිබේ. අවසානයේ පොලිසියේ ද මැදිහත්වීමෙන් රුපියල් 28,000ක වන්දියක් දීමෙන් දෙපාර්ශ්වය සමථයකට පත් වන්නේ පොලිස් පොතේ ද අත්සන් තබමිනි.

අලූත් පැමිණිල්ල බොදු බලසේනාවේ ‘දතා’

එහෙත් මෙවැනි සිදුවීමක් සමථයකට පත් කළ නොහැකි බවත්, එය අධිකරණයකට ඉදිරිපත් කළ යුතු සිදුවීමක් බවත් දැනගන්නා කාන්තාව නැවතත් පොලිසිය වෙත පැමිණිලි කරන්නේ පුද්ගලයන් හය දෙනකුගේ නම් ගම් ද සහිතව ය. ඒ අනුව ජූනි 19 වන දින එම නම් සඳහන් මුස්ලිම් ජාතිකයන් හය දෙනා අත්අඩංගුවට ගැනෙන අතර, 64499/19 අංක දරන බී වාර්තාව මඟින් ඔවුන් පසුගිය ජුනි 20 වන දා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. ‘මුස්ලිම් කාන්තාවකගේ නිවසට බලහත්කාරයෙන් පැමිණ ලිංගික හිරිහැර කරමින් හා නිවසට දැඩි අලාභහානි සිදු කරමින් තර්ජනය කිරීම හා බියවැද්දවීම’ යන චෝදනා ඔවුන්ට එල්ල වී තිබේ.

මේ අතර ඇය විසින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ, තමන්ගේ නිවස තුළ සිට අත්අඩංගුවට ගත් පුද්ගලයා තමන් නොහඳුනන බවත්, සැලැසුම්සහගතව ම තම නිවසට ඔහුව ඇතුළු කර ඇති බවත්ය. එහෙත්, ඔහුගේ දුරකථන දත්ත පරීක්ෂා කිරීමේ දී හෙළි වී තිඛෙන්නේ ඔවුන් දෙදෙනා අතර දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් හුවමාරු වී ඇති බවයි. සියල්ල මෙසේ සිදු වෙද්දී හදිසියේ ම මෙය ප්‍රමුඛ මාතෘකාවක් බවට පත් වන මාධ්‍ය සාකච්ඡාව සංවිධානය වන්නේ මේ අතරතුරය. ඊට මැදිහත් වන්නේ බණ්ඩාරගම නගරයේ ත්‍රිරෝද රථ රියැදුරකු වන ‘දතා’ නම් අයෙක් සහ ඔහුගේ මිතුරන් පිරිසකි. ඔවුන් බොදු බලසේනා සංවිධානය සමග සම්බන්ධ වී කටයුතු කරන පිරිසක් වන අතර, බොදු බලසේනා සංවිධානයේ ද සහභාගිත්වය ඇතිව පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධීකරණය කරනු ලබන්නේ ඔවුන් විසිනි.

ගම්වැසියන්ගේ ප්‍රකාශ

මාධ්‍ය හමුවේ දී අබ්දුල් හසන් ෆාතිමා විසින් පැවසූ කරුණු සම්පූර්ණයෙන් ම අසත්‍ය බව පවසමින් එම කාන්තාවගේ නිවස තිඛෙන අටුළුගම ‘සුනාමි වත්ත’ ප්‍රදේශයේ මුස්ලිම් සහ සිංහල ප්‍රජාව එක්ව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්නේ ඉන් පසුවය. එම මාධ්‍ය සාකච්ඡාවේ දී සිංහල සහ මුස්ලිම් හැම කෙනෙක් ම ප්‍රකාශ කර සිටින්නේ මෙම කාන්තාවත්, බොදු බලසේනා සංවිධානයත් සිදු කරමින් සිටින්නේ සිදුවීම වෙනත් පැත්තකට යොමු කිරීම බවයි. සිංහල පවුල් දහහතරක් මේ වන තෙක් මුස්ලිම් ප්‍රජාව සමග කිසිදු ගැටලූවක් නැතිව ජීවත් වූ බවත්, ෂරියා නීතියක් ගැන ඔවුන් අසා තිබුණේවත් නැති බවත් ඔවුහු මාධ්‍ය හමුවේ පැවසූහ.

හිටිහැටියේ මතු වූ ෂරියා නීති ප්‍රශ්නය

මේ කියන කාන්තාව විවාහ වී ඇත්තේ, 2008 වසරේ දී ය. මේ සිදුවීම සිදු වන්නේ 2019 වසරේ දී ය. එනම් විවාහයෙන් වසර 11කට පසුවය. මේ වසර දහයකටත් වැඩි කාලයක් පුරා නොතිබුණු ෂරියා ප්‍රශ්නයක් දැන් මතු වන්නේ කෙසේ ද? පරස්පර ප්‍රකාශ කරමින් මේ දිනවල ‘මාකට්’ වී ඇති ‘ෂරියා’ කතාව ද ඊට ඈඳා ගනිමින් මේ කරමින් සිටින්නේ සැලසුම්සහගතව වෛරය වැපිරීමක් නොවේ ද? මේ කාන්තාව දඩමීමා කර ගනිමින් බොදු බලසේනා සංවිධානය ද සිදු කරමින් සිටින්නේ අන්තවාදය පරාජය කිරීම වෙනුවට තවත් අන්තවාදයක් පැතිරවීම නොවේ ද?

චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

15 + ten =